Home » මා වෙනුවෙන්ම ලියැවෙන දමිළ චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා

මා වෙනුවෙන්ම ලියැවෙන දමිළ චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා

විරාජ් පෙරේරා

by thanushika
July 20, 2024 12:30 am 0 comment
 නාමලී ගමගේ

ඔහු මේ දිනවල චරිත ත්‍රිත්වයකින් ප්‍රේක්ෂක සිත් ආකර්ෂණය කරගෙන සිටියි. ‘පාට කුරුල්ලෝ‘හි නුරාන්, ‘සිත නිදි නෑ‘හි මේනක, දෙවනි ඉනිම – 2හි අසිත. මේ කුමන ලෙසින් පෙනී සිටිය ද සැබෑ නමින් ඔහු විරාජ් පෙරේරාය. මේ වන විට රංගන ශිල්පියකු ලෙස ජනප්‍රියත්වයේ ඉහළින්ම රැඳී සිටින ඔහු මියුසික් වීඩියෝ කලාවේ ද නම දිනූවෙකි. ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ රංගන දායකත්වය ඔහුගේ වීම ද විශේෂත්වයකි.

නුරාන්ට මේ දවස්වල ප්‍රේක්ෂකයො ගොඩක් ආදරෙයි නේද?

ඔව්. ඔව්. පාට කුරුල්ලෝ ටෙලි නිර්මාණයේ නුරාන්ට මේ දිනවල හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. මේ වෙද්දි පාට කුරුල්ලෝ හැම එපිසෝඩ් එකක්ම ට්‍රෙන්ඩින් වෙනවා. මහන්සි වෙලා ගෙදර ඇවිත් ටීවී එක ඉස්සරහ වාඩිවෙන ප්‍රේක්ෂකයාට හරිම නිදහසේ රසවිඳින්න පුළුවන් නාට්‍යයක් මේක. බුද්ධික සේමසිංහ බොහෝම පුංචි සිදුවීමක් පාදක කරගෙන හරි ලස්සනට ගොතාගෙන යන කතාවක්. ඒ වගේම තමයි සිවා අයියා රංගන ශිල්පීන් සියුම්ව හසුරුවන අපූරුව. ඒ නිසාම වෙන්න ඇති මේ වටා රොක්වන ප්‍රේක්ෂක ප්‍රමාණය දවසින් දවස වැඩි වෙන්නේ.

නුරාන් කියන්නෙ කපටි, සෙල්ලක්කාර තරුණයෙක් කිව්වොත්?

දැනට ඔහු ව්‍යාපාරිකයෙක් විදිහට පෙනී ඉඳිමින් කෙල්සි එක්ක සම්බන්ධ වෙලා ෆොන්සේකා ෆැමිලි එකට සම්බන්ධ වෙන්න උත්සාහ කරනවා. යම් යම් තැනදි නොදැනෙන්න කපටිකම් කළත් නුරාන් කියන්නේ තාමත් ප්‍රේක්ෂකයන් හොඳින් හඳුනා නොගත් චරිතයක්. එහෙම ඉන්න නුරාන්ට වෙන්නේ මොනවද කියලා ඉදිරියෙදි බලමුකෝ.

නුරාන්ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

නුරාන්ට නම් එක එක විදිහේ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු කියනවා ෆොන්සේකා පවුලේ සල්ලිවලට විදින්න ආපු කපටියෙක් කියලා. ඔයා නුරාන්ගෙ චරිතය හරිම තාත්ත්විකව කරනවා කියන අයත් ඉන්නවා. ප්‍රතිචාරවල හොඳ නරක දෙපැත්තම තියෙනවා. කොහොම ප්‍රතිචාර ලැබුණත් මට සතුටුයි.

විරාජ් ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හඳුනගන්නෙ මෑතකදි වුණත් ඔබ කලාවට පිවිසෙන්නේ සෑහෙන කාලෙකට කලින්?

ඔව්. මං ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 2012 වසරේ ඉඳුවරී කියන ටෙලිනාට්‍යයෙන්. ගොඩක්ම කළේ මියුසික් වීඩියෝ. ලංකාවේ වැඩිම මියුසික් වීඩියෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වුණු රංගන ශිල්පියා මං. මියුසික් වීඩියෝ පන්සීයකට වඩා කරලා තියෙනවා. ඒ කාලෙ සීඩී, රිගින් ටෝන්ස්, බස්වල, චාට් ෂෝවල මේ හැමතැනම පේන්න හිටියෙ මං. මියුසික් වීඩියෝ රැල්ලට අහුවුණ නිසා මට ටෙලිනාට්‍ය පැත්ත මිස් වුණා. එක දේකට කොටු වුණොත් ඒකෙන් මිදෙන්න අමාරුයිනෙ. මටත් වුණේ ඒක. මේ වෙද්දි මං වැඩිපුර ටෙලිනාට්‍ය පැත්තට යොමුවෙලා තියෙනවා. පාර දිගේ ටෙලි නිර්මාණයේ රෙක්සි කියන චරිතය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. අදටත් ප්‍රතිචාර ලැබෙනවා. පාර දිගේ නාට්‍යයේ රෙක්සි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කිව්වොත් හරි.

විරාජ් දමිළ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නව කියන්නෙ ඇත්තද?

ඔව්. මම ගොඩක් ආසාවෙන් හිටියා. යම් යම් චරිත ලැබුණත් ඒවා අද වෙනකල් විකාශය වෙලා නම් නෑ. මට දමිළ කතා කරන්න පුළුවන්. ඒ ආභාසය ලැබුණෙ මගේ ගෙදර වටපිටාවෙන්. මං නුවර කටුගස්තොට. අපේ ගෙවල් අවට හිටියෙ දමිළ, මුස්ලිම් ජනතාව. ප්‍රධාන වශයෙන් ඇහුණෙ දමිළ භාෂාව. තිලිණ බොරලැස්සගේ ‘සිත නිදි නෑ’ ටෙලි නිර්මාණයේ මේනකගේ චරිතයේ සමහර තැන්වල මං උත්සාහ කළා මගේ ඒ හැකියාව ප්‍රේක්ෂකයන්ට පෙන්නන්න. ඒකෙ මගේ පෙම්වතිය දමිළ තරුණියක් නිසා ඇය පුදුම කරවන්න කියලා සමහර තැන්වල මං දමිළ භාෂාවෙන් කතා කළේ අධ්‍යක්ෂවරයා සහ තිරපිටපත් රචකයා එක්ක කතාබහ කරලා. මං වෙනුවෙන්ම දමිළ චරිතයක් ලියවෙනවා නම් මං ගොඩක් ආසාවෙන් ඉන්නවා දායක වෙන්න. ගොඩක් අය කියනවා මගේ පෙනුමත් දමිළ වගේ කියලා. මං වැඩිපුර අඳින්නෙත් ඒ විදිහට. වේට්ටියට මං ගොඩක් ආසයි.

විරාජ් කියන්නේ ආදරණීය සැමියෙක් වගේම ආදරණීය පියෙක්?

අනිවාර්යයෙන්ම. මගේ බිරිය නර්තන ගුරුවරියක්. මට ඉන්නෙ දුවයි පුතයි. එයාලා ඉන්නෙ නුවර. ෂූටින් නිසා මං කොළඹ හිටියත් ෂූටින් ඉවර වුණ ගමන් මං නුවර දුවන්න බලාගෙන ඉන්නේ. ඒ තමයි මගේ ලෝකය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division