Home » අනුරාධපුර සංගීතේ සාරවිට කොල්ලා වයස 11 දැරියක රවටා කරපු වැඩේ

අනුරාධපුර සංගීතේ සාරවිට කොල්ලා වයස 11 දැරියක රවටා කරපු වැඩේ

by thanushika
July 20, 2024 12:30 am 0 comment

සමහර මව්පියන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා මල් වැනි අහිංසක දූ දරුවන් සල්ලාලයන් අතින් විනාශ වන අවස්ථා ගණනාවක් පසුගිය මාස දෙක තුනක කාලයේ වාර්තා විය. විශේෂයෙන් අවුරුදු 11 – 12 – 13 – 14 – 15 වයස්වල පසුවන ඇතැම් දූ දරුවන් සල්ලාලයන්ගේ ග්‍රහණයට ලක්වීමේ ප්‍රවණතාවක් ඇති බවද පොලිස් සංඛ්‍යා ලේඛන අනුව පෙනෙන්නට තිබේ. මීට ප්‍රධානතම කරුණ මේ මල් වැනි දරුවන්ගේ ඇතැම් මව්පියන් එම දරුවන් පිළිබඳ සොයා නොබැලීමයි.

මවගේ නොසැලකිලිමත්කම නිසා කරදරේ වැටුණු එකොළොස් හැවිරිදි දැරියක පිළිබඳ කතා පුවතක් පසුගිය දිනවල රටේ පුවත් මැවූ සිද්ධියක් බවට පත්විය. එම කතාව දිග හැරෙන්නේ මෙසේය.

ඇය 11 හැවිරිදි දැරියකි. පදිංචිය අනුරාධපුර දිසාවේය.

පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර නගරයේ ප්‍රකට හරිස්චන්ද්‍ර උද්‍යානයේ සැණකෙළියක් පැවැත්වුණ අතර ඊට අතිවිශාල ජනකායක් සහභාගී වූහ. අදාළ 11 හැවිරිදි දැරියගේ මවද එම සැණකෙළි භූමියේ කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගියේ මුදලක් හදලක් සොයා ගැනීම සඳහාය.

මවගේ කුඩා වෙළෙඳසලට පැමිණි දැරිය ඇයට උදවු වන අතරේ සැණකෙළියේ පැවැත්වෙන සංගීත සංදර්ශනය දෙසද නෙත් යොමු කළාය. සංගීතයට අනුව නර්තනයේ යෙදෙන අය දෙස බලා සිටි දැරියට ද ඒ අතරට ගොස් නර්තනයේ යෙදීමට සිතෙන්නේ ඔය අතරේය. ඒ සඳහා ඇය මවගෙන්ද අවසර ලබා ගත්තාය.

සෙනඟ අතරට ගොස් නර්තනයේ නිරත දැරිය ඒ අසල සාරවිට අලෙවි කරමින් සිටි 15 හැවිරිදි ළමයකු දැන හැඳින ගත්තාය. සාරවිට ළමයාගේ කතාබහට මේ දැරිය වශී වූවාය. ඇය ඒ මොහොතේ සිටම සාරවිට ළමයා සමඟ කුලුපග වූවාය. සාරවිට ළමයාද එසේ මෙසේ පුද්ගලයකු නොවේ. ඔහුගේ සිතේ වෙනත් අරමුණක් තිබිණි. දැරිය උපක්‍රමශීලීව රවටාගත් සාරවිට ළමයා දැරිය කැටුව බසයක නැඟී කොළඹට පැමිණ මීගොඩ ඔහු පදිංචි නිවෙසට යන්නේ පසුගියදාය.

තම දියණිය ආගිය අතක් නැති බව දැනගත් 11 හැවිරිදි දැරියගේ මව ඒ ගැන අනුරාධපුර මූලස්ථාන පොලිසියට පසු දිනම පැමිණිලි කළාය. මේ දැරියගේ පියා විදේශගතව සිටින බවද පොලිසිය අනාවරණය කර ගන්නේ එහිදීය. දින 5ක් පුරා පොලිස් නිලධාරීන් සිදු කරන ලද දීර්ඝ එමෙන්ම විධිමත් විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් දැරිය පැහැරගෙන ගිය පුද්ගලයා හඳුනා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය. එම සැකකරු 15 හැවිරිදි පිරිමි ළමයකු බවද හෙළි විය. මීගොඩ පිහිටි සැකකාර පිරිමි ළමයාගේ නිවස සොයා ගිය පොලිස් නිලධරයෝ එහි සිටි 11 හැවිරිදි දැරිය සොයා ගන්නේ ඉන් අනතුරුවය. දැරිය පැහැරගෙන ආ 15 හැවිරිදි පිරිමි ළමයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී පොලිසිය අනාවරණය කර ගන්නේ අදාළ නිවසේ තවත් තරුණියක්ද සිටින බවය.

21 හැවිරිදි එම තරුණියගෙන් ප්‍රශ්න කරද්දී තවත් සුවිශේෂී සිද්ධියක් පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කර ගන්නේ ඉන් අනතුරුවය. එහිදී හෙළි වන්නේ 21 හැවිරිදි තරුණිය සහ 15 හැවිරිදි පිරිමි ළමයා අඹුසැමියන් ලෙස අදාළ නිවසේ දිවි ගෙවන බවයි.

මේ තිදෙනාම පොලිස් භාරයට ගෙන අනුරාධපුර පොලිසියට කැඳවාගෙන ඒමෙන් අනතුරුව එහි විමර්ශන පැවරෙන්නේ අනුරාධපුර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයටය.

15 හැවිරිදි පිරිමි ළමයා සමඟ අඹු සැමියන් ලෙස ජීවත්වූ 21 හැවිරිදි තරුණිය මීගොඩ උඩගේවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක් බව හෙළි විය. පහළොස් හැවිරිදි බාල වයස්කාර ළමයකු සමඟ අඹුසැමි සම්බන්ධතා පැවැත්වී‍ෙම් චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කරන ලද 21 හැවිරිදි යුවතිය රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 15 හැවිරිදි ළමයා සහ 11 හැවිරිදි දැරිය පරිවාස භාරයට පත් කෙරිණි.

පොලිසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදී අනාවරණය වන්නේ මවගේ නොසැලකිල්ල නිසා මේ දැරිය 15 හැවිරිදි පිරිමි ළමයා විසින් රවටාගෙන මීගොඩ ඔහු පදිංචි නිවෙසට කැඳවාගෙන ගොස් ඇති බවය. පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී වැඩිදුරටත් හෙළි වන්නේ කාලයක් තිස්සේ 15 හැවිරිදි පිරිමි ළමයා සහ 21 හැවිරිදි යුවතිය අඹු සැමියන් ලෙස ජීවත්වී ඇති බවය.

15 හැවිරිදි පිරිමි ළමයාට 11 හැවිරිදි දැරිය පැහැරගෙන ඒමට අනුබල දීම සම්බන්ධයෙන්ද සැකකාර 21 හැවිරිදි කත චෝදනා ලබා ඇත.

11 හැවිරිදි දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ද යොමු කිරීමට නියමිතව තිබුණි.

පැහැරගෙන යන ලද මේ දැරිය සොය ගැනීම සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසියට මේ සම්බන්ධ පැමිණිල්ල ලැබුණු වහාම පොලිස් කණ්ඩායම් දෙකක් දින 5ක් පුරා දීර්ඝ විමර්ශනයක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස දැරිය සොයාගත හැකි වීම සුවිශේෂීය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණගේ උපදෙස් මත අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය සහ ළමා සහ කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ ගැන වැඩිදුර විමර්ශන සිදු කරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division