ආදරය මහ මායාවක්. මම එහෙම කිව්වට මමත් ඒ මායාවේ පැටලුණ කෙනෙක්. ඒ වසර කිහිපයකට පෙර. දුක් තැවුල් පිරුණ මේ සමාජයේ ජීවත් වෙන කොට දවස ගාණේ අහන්න දකින්න ලැබෙන, විඳින්න ලැබෙන සමාජ අත්දැකීම් එක්ක ඒ මායාවේ දැවටිලා සැතපිලා දවස ගෙවන එක හොඳයි කියලා හිතෙන වාර ගණන අනන්තයි.
ඇය මෙහෙම කිව්වේ සිනහව අතරින්. ඒ සිනහව හරිම සොඳුරුයි . කාගෙ වුණත් හිත බැඳෙන සිනහවක් ඇයට තිබුණේ. වසර කිහිපයක සිට මගෙ යෙහෙළියක වන ඇය කවදත් හිටියේ හරිම සතුටින්. මට නම් අඬන්න දහසක් හේතු තිබුණත් ඇය හිටියේ හරිම සතුටින්.
“ඔයා කොහොමද ඔය තරම් සතුටින් ඉන්නේ?“
දවසක් මම ඇගෙන් ඇහුවා… විශේෂයෙන්ම ඔයාගේ පෙම්වතා එක්ක…?
මම එහෙම ඇහුවේ කොයිතරම් හොඳට හිටියත් ඔහුත් මාත් අතර පුංචි පුංචි නොගැළපීම් තිබුණ නිසයි.
“ඔයා දන්නවනේ අපේ අම්මලා මුලින්ම අපි දෙන්නට කැමැති නොවුණ බව. දැන් කියලත් ඒගොල්ලන්ගේ හීත්වල මහා ලොකු කැමැත්තක් නැහැ අපි දෙන්නා විවාහ වෙනවට. එත් අපි විවාහ වුණා කියලා එයාලා අපිව අතහරින්නෙත් නෑ කියලා මට හොඳටම විශ්වාසයි. අපිට තව ඉටුකර ගන්න හුඟක් දේවල් නැහැ. ඒත් එයා තව අවුරුද්දකින් විතර කැම්පස් අවුට් වෙනවා. ඊට පස්සේ එයාට රස්සාවක් ලැබෙයි. අඩුම තරමේ රස්සාවක් නොලැබුණත් එයාට ජීවත් වෙන්න මඟක් තියෙනවා. එයා ටියුෂන් පන්ති කරයි ළමයින්ට. අපි දෙන්නා ඒ දවස්වල ඉඳලම කැමැති රට වටේ ඇවිදින්න. ඒක අපේ වැඩිහිටියෝ දන්නවා. ඒත් අපි මෙච්චර කල් ඇවිදින්න ගියේ නෑ. ඒ අපි දෙන්නා තවමත් ඉන්නේ දෙපැත්තක නිසා. අපි විවාහ වෙච්ච දවසට මේ ලෝකේ පුරා ඇවිදින්න යනවා.“ ඇය පවසන්නේ උද්දාමයෙනි.
ඇවිදලා විතරක් ජීවත් වෙන්න පුළුවන්ද? දෙන්නෙක් එක පවුලක් වුණාට පස්සේ කොච්චර දේවල් තියෙනවද ඒ දෙන්නගෙ පුංචි පවුල අතරේ. මගෙ හිත මගෙන් ප්‍රශ්න කරනවා.
“නැහැ …. ඔයා හිතනවා වැරදියි. මම නම් හිතන්නේ මේ මොහොත ගැන විතරයි. මේ මොහොත සතුටින් ඉන්න තියෙනවා නම් මට ඒ හොඳටම ඇති. කාටවත් වෛර කරන්නේ නැතිව, අනුන්ගේ දේවල්වලට අකුල් හෙළන්නේ නැතිව කාටත් කරුණාව දයාව පාලා, පුළුවන් උදව්වක් කරලා ඉන්න පුළුවන් නම් එතැන තමයි අපි හොයන සැනසීම තියෙන්නේ. අපි දෙන්නටම ජීවිතේ මහා ලොකු බලාපොරොත්තු නැහැ. හැමෝ එක්කම සුහදව ඉන්නවා. අපි දෙන්නට දෙන්නා හරිම අවංකයි. රහස් නැහැ අපි අතර. එහෙම වුණාම ජීවත් වෙන්න පහසුයි. පුංචි පුංචි හිත් රිදීම් නැතුව නෙමෙයි. ඒත් අපි දෙන්නා කතාබහ කරලා ඒ හැමදේම එවෙලෙම ඉවර කරනවා. ඒ නිසා අපේ හිත් හරි පිරිසිදුයි. ඔයාලත් එහෙම කරලා බලන්න. ජීවිතේ වෙනසක් දැනෙයි.“ ඇය මට එහෙම කිව්වේ හිනාවෙලා. ඇගේ සිනහවේ, කතාවේ ඇති සැහැල්ලු බව මම ඊට පෙර කිසිවෙකුගෙන් දැක නැහැ.
“ජීවිතේ කිසිම දෙයක් පොදි බඳින්නේ නැතිව ඉන්න තරමට ජීවිතේ හරි සැහැල්ලුයි“ ඇය කියූ දෙය ගැන මම තවමත් හිතනවා. ඇත්තම ඇත්ත නම් ආදරය හරි සැහැල්ලුයි. එතකොට ඒ ආදරේ දරා ගන්නත් අපට පහසුයි.
මේ සමාජයේ වෙසෙන විවිධාකාර මිනිසුන්, යෞවන යෞවනියන් වර්තමානයේ ජීවිත විඳින දෙසත් ඒ නිසාම ජීවිතය විඳවන අයුරුත් දකින වාරයක් පසා මගේ යෙහෙළිය කියූ වදන් මට සිහිවේ. ඇය ජීවිතය විඳින්නේ සැහැල්ලුවෙනි. ඒ සැහැල්ලුවම ඇයට සැනසීම උදාකරයි. ඇය ප්‍රේමය විඳියි. නමුදු එය ඔහුට හෝ ඇයට හෝ බරක් නොවේ. ඇය ජීවිතය ගෙවන්නේ සැහැල්ලුවෙනි. ඇත්තම නම් අපි ද අපේ හිතට ළං කර ගතයුත්තේ ඒ සැහැල්ලුව යැයි හැඟෙයි.
ගීතයක් දෙස බලාගෙන, ඒ ගීතයේ පදවලට ඇහුම්කන්දෙමින් ප්‍රේමය ගැන සැහැල්ලුවෙන් හිතන්නට ඉඩදෙන විදිහේ ගීයක ඇත්තේ අපූරු බවකි. මේ එවන් ගීතයකි. විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ නිවුන කටහඬ පදවල ඇති අර්ථය වඩාත් තහවුරු කරයි. නව පරපුරේ සංගීත නිර්මාණ ශිල්පියෙකුගේ සත්සර මුසුවෙන් ගැයෙන මේ ගීතය පද රචනා කරන්නේ වෛද්‍ය කුමුදුනී වේලාරත්නය. ගී අරුත පිළිබඳ ඇය පවසන්නේ මෙවන් කතාවකි.
“අපි කවුරුත් ආදරේට ආදරෙයි. සමහර වෙලාවට ඇතැමුන්ට තේරුම් ගන්නත් බැරි මේ ආදරයමයි. ආදරය නිසා ජීවිතේ මුළාවෙන අයත්, ඒ නිසාම අමාරුවේ වැටෙන අයත් මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. මම මේ සමාජයෙන් ආදරය ගැන විවිධාකාර අත්දැකීම් ලබලා තියෙනවා. සමහරු ජීවිතය අතහරින්නෙත් තවත් සමහරු ජීවිතය තදින් බදාගන්නෙත් ආදරය නිසාමයි. දෙදෙනෙක් ආදරයෙන් බැඳුණහම සමහරු අතරේ ඒ බැඳීම දුරස් වෙනවා විවාහයෙන් පස්සේ. නමුත් මට හමු වූ අය අතර ඉන්නවා ඒ ආදරෙත් එක්ක හරි ලස්සනට ජීවත් වෙන. අන්න ඒ අය ගැන තමයි මට ලියන්න ඕන වුණේ. එහෙම ආදරෙන් බැඳුණ අය අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් අද මේ තියෙන සමාජ රටාවත් එක්ක, ජීවත් වෙද්දි තමයි ඒ හැම බැඳිමක්ම වෙනස් වෙලා තියෙන්නේ. මට කියන්න ඕනෑ වුණේ මෙපමණයි. අද මේ අප ඉන්න සමාජ වට පිටාව තුළත් හරිම ආදරෙන් බැඳිලා ඉන්න පුළුවන්. ගහට කොළට පරිසරයට, තමන් සමඟ සිටින අනෙකාට.. මේ විශ්වයටම ආදරේ කරන්න පුළුවන් වුණොත් තමයි මේ ලෝකේ ලස්සන. එහෙම ආදරයකට ලෝකයේ පවතින්න පුළුවන්. විශාරද දීපිකා ප්‍රියදර්ශනි ගයන්නේ එවන් ආදරයක් ගැන. ඇගේ අරුත්බර කටහඬ මගේ පදවලට නව ජීවයක් දී තිබෙනවා. ඒ වගේම මාලක සොයුරාගේ සංගීතය තනු නිර්මාණයත් එයට දායක වෙලා තියෙනවා. .
“ සඳ සිසිලේ ඔබ සෙවණේ
උණුසුම සොයන්නෙමී
හිරු තැවුලේ ඔබ සෙවණේ
සිසිලස විඳින්නෙමී…“
එවන් ආදරවන්තයින් මට හමු වී තිබෙනවා. ඔවුන් වෙනුවෙනුයි මං මේ ගීතය ලියූවේ“
සඳ සිසිලේ ඔබ සෙවණේ
උණුසුම සොයන්නෙමී
හිරු තැවුලේ ඔබ සෙවණේ
සිසිලස විඳින්නෙමී
සුව සදනා ඔබ සිහිනේ
මුළු රෑ නිදන්නෙමී
නෙත ගැටෙනා ඔබ දසුනේ
සැනසුම ලබන්නෙමී
සිත නිවනා මුදු වදනේ
දෙසවන් පිනන්නෙමී
නිති ඔබ හා ළඟ රැඳෙනා
දිනයක් පතන්නෙමී
හද බිඳෙනා ලෙස කිසි දා
වෙන් වී නොයන්නෙමී
සසර පුරා විඳි සෙනෙහේ
සුවඳේ රැඳෙන්නෙමී
ගායනය – දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය – මාලක රත්නායක
පද රචනය – කුමුදිනී වේලාරත්න