Home » කොලොන්නේ ව්‍යාපාරිකයාට දකුණේ පාතාලයා ප්‍රංශයේ සිට දුන් දඬුවම

කොලොන්නේ ව්‍යාපාරිකයාට දකුණේ පාතාලයා ප්‍රංශයේ සිට දුන් දඬුවම

by thanushika
July 20, 2024 12:30 am 0 comment

ජූලි මාසයේ අට සහ නවය දෙදින පාතාල කල්ලි සාමාජිකයන්ගේ ක්‍රියාත්මක වීමෙන් බිහිසුණු ඝාතන දෙකක් සිදු විය. ඒ, අටවැනිදා අතුරුගිරියේදී ක්ලබ් වසන්ත ඝාතනය සහ නවවැනිදා කොලොන්න පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයයි. නවවැනිදා රාත්‍රියේ එම ඝාතනය සිදු වූයේ කොලොන්න පොලිස් වසමේ දෙණියාය – රත්නපුර මාර්ගයේ පිහිටි උල්ලිඳුවාව අප්ටන් වත්තේදීය.

එදින රාත්‍රී 7.30ත් 7.45ත් අතර කාලයේ දී සිදුවූ වෙඩි ප්‍රහාරයකින් ඝාතනය වූයේ කොලොන්න, අලිවාඩිය, අප්ටන් වත්තේ හිමිකරු වූ 61 හැවිරිදි හිරිඹුරගේ කුමාරසේනය. එක්දරු පියෙකු වූ කුමාරසේන සිය බිරිය සමඟ පදිංචිව සිටියේ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් භාගයක පමණ දුරකින් අප්ටන් වත්ත මධ්‍යයේ පිහිටි දෙමහල් නි‍ෙවසේය. එම නි‍ෙවසට පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් කුමාරසේන මියගොස් සිටියේ නිවෙසේ සාලය තුළ ලේ විලක් මැදය.

කුමාරසේන කොලොන්න ඇතුළු අවට පෙදෙස්වල පිහිටි මුඩු ඉඩම් බද්දට ගෙන තේ වගාකොට නැවත හිමිකරුවන්ට ලබා දෙමින් ආදායම් ඉපැයූ ව්‍යාපාරයක් කළ අයෙකි. එලෙස ඔහු විසින් ප්‍රදේශයේ අක්කර 100ක පමණ ප්‍රමාණයක් බදු ක්‍රමයට වගාකර ඇතැයි සැල වේ. කුමාරසේනගේ එකම පුත්‍රයා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන අයෙකි.

නවවැනිදා රාත්‍රියේ කුමාරසේනගේ නි‍ෙවසේ සිටියේ ඔහු සහ බිරිය පමණි. එදින රාත්‍රී 7.30ට පමණ යතුරුපැදියකින් නි‍ෙවසට දෙදෙනෙකු පැමිණ තිබිණි. ඒ මොහොතේ බිරිය සහ කුමාරසේන සිටියේ නි‍ෙවසේ උඩුමහලේය. නිවෙසට පැමිණි ආගන්තුකයන් දෙදෙනා කුමාරසේනගේ නම කියා හඬගෑම නිසා පහළ මහලට පැමිණ දොර ඇර තිබුණේ කුමාරසේනගේ බිරියයි. “අපේ මුඩු ඉඩමක් තියෙනවා… අපට එකේ තේ වගා කරගන්න ඕනේ… ඒකට කුමාරසේන මහත්තයා… හමුවෙන්නයි ආවේ…“ යනුවෙන් ඔවුන් කුමාරසේනගේ බිරියට කියා තිබිණි.

අනතුරුව කුමාරසේනගේ බිරිය එම පණිවිඩය සැමියාට කීමත් සමඟ කුමාරසේන පහළ මහලට පැමිණ ගතවී තිබුණේ නිමේෂයකි. ප්‍රදේශයේ නිහඬ බව බිඳිමින් දෝංකාර දුන්නේ වෙඩි හඬ කීපයකි. ඉහළ මහලේ සිටි කුමාරසේනගේ බිරිය එසැණින් පහළට පැමිණ බලද්දී දුටුවේ කුමාරසේන විසිත්ත කාමරයේ ලේ විලක් මැද මියගොස් සිටි ආකාරයයි. බිරිය එන විටත් එම නාඳුනන පුද්ගලයන් දෙදෙනා ඔවුන් පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් තිබිණි.

අනතුරුව එම ඝාතනය කොලොන්න පොලිසිය වෙත වාර්තා වීමත් සමඟ එහි මූලික විමර්ශන ඇරැඹුණේ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ගේ ද උපදෙස් මතය. ඒ මේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහාය.

ඒ අනුව විමර්ශන නිලධාරින් අනාවරණය කරගත්තේ කිසිම තරහකාරයකු නොමැති කුමාරසේන ඝාතනය සිදුකර ඇත්තේ පරණ කෝන්තරයක් මත පාතාල අපරාධකාරයකු විසින් බවය. එම පාතාල අපරාධකාරයා මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අමිල සම්පත් හෙවත් ‘රොටුඹ අමිල‘ බවත් ඔහුගේ සැලැසුමක් අනුව කුමාරසේන ඝාතනය කර ඇති බවද පොලිසිය හෙළිකරගන්නේ සිදු කරන ලද විමර්ශනවලදීය.

මීට වසර 15කට 20කට පමණ පෙරදී රොටුඹ අමිලගේ ලොකු අම්මාට කුමාරසේන විසින් සිදුකළ පහර දීමක් නිසා රොටුඹ අමිල විසින් ඔහුගේ මෙරට ගෝලයන් දෙදෙනෙකු යොදවා කුමාරසේන ඝාතනය කර ඇති බව අනාවරණය වීමත් සමඟ පොලිසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධරයන් එම අපරාධකාරයන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කරන්නේ එතැන් සිටය.

ඝාතනයෙන් පසුදා එනම් 10 වැනිදා දින පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක Iහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායකට තොරතුරක් ලැබී තිබුණේ කුමාරසේන ඝාතනයට සැක දෙදෙනෙකු මිද්දෙනිය සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල සැරිසරමින් තවත් අපරාධවලට සූදානම් වන බව දැනුම් දෙමිනි.

එම තොරතුර පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරින් දැනුම්වත් කිරීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ උපදෙස් මත බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්.එම්.කේ. විජේසිංහගේ මඟපෙන්වීමෙන් සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක සිය කණ්ඩායමත් සමඟ මිද්දෙනිය ප්‍රදේශයට ගොස් අවේක්ෂණ රාජකාරියේ නිරතව සිටියේ කුමාරසේන ඝාතකයන් කොටුකර ගැනීමටය. එහිදී ඉකුත් 11 වැනිදා සවස මිද්දෙනිය – ඇඹිලිපිටිය මාර්ගයේ මිද්දෙනිය පොලිස් වසමේ, තොරගලයාය මාක්ස් ඇටිටිව් ඇඟලුම් ආයතනය අසලදී කුමාරසේනගේ ඝාතකයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට එස්ටීඑෆ් නිලධාරින්ට හැකි විය.

එලෙස අත්අඩංගුවට ගැනුණේ විවාහකයන් දෙදෙනෙකු වන 47 හැවිරිදි රාමනායකගේ ඉන්දික කුමාර හෙවත් කැලෑ මහින්ද සහ 27 හැවිරිදි ජයවර්ධන අබේසිංහ පතිරණගේ සඳකැලුම් ජයවර්ධන හෙවත් තේක්ක සුද්දාය. මිද්දෙනියේ, ඕකන්දයායේ පදිංචි මොවුන් දෙදෙනා එක්ව සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්, මංකොල්ලකෑම්, පහරදීම් ඇතුළු චෝදනා 30කට අධික ප්‍රමාණයකට විරුද්ධව අධිකරණවල නඩු කටයුතු ද පවතී. දෙදෙනාම රිමාන්ඩ් බන්ධනාගාරගතව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට එළියට පැමිණ සිටියේ මීට මාස එකහමාරකට පමණ පෙරදීය.

කැලෑ මහින්ද නමැත්තා මාකඳුරේ මධුෂ් සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ අයෙකි. ඔහු මධුෂ් ජීවත්ව සිටියදී මාලබේ පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක කෝකියකු ලෙස ද කටයුතු කළ අයෙකි. මධුෂ්ගේ මියයාමත් සමඟ මධුෂ්ගේ ප්‍රධාන ගෝලයකු වන මේ වන විට විදෙස් රටක සිටින රොටුඹ අමිලට එක්වූ කැලෑ මහින්ද සහ තේක්ක සුද්දා මේ වන විට රොටුඹ අමිලගේ හෙරොයින් එම ප්‍රදේශවල ජාවාරම් කරන ප්‍රධානතම ගෝලයන් දෙදෙනෙකි.

කැලෑ මහින්ද සහ තේක්ක සුද්දාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී කුමාරසේන ඝාතනයට යොදාගත් මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනිඅවි 02 ක්, බෝර 12 ජීව උණ්ඩ 02 ක්, හෙරොයින් ග්‍රෑම් 100 ක්, වෙඩි තැබීම සඳහා පැමිණි BCF 1681 අංක දරන යතුරුපැදිය සහ ජංගම දුරකතන 03 ක් ද සොයා ගැනීමට එස්ටීඑෆ් නිලධාරින්ට හැකි විය.

“ඇයි තමුන් කුමාරසේන මැරුවේ…?“ යැයි එස්ටීඑෆ් නිලධාරියෙක් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළේය.

“සර්… අපට අමිල අයියා කතා කරලා කිව්වා කුමාරසේන මරන්න කියලා… එයා මීට අවුරුදු 15කට විතර ඉස්සෙල්ලා අමිල අයියගේ ලොකු අම්මගේ අතක් කපලා… ඒකට පළිය ගන්න කුමාරසේන ඉවරයක් කරලා දියන් කිව්වා. ඒකයි සර්… අපි මේ දේ කළේ…“ යැයි දෙදෙනා කීහ.

කැලෑ මහින්ද සහ තේක්ක සුද්දා එස්ටීඑෆ් නිලධාරින්ට එලෙස කීවද කොලොන්න පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට වසර 20කට පමණ පෙරදී ඉඩම් ආරවුලක් හේතුවෙන් අමිලගේ ලොකු අම්මා කෙනෙකුගේ දතක් කැඩෙන්නට කුමාරසේන විසින් සිදුකළ පහර දීමක් පිළිබඳවය. ඊට ඒ දිනවල දෙපාර්ශ්වය ගෙන්වා පොලිසිය විසින් සමාදාන කොට ද තිබිණි.

එම නිසා කුමාරසේන ඝාතනය පිළිබඳ විමර්ශන සිදුකරන පොලිසිය සහ එස්ටීඑෆ් නිලධාරින්ට වාර්තා වන ආකාරයට අමිල විසින් කුමාරසේන ඝාතනය කර ඇත්තේ ඔහුගේ ‘බලය‘ පෙන්වීමේ අරමුණකින් සේය.

සැකකරුවන් දෙදෙනා පවසා ඇත්තේ කුමාරසේනට දෙදෙනාම වෙඩි ප්‍රහාර එල්ලකොට ඡායාරූපයක්ද ගත් බවය. එම ඡායාරූප ද එස්ටීඑෆ් නිලධාරින්ට හමුවී තිබුණේ දෙදෙනාගේ ජංගම දුරකතනවල තිබියදීය. එම ජංගම දුරකතන පරීක්ෂාවේදී රොටුඹ අමිල විසින් ප්‍රංශයේ සිට අමතන ලද එරට දුරකතන අංක හමුවී තිබිණි. එම නිසා විමර්ශන නිලධාරින් සැක කරනුයේ රොටුඹ අමිල ප්‍රංශයේ ජීවත්වන බවටය. ඝාතනයට යොදාගත් යතුරුපැදිය මිද්දෙනිය, මුරුංගස්යායේ තරුණයකුගෙන් මිලදීගෙන එම යතුරුපැදියේ අංක වෙනස්කොට මෙකී ඝාතනයට යොදාගෙන තිබිණි.

අමිල විසින් කුමාරසේන ඝාතනය සඳහා දෙදෙනා රුපියල් ලක්ෂ 20ක් දීමට පොරොන්දු වී ඇත. එහෙත් රොටුඹ අමිල එම ඝාතනයෙන් පසු මුදලින් දී ඇත්තේ රුපියල් ලක්ෂ 4ක ප්‍රමාණයකි. ඉතිරි මුදල් සඳහා හෙරොයින් ලබා දී ඇත්තේ එම හෙරොයින් විකුණා මුදල් ලබාගන්නා ලෙස පවසමිනි.

මලවිසූරිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division