මුහුණු පොත ඇතුළු අන්තර්ජාලය පරිශීලනය කරන විශේෂයෙන් ළමයින්, තරුණ යුවතියන් සහ කාන්තාවන් ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම ගැන මේ වන විටත් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී ඇති සේම තවදුරටත් අවධානයට ලක්විය යුතු ප්‍රධාන මාතෘකාවක් බව මේ වනවිටත් අවධාරණය වී ඇති බව නම් නොරහසකි.
මුහුණු පොත ඇතුළු අන්තර්ජාලය පරිශිලනය කරන ළමයින්, තරුණ යුවතියන් සහ කාන්තාවන්, ජාල අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් ඔවුනට සිදුවන හිංසන පිළිබඳ පැමිණිලි ගණනාවක් පිළිබඳව මේ වන විට පොලිසිය, ළමාරක්ෂණ අධිකාරිය ඇතුළු වගකිවයුතු අංශ මඟින් විමර්ශන සිදු කෙරේ.
මෙරට ළමයින්ගේ නිරුවත් ඡායාරූප ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අන්තර්ජාලයට එකතුකර ඇති බවද හෙළි වූයේ පසුගියදාය. ෆේස්බුක් හෙවත් මුහුණු පොත ඔස්සේද කතුන් ළමයින් ලිංගික හිංසනයට ලක් කිරීමේ සිදුවීම් ගණනාවක් ද පසුගියදා වාර්තා විය. ශ්‍රී ලාංකික බාල වයස්කාර දරුවන් යොදා ගනිමින් සකස් කළ අසභ්‍ය වීඩියෝ දර්ශන පිළිබඳව අමෙරිකා එක්සත් ජනපදයේ නෙත්මැන් ආයතනය සිදු කරන ලද පැමිණිලි 7ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නිලධාරීන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ද පසුගියදාය.
නෙත්මැන් ආයතනය විසින් සිදු කළ මේ පැමිණිලි 7 සම්බන්ධව තම කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කළ බවත් ඊට අදාළ දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගත යුතුව ඇති බවත් ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකා අධිකරණයට කරුණු දැක් වූ අතර ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසය. එම ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබුණු අතර අදාළ විමර්ශන අවසන් කර ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද අධිකරණය ප්‍රධාන පොලිස් පරීක්ෂිකා සමන්ති රේණුකාට නියෝග කළේය.
මේ විමර්ශන එලෙස සිදු වෙද්දී මුහුණු පොත අන්තර්ජාලය නිසා සිසුවියකට මුහුණ දීමට සිදු වූ ඉතා කනගාටුදායක සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වූයේ මීගස්වැව පොලිස් ස්ථානයෙනි.
මැදිරිගිරිය, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවියක් සම්බන්ධ වීඩියෝවක් ගැන මෙලෙස විමර්ශන ආරම්භ කර තිබුණේ මීගස්වැව පොලිසියේ නිලධාරීන් විසිනි. පාසල් සිසුවියකගේ අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සංසරණය වන බව මීගස්වැව පොලිසියට දන්වා ඇත්තේ පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි. ඒ එම නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුවය. ඒ වන විටත් එම නිලධරීන් අදාළ වීඩියෝව පිළිබඳ තොරතුරු සොයාගෙන තිබිණි.
මේ සිද්ධිය පිළිබඳව විධිමත් විමර්ශනයක් ආරම්භ කළ මීගස්වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් බණ්ඩාර අදාළ වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරු මේ වීඩියෝවේ සිටින සිසුවිය සහ සෙසු පුද්ගලයා හඳුනාගෙන තිබුණු අතර පොලිසිය ඉන් අනතුරුව සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබීය. 25 හැවිරිදි තරුණයකු වන ඔහු සතිපොළවල වෙළෙඳාමේ නිරත වන අයෙකි.
සැකකරුගෙන් ප්‍රශ්න කළ පොලිස් නිලධරයන් හෙළිකර ගන්නේ අදාළ සැකකරු කාලයක් තිස්සේ මේ බාල වයස්කාර සිසුවිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවය.
පසුගිය අප්‍රේල් මාසයේ දිනකදී ඔහු මේ සිසුවිය හමුවී ඇත්තේ ඇගේ නිවසේදීය. සැකකරු සිසුවියගේ නිවසට යන විට ඇගේ නිවසේ වැඩිහිටි අය කිසිවකු සිට නැත. අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකරු මේ සිසුවිය සමඟ එක්ව හැසිරෙන හැටි ඇයට හොරෙන් රහසිගතව වීඩියෝ කර ඇත.
මේ අතර කාලයේ සිසුවිය සැකකරු සමඟ කිසියම් හේතුවක් නිසා අමනාපව සිට ඇත. ඇය මිතුරු කරගැනීමට මේ පුද්ගලයා ගත් උත්සාහය ව්‍යර්ථ වීම නිසා සැකකරු ඇගේ ඡායාරූප අන්තර්ජාලයට එක්කර ඇති බව හෙළිවී තිබේ.
මීගස්වැව පොලිසිය මේ සිද්ධිය ගැන දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත. මේ අතර කාන්තාවන්, සිසුවියන්, යුවතියන් රැසකගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඔවුන් අපහසුතාවට පත් කිරීමේ සිද්ධීන් ගණනාවක් පිළිබඳ පොලිසිය මේ වන විට විමර්ශන කරගෙන යන බවද දැන ගැනීමට ඇත.
දීපාල් සමරසේකර