ඇටම්පිටිය පොලිස් වසමේ ඇටම්පිටිය වත්තේ මීට වසර 13කට පමණ ඉහතදී මෝල් ගසකින් හිසට පහරදී සිය පියා සහ එකට මත්පැන් පානය කරමින් සිටි සිය මිතුරාට පිහියකින් ඇන ඝාතනය කර එම ද්විත්ව ඝාතනයෙන් පසුව පළාතෙන් පලාගොස් සැඟවී සිටි පුද්ගලයකු වසර 13කට පමණ පසුව පොලොන්නරුව අරලගංවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට හැකිවීම මේ කතාවයි.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුයේ ඇටම්පිටිය, ඇටම්පිටියවත්ත කොළණිය පළමු කොටසේ පදිංචිව සිට මෙම ද්විත්ව ඝාතනයෙන් පසුව පළාතෙන් පලාගොස් කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයකු ලෙස සිටි අයෙක් ලෙස පෙනී සිටිමින් වාකරේ ප්‍රදේශයේ පදිංචිව සිට පසුව අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි සෙල්ලයියා රාමචන්ද්‍රන් නැමැත්තෙකි.
ඇටම්පිටිය, දෙමළ පාසලේ ඉගෙනුම ලැබූ මොහු වයස අවුරුදු 18 දී ‘වත්තේ’ රැකියාවට ගොස් එම ප්‍රදේශයේ කාන්තාවක සමඟ විවාහ වී පසුව දරුවන්, බිරිය, මව, පියා සමඟ ඇටම්පිටියවත්ත, කොළණිය පළමු කොටසේ පදිංචිව සිට ඇත. මත්පැන් පානයට තදින්ම ඇබ්බැහිවූ රාමචන්ද්‍රන්ට මත්පැන් නොමැතිව සිටිමට නොහැකි වූ අතර ඔහු දිනපතාම බීමතින් නිවසට පැමිණ අඬදබර කරන්නට පුරුදුවී සිටියේය.
රාමචන්ද්‍රන් 2009 වසරේ පෙබරවාරි 25 වන දින පස්වරුවේ ඇටම්පිටිය ගාවෙල තැබකුඹුර ප්‍රදේශයේ සිය මිතුරෙකු වන 41 හැවිරිදි වීරයියා වනරාජා සහ තවත් මිතුරන් දෙදෙනකු සමඟ තම නිවසේ මුළුතැන්ගේ පිටුපස මත්පැන් පානය කරමින් සිටියදී එහි සිටි දෙදෙනකු දුම්වැටි ගෙන ඒමට ගිය අතරේ සිය මිතුරා වන වීරයියා වනරාජා සමඟ ඇති වූ බහින්බස් වීමකදි සිය ඉනේ ගසාගෙන සිටි පිහිය ගෙන වනරාජාගේ ගෙලට පිහියෙන් ඇන ඝාතනය කළේය.
එම නඩුව විභාග වෙමින් තිබියදීම 2011 වසරේ ජනවාරි මස 4 වන දින රාත්‍රී ඔහු අධික ලෙස මත්පැන් පානය කර නිවසට පැමිණ පියා සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෝල් ගසකින් හිසට පහරදී සිය පියා වන 71 හැවිරිදි සුප්පයියා සෙල්ලයියා ඝාතනය කිරීම නිසා වසර එකහමාරක් රක්ෂිත බන්ධනාගාරගත කැරිණි. බන්ධනාගාරයේ සිටින විටදී බණ්ඩාරවෙල, නෙළුව ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ජාවාරම්කරුවෙකු මොහු හඳුනාගෙන එම ජාවාරම්කරු නිදහස් වී ගිය පසුව ඔහු මොහුට අදාළ දඩ මුදල් ගෙවා එළියට රැගෙන ඔහුගේ නීති විරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමට මොහු සම්බන්ධ කරගනිමින් වසර දෙකක් පමණ නීති විරෝධි මත්පැන් නිෂ්පාදනයේ නිරතව සිට ඇත. මේ අතර ඔහුගේ බිරිය දරුවන් දෙදෙනා රැගෙන වෙනත් පුද්ගලයකු සමඟ දීගෙක ගොස් ඇති අතර රාමචන්ද්‍රන් මව සමඟ නිවසේ කල් ගෙවමින් සිටියේය .
නීති විරෝධි මත්පැන් පෙරීමේ වසර දෙකක පමණ කාලයක් නිරතව සිටි රාමචන්ද්‍රන් පසුව එම ව්‍යාපාරිකයාට නොකියා හොර රහසේ අරලගංවිල ප්‍රදේශයට පලාගොස් එහි කුඹුරු වැඩවල නිරත විය. එහිදී වාකරේ ප්‍රදේශයේ ද්‍රවිඩ කාන්තාවක සමඟ විවාහ වන රාමචන්ද්‍රන් පසුව වාකරේට ගොස් ව්‍යාජ ලියකියවිලි සාදා තමන් එල් ටී .ටී .ඊ සංවිධානයට වැඩ කර අනාථ වූ අයෙක් බවට රඟපාමින් හැඳුනුම්පත ද නැති වූ බව පවසමින් නව හැඳුනුම්පතක් සාදාගෙන එම කාන්තාව සමඟ නව නිවසක් සාදාගෙන දෙදෙනා එහි පදිංචි වී සිට ඇති අතර ඔවුනට එක දරුවෙකු ද සිට ඇත.
රාමචන්ද්‍රන් මෙසේ සිටින අතරේ ඇටම්පිටියවත්තේ කොළණිය පළමු කොටසේ නිවසේ මව පමණක් තනිව කල් ගෙවමින් සිටි හෙයින් ඔහු කාටත් හොර රහසේ වාකරේ සිට මව බැලීමට ඇටම්පිටිය නිවසට පැමිණ ආපසු අලුයම යළි වාකරේ බලා යාමට පුරුදුව සිටියේය.
ද්විත්ව මිනිස් ඝාතනයෙන් පසුව නඩු විභාගවලට ඉදිරිපත් නොවී පොලිසියට කට්ටි පනිමින් සිටි රාමචන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකි වූයේ වසර 13 ක පමණ කාලයක් ගතවුවද රාමචන්ද්‍රන් සිටින නිශ්චිත ඉසව්වක් පොලිසියට සොයා ගැනිමට නොහැකි වීම නිසාය.
එම ද්විත්ව ඝාතනයේ චුදිතයා නොමැතිව අධිකරණයේ විභාග වූ නඩුවෙන් මොහුට අධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබිණ.
මේ අතරතුරේ රාමචන්ද්‍රන් වාකරේ සිට අරලගංවිලට පැමිණ යළි කුඹුරු වැඩ, කුලී වැඩ, වැලි ගොඩ දමමින් රැකියාව කිරීමට පටන් ගත්තේය. වාකරේ බිරිය දරුවා අතහැර දැමූ රාමචන්ද්‍රන් අරලගංවිල ප්‍රදේශයේ කාන්තාවන් කිහිපදෙනක් සමඟ අනියම් සම්බන්ධකම් පවත්වාගෙන යමින් එම කාන්තාවන් ඇසුරු කර ඇත. වාකරේ බිරිය දරුවා රැගෙන කලවංචිකුඩි සිය ගමට ගියාය.
අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම වී වසර 13ක පමණ කාලයක් සැඟවී පොලිසියට කට්ටි පනිමින් සිටි රාමචන්ද්‍රන් පිළිබඳව සියුම් ඉඟියක් ඇටම්පිටිය පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියකු සොයා ගන්නේ මේ අතරය. ඔහු රාමචන්ද්‍රන්ගේ මව මුණගැසී තොරතුරක් ලබා ගැනීමට අවස්ථා ගණනක් උත්සාහ කළද සිය පුතු පිළිබඳව මව කිසිවක් පොලිසියට නොකීවේ පුතා වෙනුවෙන් ඇති දරු සෙනෙහස නිසාවෙනි. කෙසේ වෙතත් ඇටම්පිටිය පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියා ජංගම දුරකතන අංකයක් මඟින් දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කළේය.
පසුව ඔහු අරලගංවිල පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියකු සම්බන්ධ කරගෙන චුදිත පිළිබඳව තොරතුරු සොයන්නට විය. මේ අතරතුරේ අරලගංවිල පොලිසිය මඟින් සැකපිට අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට ගත් අයකුගේ ජායාරූපයක් අරලගංවිලෙන් ඇටම්පිටිය පොලිසියේ විශේෂ කාර්යාංශයේ නිලධාරියාට ලැබිණි. ඔහු එම ජායාරූපය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කර චුදිත ඇටම්පිටිය ද්විත්ව ඝාතනයේ සැකකරු බවට තොරතුරු අනාවරණය කර ගත්තේ ඉතාමත් සූක්ෂ්ම අයුරිනි.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි ඩී.බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි IV රුවන් ප්‍රනාන්දුගේ උපදෙස් මත බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරීක්ෂක බී.අසේල දුමින්ද ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අරලගංවිල බලා බණ්ඩාරවෙලින් පිටත්ව යන්නේ පසුගියදාය. පසුව අරලගංවිල පොලිසියේ ද සහය මත පොලිස් පරීක්ෂක අසේල දුමින්ද ඇතුළු පිරිසට අරලගංවිල 9 කණුව වී මෝල අසලදී ඇටම්පිටිය ද්විත්ව ඝාතනයේ සැකකරු රාමචන්ද්‍රන් වසර 13කට පසුව අත්අඩංගුවට ගැනීමට හැකි විය. වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකාර රාමචන්ද්‍රන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරි ඩී. බී. එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දුගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් පරික්ෂක බී. අසේල දුමින්ද, උප පොලිස් පරික්ෂක ඉඳුනිල්, සැරයන් (10369) ජෝතිපාල, (51379) සරත්, ඇටම්පිටිය පොලිසියේ සැරයන් (38262) නාලක, අරලගංවිල පොලිසියේ සැරයන් (51322) සුබසිංහ යන නිලධාරින් ඇටම්පිටිය, අරලගංවිල පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ගේ සහය මත මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.
සී.ගමගේ- සොරණාතොට සමූහ