අපගේ පුහුණු වැඩසටහනේ අවසන් දිනය එළැඹෙමින් තිබිණි. හයිද්‍රාබාදයේ ජීවිතයට ඒ වන විට යම් මට්ටමකට බැඳී සිටිය ද ආපසු ගම් රට බලා යන දිනය ළංව තිබීම සිතට මහත් අස්වැසිල්ලක් වී තිබිණි.
ඉන්දීය තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතා (ITEC) වැඩසටහන යටතේ ඉන්දීය රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන්, තෙලන්ගනා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර පිහිටි ආචාර්ය මරිච්චන්න රෙඩ්ඩි මානව සම්පත් ආයතනය විසින් ශ්‍රී ලංකා මාධ්‍යෙව්දීන් සහ මාධ්‍ය වෘත්තිකයන් සඳහා පවත්වනු ලබන මාධ්‍ය කළමනාකරණය පිළිබඳව පුහුණු වැඩසටහනට සහභාගි වීම සඳහා 29 දෙනකු හයිද්‍රාබාදය බලා ගොස් තිබිණි.
එම පුහුණු වැඩසටහන සඳහා ඉන්දියාවේ මාධ්‍ය ලෝකයේ පතාකයන් මෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සම්පත් දායකත්වයෙන් එක්ව සිටියහ. ඒ අතර ජින්දාල් ගෝලීය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංජීව් සහනි, ද හින්දු පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘ ආචාර්ය ශ්‍රී සිරිනිවාසන් රමණි, හයිද්‍රාබාද්හි මහින්ද්‍රා විශ්වවිද්‍යාලයේ මාධ්‍ය පාසලේ මහාචාර්ය රාහුල් දාස්, මරිච්චන්න රෙඩ්ඩි මානව සම්පත් ආයතනයේ ආචාර්ය කිෂෝර් නුතලපති, අපගේ වැඩසටහන් අධ්‍යක්ෂ ආචාර්ය මාධවී රවුලපති, චිත්‍රපට නිර්මාණකරුවකු වන ශ්‍රී ෆාර්හතුල්ලා බෙග්, හිටපු අග්‍රාමාත්‍ය උපදේශකයකු වන ශ්‍රී පන්කජ් පචුරි ඇතුළු වියතුන් පිරිස අපට දැනුම බෙදා දුන්හ. මෙහිදී මාධ්‍ය සමඟ අත්වැල් බැඳගෙන ඇති නව තාක්ෂණය පිළිබඳව ලැබූ දැනුම ඉතා වටිනා බව කිව යුතුය.
නවතම තාක්ෂණය යෙදවීම අතින් ලොව පෙරමුණේ සිටින නගර අතර සිටින හයිද්‍රාබාදය විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයකි. හයිද්‍රාබාදයේ පිහිටි ලොව විශාලම තොරතුරු උද්‍යානය වන ටී හබ් දැක බලා ගැනීමට ද අප කණ්ඩායමට අවස්ථාව ලැබිණි. එසේම හයිද්‍රාබාදයේ පිහිටි ඉන්දියානු ව්‍යාපාරික පාසල, පොලිස් ඒකාබද්ධ අණදෙන සහ පාලන මධ්‍යස්ථානය, හයිද්‍රාබාද් විශ්ව විද්‍යාලය වැනි ස්ථානවල අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාව ද හිමි විය.
හයිද්‍රාබාදයේ සිට කිලෝමීටර් 100කට දුරින් පිහිටි සහිරාබාදයේ සංගාරෙඩ්ඩි දිස්ත්‍රික්කයේ පාස්ටර්පූර් ගම්මානයේ පිහිටි කාන්තාවන් විසින් පවත්වා ගෙන යනු ලබන ප්‍රජා ගුවන් විදුලි මධ්‍යස්ථානයක් නැරඹීමට යාමටද අපට අවස්ථාව ලැබිණි. හයිද්‍රාබාදයේ සිට අධිවේග මාර්ගයේ ධාවනය වූ අප ගමන් ගත් මරිච්චන්න රෙඩ්ඩි මානව සම්පත් සංවර්ධන ආයතනයට අයත් බස් රථය ඈතින් ඈතට යන විට තෙලන්ගනාවේ ගම්බද සිරිය අපට දක්නට ලැබිණි.
සංගම් රේඩියෝ නමින් හැඳින්වෙන මෙම ප්‍රජා ගුවන් විදුලිය ආරම්භ වී ඇත්තේ 2008 වසරේදීය. එම ප්‍රදේශයේ ජීවත් වන කුලයෙන් අඩු කෘෂිකර්මය ජිවිකාව කර ගත් දාලිත්වරුන් සිය ප්‍රශ්න ගැන ප්‍රදේශයේ ජනතාව අතර කතිකාවක් ඇති කර ගැනීම සඳහා මෙම ගුවන් විදුලි සේවාව ආරම්භ කර තිබේ. මෙම ගම්මානයේ අක්කර 15,000ක සම්ප්‍රදායික මිලට් වගාව සිදු කරනු ලබයි. රාත්‍රී 7 සිට 9 දක්වා විකාශනය වන මෙම ගුවන් විදුලි සේවාව ආරම්භයේදී කුඩා ගම්මාන 150කට ශ්‍රවණය කිරිමේ හැකියාව පැවතියත් දැන් එම සංඛ්‍යාව අඩු වී ඇති බවත් 50000කට අධික ශ්‍රාවකයන් පිරිසක් සිටින බවත් එහි නිවේදිකාව අප සමඟ පැවසුවාය. ඔවුනගේ ප්‍රශ්න ගැටලුවලට අමතරව සංස්කෘතික වැඩසටහන් සහ ගම්බද ගීත ද ගුවන් විදුලියෙන් වාදනය කෙරේ. මෙම ගුවන් විදුලිය පවත්වා ගෙන යාමට කාන්තා සංගමයට අතහිත දෙනු ලබන්නේ කෘෂිකර්මයට අතහිත දෙන ඩෙකන් සංවර්ධන සමාජයයි.
දීර්ඝ ගමනකින් පසු අප කණ්ඩායම එදින අධික වෙහෙසෙන් යළි නවාතැන වෙත එනු ලැබුවේ බොහෝ රෑ බෝ වීය. උදෑසන පැවැත්වෙන යෝග ව්‍යායාම්වලින් පෙර දින වෙහෙස සමනය වී යළි ගත සිත නැවුම් කරනු ලබයි.
මරිච්චන්න රෙඩ්ඩි ආයතනයට ඉතා ආසන්නයේ පිහිටි රජයේ පාසලක කටයුතු දැක බලා ගැනීමට අප කණ්ඩායම යන විට එහි උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබිණි. එය දුප්පත් දරුවන් වෙනුවෙන් පැවැත්වෙන නේවාසික පාසලකි. අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙනි. ගැහැණු සහ පිරිමි පාසල් දෙක ආසන්නයේ පිහිටි අතර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද නේවාසිකය. අප එහි යන දිනයේ මෙරට ගුරුවරුන් වැඩ වර්ජනයක් දියත් කර තිබිණි. එහි ගුරුවරු උදේ 7 සිට රාත්‍රි 9 දක්වා සිසු දරුවන් වෙනුවෙන් කැප වී සිටියහ. පහසුකම් ඉතාමත් සීමිත බවත් ජල ගැටලුව ඉතාමත් උග්‍ර ලෙස බලපාන බවත් විදුහල්පතිනිය අප සමඟ පැවසුවාය. ඔවුන් වැඩ වර්ජන කරන්න නොසිතන්නේ එම දරුවන්ගේ වාසනාවටය. ගැහැනු දරුවන්ගේ පන්ති කාමරයකට ගිය අප කණ්ඩායමට එම දැරියන් තිළිණ කළේ ගීත ගායනයකි. ඒ මුළු ඉන්දියාව පුරාම ඉතාමත් ජනප්‍රිය යොහානිගේ “ මැණිකේ මගේ සිතේ“ ගීතයයි.
අවසන් දිනට පෙර දින අපට යාමට නියමිතව තිබුණේ හයිද්‍රාබාදයේ සිට කිලෝ මීටර් 150ක් දුරින් පිහිටි නාගර්ජුනා කොණ්ඩා වෙතය.
ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායම එදින ගමනාන්තය බලා පිටත් වූයේ ද ආයතනයේ බස් රථයෙනි. ගමන් වෙහෙස එතරම් නොදැණුනේ තෙලන්ගනා ප්‍රාන්තයේ නිසි ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතිය නිසාය.
හයිද්‍රාබාදයේ සුවිසල් ගොඩනැඟිලි පසු කරමින් ඈතින් ඈතට ගිය අප පැය තුන හමාරක පමණ කාලයක් ගෙවා පැමිණියේ නල්ගොන්ඩා දිස්ත්‍රික්කයේ පිහිටි නාගර්ජුනා සාගර් වෙතය. ක්‍රිෂ්ණා නදිය හරහා ඉදිකර ඇති ලෝකයේ විශාලතම වේල්ල නිසා ගොඩනැඟුණු ජලාශයක් වන නාගර්ජුනා සාගර් අවට ප්‍රදේශය නාගර්ජුනා කොණ්ඩා ලෙස හැඳින්වේ. එලෙස නම් කර ඇත්තේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ බෞද්ධ පඬිවරයෙකු සහ දාර්ශනිකයකු වූ ආචාර්ය නාගර්ජුනගේ නමිනි. ශ්‍රීපර්වත – විජයපුරි ලෙසද හැඳින්වුණු නාගර්ජුනා කොණ්ඩා ක්‍රිස්තු වර්ෂ 3 සහ 4 සියවස්වලදී ආන්ද්‍ර දේශය පාලනය කළ ඉක්ෂ්වාකු රාජවංශයේ අගනුවර ද විය.
1954 සිට 1960 දක්වා කාලය තුළ නාගර්ජුනා කොණ්ඩාවේ සිදු කරන ලද කැණීම්වලින් එහි මහා ස්ථූපයක්, කුඩා ස්තූප, චෛත්‍ය, සීලමණ්ඩප, බෞද්ධ මූර්ති පුවරු සහ පුරාවස්තු විශාල ප්‍රමාණයක් පැවති බව අනාවරණය වී ඇත. එසේම මාලිගා සංකීර්ණයක් සහ ගඩොල්වලින් තැනූ බ්‍රාහ්මණ දේවාල කිහිපයක් ද විය. ප්‍රතිමා පුවරුවල බුදුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සිදුවීම් සහ ජාතක කතා නිරූපණය කර ඇත. බුදුන් සමයේ වර්තමාන තෙලන්ගනා ප්‍රාන්තයේ බුදු දහම පැතිරී තිබුණු බවට නාගර්ජුනා කොණ්ඩා, ඇතුළු ප්‍රදේශ ගණනාවක පවතින පුරා විද්‍යාත්මක නටබුන් සාක්ෂි දරයි. ගොඩගත් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු පුරාවස්තු නාගර්ජුනා සාගර් මැද තිබෙන දිවයිනේ පිහිටි කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙන නමුත් සිකුරාදා දිනයක් වූ එදින කෞතුකාගාරය වසා තිබූ බැවින් අපට එය දැක බලා ගැනීමේ අවස්ථාව අහිමි විය.
කෞතුකාගාරය නැරඹීමට අවස්ථාව නැතත් විශාල බෝට්ටුවක නැඟී දිවයින වටා සවාරියක් යෑමට ලැබීම අපූරු අත්දැකීමක් විය. එය පැය දෙකක ගමනක් විය. නාගර්ජුනා සාගර් පිස හඹා එන සිහිල් සුළං රැළිවල පහස විඳිමින් ගිය පැය දෙකක බෝට්ටු සවාරියෙන් ලැබුණු අහ්ලාදජනක සිතුවිලි කෞතුකාගාරය නැරඹීමට නොලැබීමෙන් ඇති වූ පශ්චාත්තාපය අකා මකා දැමීය.
එහි පරිපාලන මධ්‍යස්ථානයේ අප වෙනුවෙන් පිළියෙල කර තිබූ දිවා භෝජනය සප්පායම් වීමෙන් පසු අප ගියේ ක්‍රිෂ්ණා නදියේ උතුරු ඉවුරේ එම ප්‍රදේශයේ පිහිටි මහායාන බෞද්ධ තේමා උද්‍යානයටය. තෙලන්ගනා ප්‍රාන්ත සංචාරක සංවර්ධන සංස්ථාව විසින් ඉදි කරන ලද එය බුද්ධවානම් ලෙස හැඳින්වේ. දේශීය හා විදේශීය සංචාරකයන් විශාල සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් අක්කර 274ක් පුරාවට පැතිර ඇති බිමක මෙම බෞද්ධ පරිශ්‍රය නිර්මාණය කර තිබේ. බුද්ධවානම් පරිශ්‍රය කොටස් අටකට වෙන් කර තිබේ. බුද්ධ චරිතවානම්, ජාතකවානම්, ධ්‍යානවානම්, ස්ථූපවානම්, මහාස්ථූප, බෞද්ධ ආරාම ඉන් ප්‍රධාන වේ.
බුද්ධ චරිතයේ ප්‍රධාන සිදුවීම් දැක්වෙන ලෝකඩ පිළිරූ බුද්ධ චරිතවානම් භූමියේ විරාජමානව සිටී. ලුම්බිණි සල්මල් උයනේ ඉපදීම, සතර පෙර නිමිති දැකීම, මහාභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වයට පත්වීම දැක්වෙන අයුරින් බුද්ධගයාවේ බෝධිය යට ධ්‍යාන මුද්‍රාවෙහි වැඩ විසීම, පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව සිදු කිරීම සහ මහා පරිනිර්වාණය දැක්වෙන විශාල පිලිරූ මෙහි වේ. කොළ පැහැති හුණුගල්වලින් නිර්මිත අෂ්ඨමංගල සංකේත සහිත සම්බුද්ධ පාදය උද්‍යානය මැද පීඨිකාවක් මත පිහිටි අතර බැතිමතුන් මලින් පූජා පවත්වා තිබිණි.
ජාතකවානම් පරිශ්‍රයේ ඇති ‘බෝධිසත්ව උද්‍යානයේ ජාතක කතාවල දැක්වෙන කතා වස්තූන් 40ක් නිරූපනය වන කැටයම් සහිත පුවරු ඉදිකර තිබේ.
බෝධිසත්වයන් වහන්සේ අවසානයේ සිදුහත් ලෙස ඉපිද, බුද්ධත්වයට පත් වී බුදු වීමට පෙර දස පාරමි ධර්ම ප්‍රගුණ කරමින් ගත කළ පෙර භවයන් පිළිබඳ සඳහන් වන ජාතක කතා 547ක් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ දේශනා කළ දීපංකර, කට්ටහාරි, නලපාන, මහාපදුම, මහා ලෝමහංස, සංඛපාල, මාතංග, මහා උම්මග්ග, වෙස්සන්තර.ජාතක කතා වස්තු මෙහිදී නිරූපනය වේ.
ධ්‍යානවනම් නමැති පරිශ්‍රයේ ශ්‍රි ලංකා රජය විසින් පූජා කරන ලද, ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ධාතුසේන රජු රාජ්‍ය කළ සමයේ කැටයම් කරන ලද අවුකන ග්‍රාමයේ පිහිටි මුල් කළුගල් බුද්ධ ප්‍රතිමාවේ අඩි 27ක් උස අනුරුවක් සහ ඝණ්ටාරයක්ද පිහිටියේය. එම කොටසේ භාවනාව සඳහා වෙන් කර ඇති උද්‍යානයක් ද වේ.
ස්ථුපවනම් නම් පරිශ්‍රයේ ඉන්දියාවේ බෞද්ධ භූමිවල ඉදි කර ඇති ස්ථූපවල අනුරූ පිහිටියේය. සාංචි, සාරානාත්, අජන්තා, කාර්ලේ සහ මාණික්‍යල සහ වෙනත් රටවල ස්තූපවල අනුරූ ද තිබේ. එසේම පාකිස්තානය, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිබෙට්, නේපාලය සහ චීනය යන රටවල පිහිටි ස්ථූපවල ගෘහ නිර්මාණ ශෛලීන් නිරූපණය වන ඒවා ද වේ. මෙම උද්‍යානය තවමත් සංවර්ධනය වෙමින් පවතින අතර ඉන්දුනීසියාව, ජපානය වැනි රටවල ස්ථූපයන්හි අනුරූ නිර්මාණය කිරීමට නියමිතය.
මෙම භූමිය මධ්‍යයේ මහා ස්ථූපයක් නිර්මිතය. අමරාවතී චෛත්‍යයේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදි කර තිබේ. උස මීටර් 21ක් වන අතර පළල මීටර් 42කි. ස්තූප ගර්භයේ සිවිලිමේ ජර්මානු තාක්ෂණය අනුව ස්වභාවික අහස දැක්වෙන අයුරින් නිර්මාණය කර තිබේ. ස්තූපයේ ඉහළ මට්ටමේ ගෝලාකාර කොටස ථෙරවාදී බෞද්ධ සංකේත වන ස්තූපය, සිංහාසනය, බෝධි වෘක්ෂය, ගිනි කණුව සහ ජාතක කථා නිරූපණය කරන මූර්ති පුවරුවලින් ආවරණය කර ඇත. බුදුන් වහන්සේගේ ජීවිතයේ සිදුවීම් කාලානුක්‍රමික අනුපිළිවෙළකට මූර්තිමත් කර ඇත. ස්තූපයේ බිම් මහලේ බෞද්ධ පුරාවස්තු සහිත බෞද්ධ උරුමයන් පිළිබඳ කෞතුකාගාරයක් සහ වසර 100ක් පැරණි අජන්තා බිතු සිතුවම්වල පිටපත් ඇඳ තිබේ.
අප මෙම භූමිය පුරා ඇවිද යන අවස්ථාවේදී එහි සිටි සංචාරකයන් ගණන ඉතා අල්ප විය. ඒ අතර සිටි එතරම් වයස්ගත නොවූ යුවළක් සමඟ සල්ලාපයට එක් වුණෙමි. ඔවුන් ඉන්දියාවේ බෞද්ධයන්ය. බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ඉතා කැමති බව කී නිසා ශ්‍රි ලංකාවට පැමිණෙන්නැයි ඔවුනට ආරාධනා කිරීමට ද අමතක නොකළෙමි.
හයිද්‍රාබාදය මධ්‍යයේ පිහිටි හදවතක හැඩය ගත් අඩි 32ක් ගැඹුරැති හුසේන් සාගර් නමැති වැව මැද පිහිටි විශාල බුද්ධ පිළිරුව දැක වැඳ ගැනීමට ගිය බෝට්ටු ගමන ගැනද මෙහි ලා සඳහන් කිරීම වටිනේය. අප එහි ගියේ අපගේ පුහුණු වැඩසටහනේ අටවැනි දිනයේය. රතු නෙළුම් පීඨයක් මත පිහිටි මීටර් 18ක් උසැති මෙම පිළිමය ඉදිකර ඇත්තේ 1992 දීය. ටොන් 450ක් බරැති සුදු කළුගල් පර්වතයකින් කපා ඇති පිළිමය වසර දෙකක් තිස්සේ මූර්ති ශිල්පීන් 200ක් විසින් කැටයම් කරන ලදී. බුදු පිළිමය වැඳ පුදා ගැනීමට බෝට්ටුවකින් යා යුතුය. අප එහි ගිය රාත්‍රියේ දැල්වුණු විදුලි බුබුළු එළියෙන් හුසේන් සාගර් අසල පිහිටි තෙලන්ගනා ලේකම් කාර්යාලය අලංකාරව දිස් විණි. හයිද්‍රාබාදයේ රාත්‍රි චමත්කාරය හුසේන් සාගර් පුරා පැතිර තිබිණි.
සති දෙකක් පුරාවට හයිද්‍රාබාදයේ ගතකළ සුන්දර දිනයන් ගෙවී යමින් යළි සියරට බලා ඒමට දින එළැඹෙමින් තිබිණි. මරිච්චන්න රෙඩ්ඩි ආයතනයේදී ලබා ගත් නව මාධ්‍ය දැනුම සහ තෙලන්ගනාවේ ලැබූ සොඳුරු අත්දැකීම් සමඟින් අප ගුවන්ගත වූයේ කොළඹ අහස දැක ගැනීමේ නොතිත් ආසාවෙනි.
ශිරෝමි අබයසිංහ