Home » බූස්ස හිරේ කුඩු කප්පිත්තාට හෑන්ඩ්ෆෝන් 36ක් දුන්නේ කවුද?

බූස්ස හිරේ කුඩු කප්පිත්තාට හෑන්ඩ්ෆෝන් 36ක් දුන්නේ කවුද?

by thanushika
July 20, 2024 12:30 am 0 comment
දීපාල් සමරසේකර

බන්ධනාගාරගත කර සිටින පාතාල අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් ගණනාවක් බන්ධනාගාර ඇතුළේ සිට එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා මත්ද්‍රව්‍ය ජාවාරම් පාතාල ක්‍රියා සහ කුලී ඝාතන සිදු කරවන බව රහසක් නොවේ.

එවැනි පුද්ගලයන් බන්ධනාගාර ඇතුළත සිට සිදු කරන සංවිධානාත්මක අපරාධ සහ ජාවාරම් මර්දනය සඳහා යුක්තිය මෙහෙයුම යටතේද පොලිස් කණ්ඩායම් කීපයක් රටපුරා බන්ධනාගාර ආශ්‍රිත නිරීක්ෂණවල නිරතව සිටින්නේ මේ අපරාධකරුවන් ඇතුළේ සිට සිදු කරවන අපරාධ වැළැක්වීම සඳහාය.

විශේෂයෙන් එම පොලිස් කණ්ඩායම් පසුගිය දිනවලදී සොයා බැලූ ප්‍රධාන කාරණාව නම් ඇතුළේ සිටින අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා අපරාධ සිදු කරවීම පිණිස භාවිත කරන ප්‍රධාන මෙවලම වන ජංගම දුරකතන බන්ධනාගාර ඇතුළට ගෙන යන පුද්ගලයන් සම්බන්ධවය.

පොලිසිය මෙලෙස එම විමර්ශන සිදු කරන අතරේ බන්ධනාගාර වැටලීම් අංශයේ නිලධරයන්ද මේ පිළිබඳව දීර්ඝ විමර්ශන ආරම්භ කර තිබුණ අතර බන්ධනාගාර ඇතුළත මෙහෙයුම් සිදුකර රැඳවියන් පරීක්ෂා කිරීමට එම නිලධාරීන් පියවරගෙන තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ සිදු කරන ලද පරීක්ෂා කිරීම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9751ක් හෙරොයින් පැකට් 155ක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබිණි.

බන්ධනාගාර ඇතුළේ සිට ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරිකයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එළියේ සිටින සිය ගෝලබාලයන් ලවා සිය ජාවාරම් නිරුපද්‍රිතව සිදු කරගෙන යෑම සඳහා ප්‍රයෝජනයට ගන්නා ප්‍රධානතම මෙවලම වන ජංගම දුරකතන 282ක් සහ සිම්පත් 311ක් ද ජංගම දුරකතන බැටරි 309ක් චාජර් 85ක් අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර විමර්ශන නිලධරයන්ට හැකි වීම සුවිශේෂිය. ඒ අතර සිදු කරන ලද තවත් මෙහෙයුම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4741, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 12ක්ද අත්අඩංගුවට ගැනිණි.

මෙහිදී රැඳවූවන් හමුවීමට පැමිණි අමුත්තන් සන්තකයේ තිබී රුපියල් 17225ක් සොයාගෙන තිබූ අතර එම මුදල් රැඳවූවන් බැලීමට ආ අය විසින් රැඳවූවන්ට දීමට සූදානමින් සිට ඇති බවද විමර්ශනවලදී හෙළි විය. මේ මෙහෙයුම් සිදුකර තිබුණේ බන්ධනාගාර 30ක් ආශ්‍රිතවය.

බන්ධනාගාරවල රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එළියේ සිටින සිය ගෝලබාලයන්ගෙන් වැඩ ගැනීම සඳහා භාවිත කරන ප්‍රධානතම මෙවලම වන ජංගම දුරකතන අත්අඩංගුවට ගැනීම සහ ඒවායින් කරන කතාබහ නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම යුක්තිය මෙහෙයුම යටතේ බන්ධනාගාර ආශ්‍රිත මේ කටයුතු විමර්ශනය සඳහා යෙදවුණු විශේෂ පොලිස් කණ්ඩායම්වල ප්‍රධාන අරමුණ වී තිබේ.

මේ සම්බන්ධව විමර්ශනය කරන විශේෂ පොලිස් කණ්ඩායම් භාරව කටයුතු කරන පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද් දල්පදාදු ඇතුළු කණ්ඩායමක් පසුගියදා සිදු කරන ලද සුවිශේෂී මෙහෙයුමකදී මේ සම්බන්ධව ඉතා වැදගත් තොරතුරක් සොයාගන්නේ ලැබුණු තොරතුරු මතය.

බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත විශේෂ රාජකාරි සඳහා අනුයුක්ත කර සිටින පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද් දල්පදාදු ඇතුළු කණ්ඩායමක් මොරටුව මෙන්ඩිස් පාරේ කොණ්ඩා කපන ස්ථානයක් වටලා කරනැවෑමියකු අත්අඩංගුවට ගන්නේ ලැබුණු තොරතුරු මතය.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද කරණවෑමියා 31 හැවිරිදිය. ඔහු පාණදුර, පරත්ත, රිදිදෙවිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අල්ලාගන්නේ රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟය.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද කරණවෑමියා සන්තකයේ බැංකු පොත් තුනක් තිබූ අතර ඒවායේ තොරතුරුවලට අනුව ඔහුගේ ගිණුම් ඔස්සේ රුපියල් ලක්ෂ ගණනක මුදල් සංසරණය වී තිබුණු බව පොලිස් නිලධරයන් විසින් සොයාගන්නේ ඔය අතරය. වීසා කාඩ්පත් 5ක් ද ඔහු සන්තකයේ තිබිණි. මේ කරණවෑමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන පොලිස් පරීක්ෂක මුදිත ප්‍රසාද් දල්පදාදු ඇතුළු කණ්ඩායම තවත් සුවිශේෂී තොරතුරක් හෙළි කරගන්නා ලදි. ඒ බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කැස්බෑව, හල්පිට රැවුල් කුමාරට ඉකුත් මාස 3ක පමණ කාලයක් ඇතුළතදී රුපියල් ලක්ෂ ගණනක් වටිනා ජංගම දුරකතන 36ක් ඇතුළු උපාංග රැසක් ලැබී ඇති බවය.

එලෙස ලැබී ඇති ජංගම දුරකතන අතර ස්මාර්ට් ජංගම දුරකතන 16ක්, කුඩා ජංගම දුරකතන 20ක්, චාජර් සිම්පත් ජංගම දුරකතන මතුපිට ආවරණ ඇතුළු උපකරණ තිබෙන බව ද හෙළි විය. මේ අතරින් ජංගම දුරකතන 19ක එමි අංකද පොලිස් කණ්ඩායම විසින් මේ වන විට සොයා ගෙන තිබේ.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘රැවුල් කුමාරගේ’ සමීපතමයකු වන මේ කරනවෑමියාගෙන් ප්‍රශ්න කරද්දී හෙළිවී ඇත්තේ ඔහුට එම බැංකු පොත් සකස්කර දී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවය.

ඒ අනුව අදාළ පුද්ගලයා කැඳවා ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු අවස්ථාවේදී හෙළිවී ඇත්තේ එම බැංකු පොත් සහ වීසා කාඩ්පත් තඹුත්තේගම පුද්ගලයන් දෙදෙනෙකු මාර්ගයෙන් සාදා ගත් බවය.

ඉකුත් මාස 3ක ඇතුළත කාලයකදී ජංගම දුරකතන 36ක් සහ උපාංග රැසක් තමන් විසින් මිලදීගෙන ඔහු ලබා දුන් වැඩිදුර උපදෙස් මත බූස්ස බන්ධනාගාරය ආසන්නයේ දුම්රිය මාර්ගය අසලට ගිය බවද නාඳුනන පුද්ගලයකු එහි පැමිණ ඒවා භාර ගත් බවද එම පුද්ගලයා විමර්ශන නිලධාරීන්ට පවසා ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රැවුල් කුමාර දැනට බූස්ස බන්ධනාගාරයේ සිටින්නේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අල්ලා ගැනීම නිසාය. කරනවෑමියා සන්තකයේ තිබූ බැංකු පොත්වල සටහන් අනුව ඒවායේ සංසරණය වූ මුදල් සම්බන්ධයෙන් සහ රැවුල් කුමාරට ජංගම දුරකතන ලබා දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට දීර්ඝ විමර්ශනයක් ආරම්භ වී ඇත.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර, ස්ථානාධිපති සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර යන නිලධාරීන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මුදිත දල්පදාදු ඇතුළු කණ්ඩායමක් විමර්ශන සිදු කරති.

ඡායාරූප – බණ්ඩාරගම බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division