Home » ලොකු බ්‍රදර්ට නම් ප්‍රේම ආරාධනාවල අඩුවක් නෑ

ලොකු බ්‍රදර්ට නම් ප්‍රේම ආරාධනාවල අඩුවක් නෑ

දේවින්ද වික්‍රමසිංහ

by Mahesh Lakehouse
July 13, 2024 12:30 am 0 comment
නාමලී ගමගේ ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

– අයියත් දැන් මට කියන්නෙ ලොකු බ්‍රදර් කියලා
– අධ්‍යක්ෂණය නිසා රංගනය මට මිස් වුණා මේ වෙද්දි රංගනයට වැඩි බරක් දීල තියෙනවා

බුද්ධික සේමසිංහගේ හිතේ සිටි ලොකු බ්‍රදර් ජයප්‍රකාශ් සිවගුරුනාදන් හරි අපූරුවට නිමකර සමාජගත කළේය. දැන් ඔහු කාගේත් ලොකු බ්‍රදර්ය. ඒ මේ දිනවල හිරු නාළිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේය. ඔහු අබ්බගාත කර නාඩගම්කාරයෝ ගොන්නට එක්කළේ ද සද්ධා – සිවා සුසංයෝගයෙනි. කොඩිගහ යට ඔහු මාධ්‍යවේදියෙකි. රංගනයට අමතරව බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද තම දැනුම බෙදාදෙමින් සිටින ඔහු දේවින්ද වික්‍රමසිංහය.

දේවින්ද මේ දවස්වල කාගෙත් ලොකු බ්‍රදර් වෙලා. කොහොමද ඒක වුණේ?

ඒ මේ දවස්වල හිරු නාළිකාවේ විකාශය වන ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ මගේ චරිතය. බුද්ධික සේමසිංහගේ හිතේ මැවුණු ‘ලොකු බ්‍රදර්‘හෙවත් අංජන සමාජගත කිරීමේ වගකීම පැවරුණේ මට. ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ නිෂ්පාදක චාමර සමරවික්‍රමගෙන්. කලිනුත් මං සිවා අයියගේ නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ අබ්බගාත චරිතයක් නිරූපණය කළා. පාට කුරුල්ලෝ කියන්නේ කාලෙකින් දැක්ක වෙනස්ම වැඩක් නිසා මං හරි සතුටින් භාරගත්තා. ලොකු බ්‍රදර්ට මේ වෙද්දි අසීමිත ප්‍රතිචාර ලැබෙනවා. අධ්‍යක්ෂවරයාගේ රංගන ශිල්පීන් සියුම්ව මෙහෙයවීමේ හැකියාව, නිෂ්පාදක වගේම දක්ෂ විදිහට ලියවුණු තිර පිටපත වගේම මගේත් යම් යම් දේ එකතු වීමෙන් තමයි ලොකු බ්‍රදර් සාර්ථක වුණේ.

කථිකාචාර්යවරයෙක් විදිහට මේ වගේ චරිතයක් රඟපාන්න දෙගිඩියාවක් ඇතිවුණේ නැද්ද?‍

ඒක ඉතින් රංගනයක්නෙ. රංගනය කියන්නෙ මගේ ප්‍රධාන විෂය. මට තියෙන්නෙත් රංගනය පිළිබඳ විශේෂවේදී උපාධියක්. අනිත් අතට මං විශ්වවිද්‍යාල දරුවන්ට උගන්වන්නෙත් නාට්‍ය හා රංග කලාව. අනිත් අතින් මේක සුබ සහ යස කතාව නැවත සිහිපත් කරන අපූරු කතාවක්.

කෙවින්, මංජිත ඒ කියන්නෙ සජිත, කුසල් කියන්නෙත් ඔබේ සමකාලීනයන්. ඒ ගැන මොකද හිතෙන්නෙ?

සජිත මට මුලින්ම හමුවෙන්නෙ රාජිත දිසානායකගේ ‘මට වෙඩි තියන්නැද්ද’ වේදිකා නාට්‍යයේදී. ඔහු කැලණියේ විශ්වවිද්‍යාලයේ. මං සෞන්දර්යයේ. නැවත අපි එකට හමුවෙන්නෙ ‘නාඩගම්කාරයෝ’ ටෙලි නිර්මාණයෙන්. ඒ වගේම කුසල් 2013 යෞවන සම්මාන උලෙළේ මං ‘මරා උපන් කුමරා’නාට්‍යයේ හිටිද්දි ඔහු ‘ටැප්’ කියන නාට්‍යයේ හිටියා. ඊට පස්සෙත් අපි අවස්ථා ගණනාවකදීම හමු වුණා. ඒත් අපි තුන්දෙනාම එකතු වුණු පළමු අවස්ථාව මේක. ඒක නම් පිස්සුවක්ම තමයි. සෙට් එකේදි හරිම විනෝදයි. සජිත කියන්නෙ ඉතින් රස කතා සාගරයක්. අපි නිතරම අපේ චරිත එන්ජෝයි කරන ගමන් තමයි ප්‍රේක්ෂකයාට එන්ජෝයි කරන්න අවස්ථාව දෙන්නේ.

ඔබට ත්‍රිරෝද රථ පදවන්නත් වෙනවා. ඒ අත්දැකීම කොහොමද?

ඇත්තටම මට ත්‍රීවීල් පදින්න බෑ. අපේ සහාය අධ්‍යක්ෂ තරංග නිරිඇල්ල තමයි කිව්වෙ මල්ලි කොහොමහරි උඹ ඒක ඉගෙන ගන්නම ඕන කියලා. මගේ ඔෆිස් එකේ විජිතලාල් මට ත්‍රීවීල් පදින්න පුරුදු කරලා ලොකු සහායක් දුන්නා. ඒ වගේම නිතරම ඉංග්‍රීසි වචන වැඩිපුර යොදන ලොකු බ්‍රදර්ගෙ ඩයලොග් චරිතයේ සාර්ථකත්වයට ගොඩක්ම බලපෑවා. එතැනදි අපේ AD පැහැසරගෙන් ලොකු සහායක් ලැබුණා. මුළු කෲ එකම ආදරෙන් මතක් කරනවා. ලොකු බ්‍රදර් නිතරම අම්මට කරදර කර කර සල්ලි ඉල්ලනවා, කොච්චර දුන්නත් මදි. අපේ අයියත් ඒ වගේමයි. වෙනසකට තියෙන්නෙ ත්‍රිවීල් පදින්න බැරි එක විතරයි. ඒ දේත් මගේ ඔළුවෙ තිබුණා. ඒ නිසා ඒ චරිතය මට ගොඩක් සමීපව දැනුණා. අයියත් දැන් මට කියන්නෙ ලොකු බ්‍රදර් කියලා. ලොකු බ්‍රදර්ට හිතුවෙ නැති තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන්.

දේවින්දගෙ ක්ෂේත්‍රයට පිවිසීම ගැන කතා කළොත්?

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ ඉගෙන ගනිද්දි පාසල් වේදිකාව මගේ රංගනයට තෝතැන්නක් වුණා. චාමික හත්ලහවත්ත සර් මතක් කරන්නම ඕන. යෞවන සම්මාන උලෙළේ හත් වතාවක්ම මං හොඳම නළුවා විදිහට සම්මාන ලැබුවා. පාසල් කාලෙ ඉඳන්ම මට කලාවට පුදුම උණක් තිබුණේ. උසස් පෙළින් පස්සෙ මොකද වෙන්නෙ කියන ගැටලුව මට තිබුණා. සර් තමයි මාව විශ්වවිද්‍යාලෙට යන්න පෙළඹුවේ. ඒ විදිහට මං සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. විශ්වවිද්‍යාලයේදී නාට්‍ය අධ්‍යක්ෂණය කළා. තිරපිටපත් ලිව්වා. රඟපෑවා. මේ හැමදේම කරල සම්මානත් ලැබුවා. මේ වෙද්දි මං නාට්‍ය හා රංග කලාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලවල වගේම ටවර්හෝල් රංගනායතනයේත් කටයුතු කරනවා. ඒ වගේම රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ස්ථිර සේවකයෙක් විදිහටත් වැඩ කරනවා. ප්‍රාදේශීය ලේකම්තුමිය හිමාලි කරුණාරත්න මහත්මිය ලබාදෙන සහාය අගයන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.

ඔබ අධ්‍යක්ෂ භූමිකාවේත් සම්මාන ලැබූ කෙනෙක්?

ඔව්. කැම්පස් කාලෙදි ගොඩක් දුරට අධ්‍යක්ෂණය, තිර රචනය පැත්ත තමයි කළේ. පළමු කෙටි නාට්‍ය විදිහට අධ්‍යක්ෂණය කළේ ‘මරා උපන් කුමරා’. තිර රචනයත් මගේ. රාජ්‍ය, යෞවන සම්මාන උලෙළවල සම්මානිත වුණා. 2015 දී අධ්‍යක්ෂණය කළ ‘මම අඩ කුඹයි’ කෙටි නාට්‍යත් සම්මානිත වුණා. ඒක විශේෂයි. මුළු නිර්මාණයම දිවෙන්නේ එකම ශිල්පියාගෙන්. රන්දික ගුණතිලක රංගනයෙන් දායක වුණා. ඔහු අද ඉන්න තත්ත්වෙ බැලුවම ලොකු සතුටක් දැනෙනවා. අධ්‍යක්ෂණය නිසා රංගනය මට මිස් වුණා. මේ වෙද්දි මං රංගනයට වැඩි බරක් දීල තියෙනවා. ‘නාඩගම්කාරයෝ’, ‘කොඩිගහ යට’ වගේම මේ දිනවල විකාශය වන ‘පාට කුරුල්ලෝ’ ගොඩක් මිනිස්සු අතරට ගියා. මං ගොඩක් වැඩ බදාගන්න කෙනෙක් නෙවෙයි. මට ඕන කරන චරිතයට උපරිම සාධාරණයක් කරන්න. හැම නිර්මාණයක්ම මං පටන් ගන්නෙ බින්දුවෙන්. අද මං යම් තැනක ඉන්නව නම් ඒකෙ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕන මගේ ආච්චිට. ඊළඟට මාමට වගේම පුංචිට. ඒ අය මං වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා.

ලොකු බ්‍රදර්ට මේ දවස්වල ප්‍රේමණීය ආරාධනා ලැබෙනවා කියල ආරංචියි. දේවින්දට කොහොමද?

ඔව්. ලොකු බ්‍රදර්ටනම් ආරාධනා එනවා. ඒත් දේවින්දට තාම නෑ. ආදරණීය අත්දැකීම් නැතුව නෙවෙයි. මට හිතෙනවා මේ දවස්වල තව කෙනෙක් වෙනුවෙන් කැප කරන්න කාලයක් නෑ කියලා. ඒ වගේ දේක පැටලිලා ඒ කෙනාට අසාධාරණයක් කරන්න මං කැමැති නෑ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division