Home » රට වෙනුවෙන් එන පොදු අපේක්ෂකයා රනිල්

රට වෙනුවෙන් එන පොදු අපේක්ෂකයා රනිල්

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක,දේශගුණික විපර්යාය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන

by gayan
July 19, 2024 7:41 pm 0 comment

මේ තියන තත්ත්වය මත ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා ඡන්දය කල් දාන්න කියලා. විපක්ෂය එතුමාට චෝදනා කළත් ව්‍යාපාරිකයන්ගේ පවා

විශ්වාසයක් තියෙනවා එතුමා ගැන ඒ නිසා මෙය කල්දාන්න කියලයි ඒ අය කියන්නේ. ඒ අය බයයි මෙතුමා මේ ඇති කරලා තියෙන ස්ථාවරත්වය නැතිවෙයි කියලා. ඇත්ත වශයෙන්ම ඡන්දය කල් දාන්න එතුමාට අවශ්‍ය නැහැ.

මේ වන විට ආණ්ඩුවට ලැබෙමින් පවතින ප්‍රතිචාර ඉතා හොඳ මට්ටමක පවතිනවා. කොහොමද වත්මන් රටේ තත්ත්වය ඔබ දකින්නේ?

ඇත්ත වශයෙන්ම මෙතෙක් කල් මේ රටේ තිබූ ආර්ථීක අර්බුදයත් සමඟ අරගලයක් ඇතිවෙලා; එයින් පසුව දේශපාලන පක්ෂ ගැන විශ්වාසය බිඳවැටිලා තියෙනවා. දැන් එය ටිකෙන් ටික පහව ගොස් තියෙන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ගැන ජනතාව තුළ ඇති විශ්වාසය නිසයි. රට බංකොලොත්භාවයෙන් නිදහස් කරගෙන ආර්ථීක මට්ටම ශක්තිමත් කර පෝලිම් යුගය නැති කරලා ගෙනියන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. ජනාධිපතිවරයාට මේ රටට වැඩක් කරන්න පුළුවන් කියලා ඔප්පුකරලා පෙන්නලා තියෙනවා. මේ රට ගොඩගන්න හැකි වුණේ එතුමාට විතරයි කියලා ඔප්පු කරලා පෙන්නලා තියෙන නිසා ජනතාව එතුමා කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා.

විපක්ෂය චෝදනා කරනවා; ජනාධිපතිවරණය කල්දාන්න එජාපය උත්සාහ කරනවා කියලා. ඇත්තද මේ කතාව…?

ව්‍යාවස්ථානුකූලව එතුමා ජනාධිපතිවරණය පවත්වයි. රටේ ස්ථාවරභාවය ඇතිවෙන්න රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ වසර පහක්වත් ගෙන යා යුතුයි. ජනාධිපතිවරණයට අපි සියලු කටයුතු සූදානම් කර තියෙනවා. අපි හොඳින් ඒ සඳහා සූදානම් වෙනවා. අපි ඡන්දය කල්දාන්නේ නැහැ. ඒ සඳහා අපිට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපේ පක්ෂයේ කලාප සංවිධායකවරු පත්කරලා බිම් මට්ටමින් සංවිධානය පුළුල් සහ ශක්තිමත් කර තියෙනවා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයක් ලෙස සූදානම් වෙලා ඉන්නවා. මේ තියන තත්ත්වය මත ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමක් තියෙනවා; ඡන්දය කල් දාන්න කියලා. විපක්ෂය එතුමාට චෝදනා කළත් ව්‍යාපාරිකයන්ගේ පවා විශ්වාසයක් තියෙනවා; එතුමා ගැන. ඒ නිසයි මෙය කල්දාන්න කියලා ඒ අය කියන්නේ. ඒ අය බයයි රටේ ජනාධිපතිවරයා ඇති කළ මේ තියෙන ස්ථාවරත්වය නැති වෙයි කියලා. ඒත් ජනාධිපතිවරණය කල් දාන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවශ්‍ය නැහැ.

එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් අපේක්ෂකයකු ලෙස ප්‍රකාශයට පත්කරලා නැහැ නේද?

අපි දන්න විදිහට එතුමා පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වෙයි. පක්ෂ ගණනාවක් එතුමාට සහය දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ අතර පොහොට්ටුවත් ඉන්නවා. ශ්‍රි ලනිප පිරිසක් ඉන්නවා. ඒවගේම විපක්ෂයේ පිරිසකුත් ඉන්නවා. එතුමා එජාප අපේක්ෂකයෙකුවත් පොහොට්ටුවේ අපේක්ෂකයෙක්වත් නොවෙයි. රට වෙනුවෙන් ඉදිරිපත් වන අපේක්ෂකයෙක් ලෙසයි මම දකින්නේ. මම හිතනවා පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විමෙන් එතුමාගේ නායකත්වයෙන් ජාතික ආණ්ඩුවකට යන්න පුළුවන් වෙයි. එතුමා බලන්නෙත් සියලු දෙනා එකතු කරගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමයි. මාධ්‍ය ඉදිරියේ රඟපාන විපක්ෂයේ අය අපිට හවස්වරුවේ කතා කරලා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා නැතුව මේක කරන්න කාටවත් බැහැ කියලා. පොදු අපේක්ෂකයෙකු ලෙස එතුමා ඉදිරිපත් විමෙන් පක්ෂ සියල්ල අපිට එකතු කරගන්න පුළුවන් කියලා මම හිතනවා.

වත්මන් ජනාධිපතිවරයාට සහය දෙන්න ; පොදු ජන පෙරමුණේ ඇතැම් පාර්ශ්වයන් දෙඟිඩියාවකින් තවමත් ඉන්නවා; ඇයි එහෙම වෙන්න හේතුව…. ?

ඒ පක්ෂයේ බහුතරයක් ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙළ ගැන විශ්වාසයක් තියෙනවා. මම හිතන්නේ බහුතරයක් ඉන්නේ රනිල් හැර වෙන විකල්පයක් නැහැ කියන තැන.

ඒ වගේම විපක්ෂයේ ඇතැම් අය එජාප ජනාධිපතිවරයාට සහය දෙන බව කිව්වත් අපිට තාම එහෙම දෙයක් දකින්න නැහැනේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපේකෂකයෙක් ලෙස තවමත් ප්‍රකාශයට පත් කරලා නැති නිසා තවම එහෙම එකතුවීමක් සිදුවෙලා නැති වුණත් එතුමා එය ප්‍රකාශයට පත් කළාම ඒ අය අපිට සහය ලබාදෙයි කියලා අපි විශ්වාස කරනවා.

අපි තවමත් ඉන්නේ අසීරු තැනක කියලා ආර්ථික විශේෂඥයෝ පවා කියනවා. බංකොලොත්භාවයෙන් අපි තවම නිදහස් වෙලා නැහැ නේද?

මේ රටේ තිබුණ ගැටලු විසඳන්න යම්කිසි කාලයක් යනවා; බංකොලොත් වුණාම ඒ රට එයින් නිදහස් වන්න යම් කිසි කාල වේලාවක් යනවා. එය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. රටක් බංකොලොත්භාවයට පත්වීම සංකීර්ණ ක්‍රියාවලියක්. කෙසේ වුවත් බංකොලොත්භාවයෙන් යම්කිසි මට්ටමකට අපි නිදහස් වෙලා තියෙනවා. කොහොමත් අපි මේ අසීරු කාලයක් තමයි ගෙවන්නේ. ආර්ථීකය පවතින්නේ ඉතාමත් සියුම් තැනක. මේ ආර්ථීකය ශක්තිමත් කරගැනීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි. ආර්ථීකය ශක්තිමත් වීමට නම් මැතිවරණයේදි ජනතාව හොඳ තීරණයක් ගනියි කියලා මම විශ්වාස කරනවා. ඒ අය දන්නවා මේ රටේ මේ ගැටලු විසදන්න වෙනත් කෙනෙක් නැහැ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණයි එය කරන්න හැකියාව තියෙන්නේ.

විපක්ෂයේ කිසිදු සහයකින් තොරව ජාත්‍යන්තරය පවා අද ප්‍රශංසා කරන රටක් ගොඩනඟන්නට එජාප තනි පුද්ගලයෙකුට හැකිවුණා. ඒ තැනට පැමිණි ගමන් මග පිළිබඳ විස්තර කළොත්?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනත් රටවල් නායකයන් සමඟ තියෙන විදෙස් සම්බන්ධතා, එසේම ජාත්‍යන්තර නායකයන් එතුමා කෙරෙහි ඇති විශ්වාසය පිළිගැනීම අපි දැකලා තියෙනවා. ජාත්‍යන්තර සමුළුවල දී ඒ පිරිස එතුමා ගැන ලොකු ගෞරවයෙන් පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම ගෞරවය තියෙන නිසා මේ අයත් සමඟ සාකච්ඡා කරලා මේ ගැටලු විසඳන්න එතුමාට හැකියාව තියෙනවා. එයයි මෙයට හේතුව. ණය වෙලා තියෙන රටවල් සමඟ සාකච්ඡා කරලා අපිට ප්‍රතිව්‍යුහගතකරණයට වසර 4ක කාලයක් ලබාදීලා තියෙනවා. ඒ වසර හතරින් පසුව ආර්ථීකය ශක්තිමත් කරලා ඉන් අනතුරුව අපිට 2042 දක්වා කාලය ණය ගෙවීමට ලබා දී තියෙනවා. ඒනිසා රටට එය ලොකු ජයග්‍රහණයක්. ඇතැම් බංකොලොත් රටවල් එයින් ගොඩ ඒමට වසර 10කට වඩා වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා; ඒනිසා එයින් නිදහස් වෙන්න වසර දෙකකින් මෙතැනට ගෙන ඒමට එතුමාගේ හැකියාව ලැබුණා. එය ජාත්‍යන්තරය පවා පැසසුමට ලක් විය කරුණක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ කෙරුණු සාකච්ඡා නිසා තමයි මේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සැලසුම් කර තිබෙන්නේ. නතර කර තිබුණ ව්‍යාපෘති සියල්ල ආරම්භ කර තියෙනවා. ඒවගේම මේ ලෝකයේ කවුරුත් දන්න ව්‍යාපාරිකයන් ලංකාවේ ආයෝජන කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අය හිතනවා මේ රට ස්ථාවර තැනකට ගෙනයනවා කියන කාරණාව. ඒ අයට මෙය පේනවා ලංකාවට එවැනි ආයෝජකයන් පැමිණියොත් ලංකවේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් වෙනවා. පසුගිය කාලයේ අපි දැක්කා තරුණ ප්‍රජාවන් රට අතහැර යනවා. ඒවා යථාතත්ත්වයට පත් වෙතැයි අපි විශ්වාස කරනවා. ලොකු පිරිසක් රට අතහැර ගියා. ඒ අයට විශ්වාසයක් තිබුණෙ නැහැ රට ගැන. දැන් ඒ අයට නැවත විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා. රට ශක්තිමත් වුණොත් ධනවත් පිරිස ආයෝජනයක් කරනු ලැබුවහොත් තරුණයන්ට රැකියා අවස්ථා ලැබෙනවා. ඒක තමයි අපි කළ යුතුවන්නේ. එයයි එතුමාගේ දර්ශනය.

රාජ්‍ය සේවක දීමනා ලබාදීම, ඉන්ධන මිල සහ විදුලි බිල අඩු කිරීම වැනි සහන ජනතාවට ලබා දුන්නේ මැතිවරණ ඉල්කක කරගෙන කියලා විපක්ෂය චෝදනාවක් කරනවා…?

විපක්ෂය නම් ඉතින් චෝදනා කරනවා හැමදේටම. ඒත් මේ රටේ ප්‍රශ්න විසඳන්න ඒ අයට සහභාගි වෙන්න කියලා කතා කළා; ඒත් මේ රටේ අහිංසක ජනතාවගේ ගැටලු විසඳන්න ඒ අය කවදාවත් එකතු වුණෙ නැහැ. ඒ අය දේශපාලනය කරන්න විතරයි බැලුවෙ. වැඩකරන අයගේ කකුලෙන් ඇද්දා හැමදාමත්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ ගෙන යන වැඩසටහනේ ප්‍රතිලාභ ජනතාවට එනවා. ඒවා ඡන්ද ගුණ්ඩුවක් කියලා විපක්ෂය චෝදනා කරනවා. ඡන්දය බලාගෙන සහන දුන්නා කිව්වාට ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩ සටහනින් දැන් තමයි එහි ප්‍රතිලාභ ටික ලැබෙන්නේ. වසර දෙකක් තුළ අමාරුවෙන් එක් එක් අභියෝග මැදයි මේ ප්‍රශ්න විසඳාගනු ලැබුවේ. එතුමාව විවේචනය කරන්නේ නැතුව සියලුදෙනා මේ ගැටලුවේදී එකතුවෙලා රට ගැන හිතලා ජනතාව ගැන හිතලා වැඩ කිරීමයි කළයුත්තේ.

ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම සාර්ථව නිම කිරීමට හැකියාව ලැබුණු බව ආණ්ඩුව ප්‍රකාශ කළත් ද්වීපාර්ශ්වීය විදෙස් ණය සම්බන්ධයෙන් එකඟතාවයන් පැහැදිලි නැති බවත් තවමත් බැඳුම්කර සම්බන්ධයෙන් අවසන් තීරණයන් ගෙන නැති බවත් ඒ අය පවසනවා…?

ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාමත් සාර්ථකයි. අපිට වසර හතරක කාලයක් ණය ගෙවීම ආරම්භ කිරීමට ඒ අය ලබා දීලා තියෙනවා . අපිත් විපක්ෂයේ හිටියා නම් අපිටත් ඕනදෙයක් කියන්න තිබුණා, නමුත් ප්‍රායෝගික කරන්න බැරි දේවල් කියලා වැඩක් නැහැ. රට බංකොලොත්භාවයට පත් වී තිබුණ අවස්ථාවේදී විපක්ෂයේ විශේෂඥයන් කොහෙද හිටියේ; දැන් රට ස්ථාවරභාවයට ඇවිත් තියෙන අවස්ථාවක කියනවා අපි හිටියනම් මීට වඩා හොඳට කරනවා කියලා කියනවා.

රට තුළ දිඟින් දිගටම වෘත්තිය සමිති වර්ජන රැල්ල ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?

මේ රටේ ආර්ථික ගැටලු තියෙනවා. ජීවන බර තවමත් මිනිසුන්ට තියෙනවා. ඒ නිසා යම් කිසි කාල වේලවක් යනවා ජනාධිපතිවරයාට මේ වැඩසටහන්වලින් අනතුරුව යම් ස්ථාවරයකට ඇවිත් ජනතාවට සහන සැලසෙන්න. මිනිසුන්ට ගැටලු තියෙනවා. අපි පිළිගන්නවා. ඒ දේ උපයෝගි කරගෙන යම්කිසි දේශපාලන පක්ෂ පිටුපසින් ඉන්නවා දේශපාලන වාසි ලබාගන්න. ඒ අය බලන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවළට හරස් වෙලා බලය ගන්න. විශාල විරෝධයක් ජනතාවගෙනුත් මේ වනවිට ඒ වර්ජනවලට විරුද්ධව තියෙනවා. අපි දැක්කා ප්‍රවාහන පහසුකම් දුම්රිය ප්‍රශ්න අධ්‍යාපනය වශයෙන් යම් කිසි ගැටලු ආවා. රටක් වශයෙන් ආර්ථීක බංකොලොත් භාවයෙන් නිදහස් වෙන අවස්ථාවේදී හැම ගැටලුවක්ම එකවර විසඳන්න බැහැ. මේ ගැටලු විසඳන්න යම්කිසි කාල සීමාවක් යනවා ඒ අය දැන ගන්න අවශ්‍යයි ඒදේවල්.

විදෙස් ණය කපා හැරීම් මෙන්ම ණය ගෙවීම් කාලය දිගුකර ගැනීම සම්බන්ධයෙන් චෝදනා තියෙනවා.

අපිට 2042 වන තුරු කාලයක් ණය ගෙවීමට දීලා තියෙනවා. බිලියන අටක් පමණ ණයක් කපා හැරලා තියෙනවා. එය ලොකු ජයග්‍රහණයක්. එය විවේචනය කළ යුතු කරුණක් නොවෙයි. විපක්ෂය කියන්නේ ඒ අය හිටියනම් මීට වඩා හොඳින් කරනවා කියලා, නමුත් විපක්ෂය එදා රට වැටුණ වෙලාවේ හිටියේ නැහැ. ඒ අයගේ සැලසුමක්වත් නැහැ. විවේචනය කරනවා විතරයි. නිවැරදි සැලසුමක් ඒ අය ඉදිරිපත් කරලා නැහැ. එම සැලසුම් සහ වැඩපිළිවෙළක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට පමණයි. වෙනත් කිසිවෙකුට මේ දේ කරන්න බැහැ.

ඔබ කියන්නේ වත්මන් ජනාධිපතිවරයාට හැර වෙනත් අපේක්ෂකයෙකුට රට ගොඩනැඟීමේ කාර්යය ඉදිරියට සිදු කළ නොහැකි කියලද ?

අනිවාර්යෙන්ම නොහැකියි; අපිට ඒගැන කිසිම විශ්වාසයක් නැහැ. විපක්ෂයේ කිසිදු අපේක්ෂකයෙක් නැහැ. කිසිවෙකුට මේ රට ගොඩගන්න අවස්ථාවේදී මේ අභියෝග භාරගන්න කිසිවෙකුට බැහැ. ඒ අය මේ රජ පුටුවේ වාඩිවුණොත් අපිට නැවත පෝලිම් යුගයට යන්න වෙනවා. මේ අපි ගොඩනඟමින් යන්නේ අසීරු අවස්ථාවක්; මේ අවස්ථාව ඉතාමත් සීරුවෙන් ගමන් කළ යුතුයි. මේ අය කිසිවෙකුට රටේ ආර්ථීක ස්ථාවරත්වය ගැන අදහසක් නැහැ. මේ අයට රටේ ආර්ථික ගැටලුව කෙසේද විසඳන්නේ කියලා කිසිදු අදහසක් නැහැ. ඒ අය බලය ගත්තොත් අපිට දකින්න පුළුවන් මේ රට කොයි අතටද යන්නේ කියලා.

මේ රටේ මැතිවරණවලදී සහනාධාර දීමේ පොරොන්දුව මෙතෙක් ක්‍රියාත්මක වුණා. ඒ සුභසාධන සහ සහනාධාර ක්‍රමවේදය ඉදිරියේදීත් ක්‍රියාත්මක කළහොත් රට නැවතත් අර්බුදයකට යන බව ආර්ථීක විශේෂඥයන් කියනවා. ..?

පැහැදිලිව අපි දන්නවා සුබසාධන ක්‍රමවේදය නිසා තමයි අපි රටක් ලෙස වැටුණේ. එය දිගින් දිගටම කරන්න බැහැ. හැම දේශපාලන පක්ෂයකටම මේ දේවල් කරන්න ණය ගන්න වෙනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පමණයි රට ගැන හිතලා මෙවැනි තද තීරණ ගන්නේ හිත් පිනවන තීන්දු නොවෙයි එතුමා ගන්නේ. සුබසාධන දෙන්න ගියාම ඒ අය ඒක බලාපොරොත්තු වෙනවා. එහෙම කළොත් අපිට කවදාවත් මේ රට ගොඩගන්න බැහැ; රටක් ලෙස අපි ගොඩනැඟෙන්න අවශ්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් යන්නේ. බෙද බෙද ගිහිල්ලා ඡන්ද දිනලා වැඩක් නැහැ. සැලසුමකුයි තියෙන්න අවශ්‍ය වෙන්නේ.

දේශපාලන ස්ථාවරත්වයක් නොමැතිව ආර්ථික ස්ථාවරත්වයක් රටක ගොඩනැඟිම අසීරු බව ඇතැම් ආර්ථීක විශේෂඥයන්ගේ මතයයි. එසේ නම් ඉදිරි මැතිවරණයෙන් අනතුරුව ස්ථාවර ආණ්ඩුවක අවශ්‍යතාවය මතු වෙනවා නේද?

අනිවාර්යෙන්; දේශපාලන ස්ථාවරභාවය අවශ්‍යයි. දේශපාලන ස්ථාවරත්වය ඇති වීම හරහා ආර්ථික ස්ථාවරත්වය ඇති වෙනවා. රටේ දේශපාලන ස්ථාවරභාවයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපති මැතිවරණය ජයග්‍රණය කළහොත් සියලු දෙනා විසින්ම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් සකස් කර ගැනීමේ අවකාශය හිමිවෙනවා. එවිට දේශපාලන ස්ථාවරත්වයක් රටේ ඇති වෙනවා. විපක්ෂයේ අය කෑ ගැහුවාට ඒ අය දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණයි; මේ රට ගොඩගන්න පුළුවන් කියලා. මේ රටේ ඇතිවෙලා තියෙන මේ ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමා මැතිවරණයට මුහුණ දීලා අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරනවා. එවිට මේ රටේ දේශපාලන ස්ථාවරභාවයක් සකස් කරගන්න හැකිවෙයි .එක් පැත්තකින් චෝදනා කරනවා මැතිවරණයට බය නිසා කල් දාන්න යනවා කියලා. මේ මැතිවරණවලට බය නම් අරගලයක් පවතින අවස්ථාවක රටේ ආර්ථිකය බිඳවැටිලා තියෙන අවස්ථාවක අවනීතිය රජවෙලා තියෙන වෙලාවක මිනිසුන්ට කන්න නැහැ, ගෑස් නැහැ, තෙල් නැහැ. ඒ වෙලාවේ එතුමා රට භාරගත්තා. ඒ සියලු අභියෝග තියෙන අවස්ථාවක තනි පුද්ගලයෙක් ලෙස එතැනට ගිහින් මේ රට භාරගත්තේ අපි. එතුමාගේ නිර්භිත බව නිසයි. එතුමාගේ නිවසත් පුච්චලා දැම්මා ඒ අවස්ථාවේදි එතුමා ඒ අභියෝගවලට මුහුණ දීලා මේ රට මෙතැනට ගෙනාපු නායකයාට මැතිවරණවලට මුහුණ දීම ඇත්තටම කජ්ජක් කියලා මම අහන්නේ. එතුමා කිසිම බයක් නැහැ. විපක්ෂයට කියන්න දේවල් නැහැ. මේ දේවල් කියන්නේ.

දේශගුණික විපර්යාය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ඔබට පැවරි ඇති කාර්ය භාරය මොනවාද?. දේශගුණික විපර්යාසයන් ජන ජීවිතයට බොහෝ සෙයින් බලපානවා ඒ සම්බන්ධයෙන් යම් පියවර රජය ගෙන තිබෙනවාද?

මේ තනතුරු සම්බන්ධයෙන් ඇතැමුන් හිතනවා පරිසරය සම්බන්ධයෙන් ඇතැමුන් දේශගුණ, වර්ෂාපතනය කියලා හිතනවා. මේ දේශගුණික විපාර්යාස නිසා රටේ ජන ජිවිතයට බොහෝ අවස්ථාවල අඩපණ වෙනවා. ඒ වගේ අවස්ථාවලට අපි මැදිහත් වෙනවා. ලෝක බැංකුවේ වාර්තා අනුව ලංකාවේ දළ දේශීය ආදායමෙන් 1.5% ප්‍රතිශතයක පාඩුවක් 2050 වනවිට සිදුවෙන බව කියනවා. මේ වනවිටත් මෝසම් හුගාක් වෙනස්වෙලා තියෙනවා; වර්ෂාපතනය වෙනස් වෙලා තියනවා. අධික උෂ්ණත්වය කෘෂීකර්මයට සහ සෞඛ්‍යට ජාතික ආරක්ෂාවට බලපානවා රජයකට විශාල අලාභයකට මුහුණදෙන්න වෙනවා; දේශගුණික විපර්යාස නිසා සිදුවන හානි සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමක් තමයි මෙහිදී සිදු කරන්නේ. විශේෂයෙන් ආර්ථීකය ශක්තිමත් කරලා මේ විපර්යාසයන්ට අපි මුහුණ දෙන්නේ කොහොමද කියලා සැලසුම් සකස් කිරීමක් තමයි අපි මෙහිදී සිදුකරන්නේ. ලෝකයේ රටවල් රැසක් මේ විෂය ගැන සාකච්ඡා කරනවා. අපේ වැනි රටවල් ණය බරින් වැඩියෙන්ම පීඩාවිඳින රටවල් අප්‍රිකා අර්ධද්වීප වැනි රටවල් පරිසරය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් විශාල කථිකාවන් ගොඩනඟමින් තියෙනවා. මේ රටවල් දේශගුණික විපර්යාසයන්වලට මුහුණ දෙන රටවල්; මේ රටවල වනාන්තර ආරක්ෂා කරන්න නම් ගෝලීය වශයෙන් අධික උෂ්ණත්වයක් වැඩි වෙලා තියෙනවා. ඒ වැඩිවීමට හේතුව ධනවත් රටවල තියෙන කර්මාන්ත ශාලාවලින් පිටවන අපද්‍රව්‍ය බැහැර කිරීමයි.

එහෙන් අපද්‍රව්‍ය දාලා ඒ අය ධනවත් වෙනවා. පරිසරය ආරක්ෂාවකට එය ලොකු බලපෑමක් වෙනවා. අපි වැනි රටවල් මේ ධනවත් රටවල්වලට කියනවා ඒ අය තමයි මේවා දුෂණය කරන්නේ. ඒ රටවල්වලට ඇවිත් ආයොජනය කරන්න කියලා. අපි ඒ අයට කියනවා. ආර්ථීකය ශක්තිමත් කිරීම පරිසරය ආරක්ෂා කිරීම යන දෙඅංශය ගැනම අපි එහිදි ඒ අය සමඟ සාකච්ඡා කරනවා. ජනාධිපතිවරයා තමයි මේ විෂය බොහෝ දුරට ඉදිරියට ගෙන ආවේ. එතුමත් සමඟ වැඩකරන්න ලැබීම ගැන මම සතුටක් තියෙනවා. මේ රටට හරිත ආර්ථීකයක් ගෙන එන්නේ කොහොමද කියලා එතුමා නිතර සාකච්ඡා කළා. හරිත ආර්ථිකයක් හදන්න තමයි ජනාධිපතිවරයාගේ අදහස තියෙන්නේ. ලංකාවේ තියෙන මේ පරිසර සම්පත් ටික අපි ආරක්ෂා කර ඒ තුළින් අපි රට දියුණු කරන ක්‍රමවේදයක් ගැන කල්පනා කරනවා. සංචාරකයක් ලංකාවේ තියෙන ස්වභාවික සම්පත් නිසයි සැබවින්ම මේ රටට පැමිණෙන්නේ. ඒවා අපි ආරක්ෂා කරගත යුතුයි.

ඡායාරූප – මාලන් කරුණාරත්න

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division