මෙරට පුද්ගලයන් ලක්ෂ 5ක් පමණ කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහිවී ඇති බව සමීක්ෂණයකින් හෙළිවී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ පසුගියදාය. එලෙසම පොලිසියට හසු නොවී සැඟවී සිටි නමගිය අපරාධකරුවන් 1,40,000ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවී ඇති බව පසුගියදා සඳහන් කළේ ලලිත් රෝහණ ගමගේ මාතලේ ජ්‍යෙෂ්ඨ අධිකාරිවරයාය.
කුමන හෝ අපරාධයක් සිදුකර පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ඔවුන් අතරින් 99%ක් පමණ කුමන හෝ මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වී ඇති බවයි. යුක්තිය මෙහෙයුම මඟින් ද අල්ලා ගන්නා ලද සැකකරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් ද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෝ වෙති. එම සංඛ්‍යාව ලක්ෂයකට වැඩි බව ද හෙළි විය.
මෙයින් පෙන්නුම් කරන්නේ මත්ද්‍රව්‍ය සිදුකරන විනාශයයි. මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම වෙනුවෙන් මත්ලෝලීන් නොකරන දෙයක් නැත. මේ වන විට බන්ධනාගාර පිරී ඉතිරී ගොස් ඇත්තේ මත්ලෝලීන්ගෙනි. ඒ යුක්තිය මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙසය. මතට අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා තමන්ගේ බිරිය, දරුවන් පවා ‘උකසට’ තැබීමට සූදානම් මත්ලෝලීන් ද සිටින බව රහසක් නොවේ.
කොට්ටාව පොලිසියේ නිලධරයන් කණ්ඩායමක් පසුගියදා සිදුකරන ලද ඉතා දීර්ඝ එමෙන්ම සැලැසුම් සහගත විමර්ශනයකදී මහා පරිමාණ දුරකතන කම්බි සොරකමක සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර එහිදී ද හෙළිවන්නේ ඊට සම්බන්ධ පුද්ගලයන් දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බවයි.
කොට්ටාව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදුකරන ලද එම සාර්ථක විමර්ශනය පියවරෙන් පියවර පෙළ ගැසෙන්නේ මෙසේය.
කොට්ටාව පොලිස් වසමට අයත් මාලපල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක ඉදිකර තිබූ මීටර් 180ක් දිගැති දුරකතන රැහැන් කපා සොරකම් කරගෙන ගොස් ඇති බවට කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ පසුගියදාය. පැමිණිල්ල සිදුකර තිබුණේ ඒ අදාළ දුරකතන රැහැන් අයත් පෞද්ගලික සමාගමේ නිලධරයකු විසිනි.
පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කෙරුණු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් පමණ බවද කියැවිණි. මේ සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ.පී.එස්. ජයමහ ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කෙරෙන්නේ කොට්ටාව පොලිස් ස්ථානාධිපති සුභාෂණ වන්නිආරච්චිගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම විසිනි.
උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග සිය නිලධාරීන් කණ්ඩායම ද කැටුව අදාළ සොරකම සිදුවූ කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කරන්නේ මේ ගැන කිසියම් හෝඩුවාවක් සොයා ගැනීම සඳහාය. මාලපල්ලේ අතුරු මාර්ගයකදී කපාගෙන ගිය දුරකතන රැහැන් මීටර් 180 යොදා තිබූ ස්ථානය ද උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු නිලධාරීන්ගේ පරික්ෂාවට ලක්වන්නේ ඉන් අනතුරුවය. එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ගෙන් මේ ගැන හෝඩුවාවක් ලබා ගැනීමට උත්සාහ කළත් එයද එතරම් සාර්ථක නොවූ නිසා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සිය ප්‍රධාන සැලැසුම ක්‍රියාත්මක කරන්නේ ඉන් අනතුරුවය. ඒ මේ අපරාධය පිළිබඳ කුමන හෝ හෝඩුවාවක් හෙළිකර ගැනීම සඳහා සොරකම සිදුවූ ස්ථානයේ සිට ඉදිරියට සී සී ටී වී දර්ශන පරික්ෂා කිරීමයි.
එලෙස කොට්ටාව, මාලපල්ල අදාළ අතුරු මාර්ගයේ සිට රාගම, වල්පොළ දක්වා සී සී ටී වී කැමරා 280ක දර්ශන ඉතා වෙහෙසකර මෙහෙයුමකින් පරික්ෂා කළ උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායම වැදගත් තොරතුරක් හෙළිකර ගන්නේ දින කිහිපයක් ඇතුළතදීය. සැක කටයුතු ත්‍රිරෝද රථයකින් ගමන් කරන පුද්ගලයන් පිරිසක් එය මාකොළ ප්‍රදේශයේ වෙළෙදසලක් අසල නවත්වා එක් අයෙක් එම වෙළෙඳසලට ගොස් බීම බෝතලයක් මිලදී ගන්නා ආකාරය සී සී ටී වී දර්ශනයක පැහැදිලිව සටහන් වී තිබිණි.
එම පුද්ගලයා හඳුනා ගැනීම සඳහා පොලිසිය ගත් උත්සාහය සාර්ථක වූ අතර එම පුද්ගලයා සන්නිවේදන සමාගමක සේවය කරන අයකු බව ද ඔහු රාගම, වල්පොළ ලේක්සයිඩ් වත්තේ පදිංචි 24 හැවිරිදි අයකු බව ද පොලිසිය සොයා ගන්නේ ඉන් අනතුරුවය.
සැකකරුගේ අනන්‍යතාව පිළිබඳ එසේ සොයා ගන්නා ලද පොලිස් නිලධාරීන් ඔහු ගැන විමසිල්ලෙන් සිටියදී සැකකරු කොට්ටාව වෑකඩ පාරේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායමට හැකිවිය.
සැකකරුගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ඉන් අනතුරුවය. මෙලෙස සොරකම් කරන ලද දුරකතන රැහැන්වලින් ලබාගත් තඹ කිලෝ 27ක්, දුරකතන රැහැන් කැපීම සඳහා භාවිත කරන උපකරණ කට්ටලයක්, සොරකම් සඳහා ගමන්බිමන් යාමට උපයෝගි කරගන්නා ත්‍රිරෝද රථයක්, මෝටර් බයිසිකලයක්, දුරකතන රැහැන්වල තඹ කොටස් ආවරණය කෙරෙන රබර් කොපු තොගයක් පොලිසිය විසින් සොයා ගන්නේ සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුවය.
ඉන් අනතුරුව පොලිස් නිලධාරීන් මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරන්නේ ඔහු ඇතුළු සෙසු කණ්ඩායම මීට පෙර සිදුකර ඇති අපරාධ සම්බන්ධවය. එහිදී හෙළිවන්නේ මේ සැකකරු ඇතුළු කණ්ඩායමක් රාගම, කඩවත, හෝමාගම, වැලිවේරිය, අත්තනගල්ල, කහතුඩුව, තලංගම, ජාඇළ සහ යක්කල ප්‍රදේශවලදී රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා දුරකතන රැහැන් කපා ඒවායේ තඹ අලෙවි කර ඇති බවයි. එවැනි සොරකම් 24ක තොරතුරු මේ පුද්ගලයාගෙන් අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිවිය.
එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරු එවැනිම සොරකම් සම්බන්ධයෙන් මීට පෙර ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර මේ වන විට ඇප මත මුදා හැර සිටින අයකු බව ද හෙළි විය.
මේ කල්ලියේ සෙසු සාමාජිකයන් පස්දෙනාගෙන් දෙදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ මීට පෙර පොලිසියට හසුවීමෙන් අනතුරුව මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. සෙසු දෙදෙනා පිළිබඳව තොරතුරු පොලිසිය විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව හෙළි වී තිබේ.
කොට්ටාව පොලිස් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප – කොට්ටාව ශාන්ත ප්‍රදීප් කුමාර
දීපාල් සමරසේකර