මෙරට මත්ද්‍රව්‍ය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද නීතියේ රැහැනට කොටු කරගෙන රට මෙම භයානක ව්‍යසනයෙන් මුදවා ගැනීමට යුක්තිය මෙහෙයුමට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය ද උර දී කටයුතු කරන්නේ විශාල මෙහෙවරක් ඉටුකර දෙමිනි.
එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් විසින් හෙරොයින්, අයිස්, කේරළ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාල අපරාධකරුවන්ද පසුපස හඹා යමින් මේ වනවිට විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය පාලනය කිරීමට හා මර්දනයට කටයුතු කරන්නේ දිවා රෑ නොබලා වෙහෙස වෙමිනි.
විදේශයක සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත් ජාවාරමුන් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන රහසිගත මාර්ගවලින් එකක් වන්නේ මුහුදු මාර්ගය බවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හඳුනාගෙන තිබුණේ දීර්ඝ කාලයක සිට සිදුකළ විමර්ශන අනුවය. මුහුදු මාර්ගය වුවද සෑම දිශාවකින්ම නොව දකුණු වෙරළ තීරය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ඒමට ඔවුන් පෙලඹී ඇත්තේ පහසුවෙනුත් ඉක්මනිනුත් සූක්ෂම ලෙස එම කාර්ය ඉටුකර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.
දීර්ඝ කාලයක සිට දකුණු මුහුදු තීරයෙන් මෙරටට ගේන ලද මත්ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කරන බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට බුද්ධි අංශයේ නිලධාරියෙකුගෙන් තොරතුරක් ලැබෙන්නේ මේ අතරය.
තොරතුර ලද සැණින් ඒ පසුපස හඹා යෑම බුද්ධි නිලධාරීන්ගේ සිරිතය. ඒ තවදුරටත් මේ පිළිබඳ නිවැරදිව ආවේෂණය කිරීමට අවශ්‍ය නිසාය. මාස තුනක පමණ කාලයක් දිවා රෑ නොබලා මෙම තොරතුරු ඔස්සේ ලුහුබැඳීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායම කටයුතු කළේ ඉතා සූක්ෂමවය. මෙහිදී ඔවුන් අනාවරණය කරගත්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ‘ජාලගතව’ මෙම ජාවාරම සිදු කරන බවය. දකුණේ සිට කොළඹ ප්‍රදේශයට වැඩි ප්‍රතිශතයකින් මත්ද්‍රව්‍ය ගලාගෙන එන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන සෝබනාහංගේ ජයලත් ද සිල්වා හෙවත් ‘කරන්දෙනිය සුද්දා’ හා තුප්ලහි ආරච්චිලාගේ ප්‍රසාද් රුවන් හෙවත් ‘කුඩු රොෂාන්’ නමැත්තන් මෙහෙයවන මත් ජාලයෙන් බවය.
පිටරටවල සැඟවී සිට අන්තර්ජාලය ඔස්සේ මෙම ජාවාරම ජයටම සිදු කරන ජාවාරමුන් ගෝලබාලයන් රොත්තක් පිරිවරාගෙන රටපුරා බෙදා හැරීමටද කටයුතු කරන්නේ බොහෝ අපරාධවලට මාවත සකස් කරමිනි.
මට්ටක්කුලිය මෝදර ප්‍රදේශ කේන්ද්‍ර කරගත් ‘කුඩු රොෂාන්ගේ’ කල්ලිය සහ ‘කරන්දෙනිය සුද්දාගේ’ කල්ලිය අතර කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී මෙම මත්ද්‍රව්‍ය හුවමාරුව සිදුවන බවට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ආවේක්ෂණ රාජකාරියේදී අනාවරණය කරගැනීමට අපහසු වූයේ නැත. මේ පිළිබඳව ඉහළ නිලධාරින් දැනුම්වත්කර වැටලීමට සූදානම් වීම ඊළඟ පියවර වූයේ සැකකරුවන්ට ගණදෙවි නුවණ පහළ වීමට පෙර සිදු කළ යුතු බැවිනි. මෙහිදී අනාවරණය වූයේ ත්‍රිරෝද රථයකින් සහ කැබ් රථයකින් සැකකරුවන් පැමිණෙන බවය.
ස්ථානාධිපතිවරයාගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් මත්ජාලය තුළින්ම තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන ලද්දේ ජාවාරමුන්ද ගොනාට අන්දවමිනි. ජාවාරමුන් පැමිණෙන වාහනවල පැහැයද ලියාපදිංචි අංක ද පැමිණෙන වේලාව ඇතුළු සියලු තොරතුරු ලබාගත් ස්ථානාධිපති නදීක සිල්වා සහ නිලධාරින් සමඟ රැකවල්ලා සිටියේ ඔවුන් අතටම අල්ලා ගැනීමටය.
ත්‍රිරෝද රථය පැමිණෙන බවට එම මාර්ගයේ රැකවල්ලා සිටියද එය එම ස්ථානයට පැමිණියේ නැත. ඔවුන් මාර්ගය වෙනස් කර වෙනත් ස්ථානයකදී මුණගැසීමට කටයුතු කළත් පොලිස් ඉව ඊට බලවත් බව ඔවුන් දැන සිටියේ නැත.
ඔවුන් මෙම මත්ද්‍රව්‍ය හුවමාරු කරගත්තේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ස්ථානයකදීය. ඉන් පසු ඔවුන් පලා යන අතර පොලිසිය ද පසුපස හඹා ගොස් ත්‍රිරෝද රථය අල්ලා ගන්නේ වත්තල හේකිත්ත කතෝලික පල්ලිය ඉදිරිපිටදීය. එක් සැකකරුවකු සමඟ හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 54ක් එහිදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින්ට හැකි විය. ඉන් පසු සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉඟුරුකඩේ හන්දිය අසලදී බොලේරෝ වර්ගයේ කැබ් රථය සහ සැකකරුවන් දෙදෙනෙකු හෙරොයින් කිලෝ 01 ග්‍රෑම් 122 සමඟ අත්අඩංගුවට ගැනීමට මෙහිදී හැකි විය.
සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරමේ නිරත තවත් පුද්ගලයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ අතර ඔහු අත්අඩංගුවට ගන්නේ වත්තල, මාබෝල පීරිස් මාවතේදීය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ ඩියෝ වර්ගයේ යතුරුපැදියේ අසුන යට පහළ කැබි කොටසේ සඟවා තිබූ හෙරොයින් තොගයක්ද සොයා ගැනීමට පොලිසියට හැකිවිය.
මෙහිදී අනාවරණය වූයේ ‘කුඩු රොෂාන්ගේ’ ජාලයේ මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රමිතියෙන් තොර වීම නිසා එම තොගය කරන්දෙනිය සුද්දාගේ පාර්ශ්වයට ලබා දී ඇති බවය. මෙම හුවමාරුව කාලයක් තිස්සේ මේ දෙපාර්ශ්වය අතර සිදුවී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.
කෝටි පහකට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය කිලෝ 03 ග්‍රෑම් 492ක් සමඟ අත්අඩංගුවට ගත් මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව, වත්තල ප්‍රදේශවල පදිංචි අවුරුදු 31, 33, 40 සහ 48 වයස්වල පසුවන මෙම සිවුදෙනා ත්‍රිරෝද රථය, බොලේරෝ වර්ගයේ ජීප් රථය, යතුරුපැදිය, ජංගම දුරකතන දෙකක් ද සමඟ විශේෂ කාර්ය බළකා නිලධාරීන් කටයුතු කළේ වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමටය.
කෙසේ වුවද දින දින ඇතුළට යන මත්ද්‍රව්‍ය ජාලයේ හාල්මැස්සන් මෙන්ම තෝරු මෝරු ගණනින්ද ඉහළ යන්නේ යුක්තිය මෙහෙයුමට පින් සිදුවන්නටය.
පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ නියෝග සහ අධීක්ෂණය මත අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී (බුද්ධි, විශේෂ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන) සාගර කුලසේකරගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ