Home » අල්ලේ රවි මණ්ඩලය හෙළිකරන ඔබේ ගතිගුණ

අල්ලේ රවි මණ්ඩලය හෙළිකරන ඔබේ ගතිගුණ

හිඹුටානේ පියතිලක ද අල්විස්

by gayan
July 20, 2024 12:30 am 0 comment

ලෝකයේ අඛණ්ඩ පැවැත්මට සූර්යයා හෙවත් රවි ග්‍රහයා මූලිකත්වය ගන්නා බව අපි කවුරුත් දන්නා දෙයක්. ඒ හා සමානව පුද්ගලයාගේ පැවැත්ම පිළිබඳව ද මූලික වශයෙන් රවි මණ්ඩලය පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය. මෙය ‘සූර්ය මණ්ඩලය’ යනුවෙන් ද හඳුන්වයි.

දැන් අපි බලමු රවි මණ්ඩලයේ පිහිටීම කෙසේද කියා. මේ සමඟ පළවන රූපසටහනේ වෙද ඇඟිල්ලට පහළින් සටහන් කර ඇත්තේ රවි මණ්ඩලයයි. රවි ග්‍රහයාගෙන් හෙවත් සූර්යාගෙන් විහිදෙන චලන ශක්තීන් එක්තැන් වන්නේ රවි මණ්ඩලයෙන් යයි කීවොත් වඩා නිවැරදිය. පුද්ගලයාගේ ප්‍රතාපත් බව, කීර්තිය, ජනප්‍රියත්වය, ජයග්‍රහණ හා කලාත්මක හැකියාවන් පිළිබඳව නියෝජනය වන්නේ රවි මණ්ඩලයෙනි. රවි මණ්ඩලය මනාව හොඳින් වැඩී තිබේ නම් එය ඉතා වාසනාවන්ත පිහිටීමක් බව සාම්ද්‍රික විද්‍යාවේ සඳහන් වෙයි. එමගින් පුද්ගලයාට ප්‍රතාපවත් කඩවසම් පෙනුමක් ලබාදෙයි.

කාන්තාවක් නම් ඇයට ඉතා ශෝභා සම්පන්න සිත් ගන්නා සිරුරක් හිමිකරදෙයි. හිරු වගේම තේජවන්ත වන මොවුන් අලුත් අලුත් දේවල් නිර්මාණය කිරීමට ද ශූර බවක් දක්වති. උත්පත්තියෙන්ම නිර්භීත අය වශයෙන් කැපී පෙනෙන මොවුන් ආදරය කරන්නත් වඩා දක්ෂයි. කරුණාව සහ අනුකම්පාව ද මොවුන් තුළින් කැපී පෙනෙයි. දේශපාලන නායකයන්, රජයේ උසස් නිලධාරීන්, නළු නිළියන්, කලාකරුවන්, ලේඛකයන් වැනි ප්‍රසිද්ධ ජීවිත ගත කරන අයගේ රවි මණ්ඩලය මනාව වැඩී ඇති අයුරු ඔවුන්ගේ අත් පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය. රවි මණ්ඩලය ස්ථිරව ශක්තිමත්ව වැඩී තිබේ නම් එම අයගේ ජීවිතයට හිරුගේ බලපෑම වැඩිය.

එමෙන්ම රවි මණ්ඩලය පහත්ව විසිරී ගිය ආකාරයෙන් යුක්ත නම් හිරුගේ බලපෑම දුර්වලය. එවිට පුද්ගලයාට අසුභ තත්ත්වයක් උදාකරයි. ඔවුන් ජීවිතය ගැන අවබෝධයක් නොමැති පුද්ගලයන් ලෙස සැලකේ.

සමාජයේ දුසිරිත්, අශෝභන වැඩ කරන අයගේ රවි මණ්ඩලය දුර්වල බැවින් ඔවුන් හට ලෙඩ රෝග හට ගැනීමේ ප්‍රවණතාවය ද වැඩිය. බොහෝවිට එවැනි අයට හෘදය ආශ්‍රිත රෝග, සිත් වේදනා, ලේ දුෂ්‍ය වීමෙන් ඇතිවන රෝග ආදිය පහසුවෙන් වැලඳිය හැකිය.

රවි මණ්ඩලය බලවත් ලෙස පිහිටා ඇති තැනැත්තා හෝ තැනැත්තිය අතිශයින්ම බුද්ධිමත්ය. නීතිගරුක මෙන්ම යුක්ති ගරුක වෙයි. ඔවුන් නිරායාසයෙන්ම සමාජයේ කැපී පෙනෙයි. යන එන හැම ස්ථානයකදීම නිසැකවම ප්‍රධානත්වය හිමිවෙයි.

රවි මණ්ඩලය දුර්වලවූ විට පුද්ගලයා උඩඟු බවක් ද පෙන්නුම් කරයි. අන්‍යයන් පාලනය කරන්නට යාම සහ ඔවුන් තුළ ඇති අප්‍රියජනක කතා විලාශය නිසා ද ඔවුනට සතුරන් බහුල වේ. තමා ලත් දක්ෂතා තුළින් ද ඔවුන් ප්‍රයෝජනයක් නොගනී. දාමරිකකම් හා නොමනා ක්‍රියාකාරකම් නිසා ද රාජ්‍ය දඬුවම් විඳීමට ද සිදුවෙයි. හොඳින් වැඩුන රවි මණ්ඩලයත්, දුර්වලව වැඩුන රවි මණ්ඩලයත් ස්වාභාවිකව සිදුවන්නකි. කෙනෙකුගේ උත්සාහය හා කැපවීම මත රවි මණ්ඩලයට ලම්භාකාර (ඉහළට යන) රේඛාවන් වැටිය හැකිය. එය රවි ග්‍රහයාගෙන් ලැබෙන සුභපල වැඩිවීමට හේතුවනු ඇත. රවි මණ්ඩලය මත තාරකා ලකුණක් වැටී තිබිම ද සුභ ලකුණක් වෙයි. එය ඉතා වාසනාවන්තය. තමාගේම උත්සාහයෙන් දියුණුවී ප්‍රසිද්ධියට පත්වෙන එවැන්නන්ගෙන් ලෝකයටම සිදුවන්නේ මහඟු සේවයකි. යම්යම් නව නිර්මාණයන් තුළින් ප්‍රසිද්ධියට පත් අයගේ රවි මණ්ඩලය මත එවැනි සලකුණු දැකිය හැකිය. රවි මණ්ඩලය තුළ පිහිටි කෙටි රේඛා ද හදිසි වාසනාව ගෙන දේ. රවි මණ්ඩලයේ වැටුන හතරැස් කොටු සලකුණ ව්‍යාපාරිකයන් හට සුබපල දෙන පිහිටීමකි. එමෙන්ම සැබෑ බාධාවකින්ම ආරක්ෂාව සලසාදී දියුණුව මෙන්ම කීර්ති ප්‍රසංශාව ද ලබාදෙයි. චතුරශ්‍රය සමඟ තාරකා ලකුණ වැටීම ඉතා වැදගත්ය. රවි මණ්ඩලය මත වැටෙන ත්‍රිකෝණ ලකුණින් උසස් බුද්ධියක් ඇති අය බව තහවුරු කෙරෙයි. ඔවුන් හට පිය උරුමයෙන් ලබන දේපළවලට ද හිමිකම් ඇතිවේ.

රවි මණ්ඩලය අසීමිත ලෙස උස්ව පිහිටා ඇතිවිට පුද්ගලයා වඩා අහංකාර බවක් පෙන්නුම් කරයි. අන්‍යයන් පහත් අය ලෙස සැලකීමට මෙම ලක්ෂණය ඉවහල් වෙයි. රවි මණ්ඩලය බලවත් අය බොහෝවිට කලාකරුවන් වෙයි. එමෙන්ම ඔවුන් හට මිහිරි කටහඬක් හිමිවන අතර ප්‍රියජනක පෙනුමක් ද ඔවුනට හිමිය.

යම් යම් අයගේ ධනය විනාශවීම, රැකියාවක් අහිමිවීම, රජයෙන් හා නීතියෙන් වන කරදර ඇතිවන කාලයන්හි රවි මණ්ඩලයේ අස්වාභාවික පිහිටීම් ඇති කරයි. දෛව රේඛාව මතින් වැටෙන රේඛාවක් රවි මණ්ඩලයෙහි රවි රේඛාවට (කීර්ති රේඛාවට) සම්බන්ධ වීමෙන් අන්සතු වස්තුව ලැබීමටත් හේතුවේ. රවි මණ්ඩලය මත පිහිටන කළු තිත් ලකුණු නින්දා අපහාස විඳීමට සිදුවන බවට පූර්ව නිමිත්තක් වේ.

රවි මණ්ඩලය පහතට එබී වළ ගැසුන ආකාරයෙන් ඇතිවිට රවි ග්‍රහයාගේ ආකර්ෂණය අඩුවේ. එවිට පුද්ගලයා බොහේ දුෂ්චරිතවලට පෙලඹෙයි. රක්තවාදය, හෘදයාබාධ ආදි රෝගයන්ට ද පහසුවෙන් ගොදුරු වෙයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division