Home » ක්‍රියාවෙන් ඔප්පු කරනකම් ආදරය කියන්නෙ නිකං වචනයක් විතරයි

ක්‍රියාවෙන් ඔප්පු කරනකම් ආදරය කියන්නෙ නිකං වචනයක් විතරයි

by Mahesh Lakehouse
July 20, 2024 12:28 am 0 comment

නව පරපුරේ අංකුර රංගන ශිල්පීන් අතර හෙමිහෙමින් ස්ථාවර ගමනක් යාමට උත්සාහ දරන ඔහු මේ දිනවල අපට හමුවන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන The Target ටෙලිනාට්‍යයෙන්. රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට බලාපොරොත්තුවෙන් සිටින නවක රංගන ශිල්පි සඳරු එන්. සමීර සමඟයි අද අපේ කතාබහ.

ඔබ මේ දවස් වල Target එක්ක කොහාමද ගෙවන ජීවිතේ?

කුමාරසිරි අබේකෝන් මහත්මයාගේ නිර්මාණයක් වන The Target ටෙලි නාට්‍යය එක්ක තමයි මේ දවස් ගතවෙන්නේ. ඒ නාට්‍යය කුසල් සහ පවන් කියන නිවුන් සහෝදරයන් දෙදෙනෙක් වටා ගෙතෙන කතාවක්. මම වැඩිමල් සහෝදරයා වන කුසල්ගේ චරිතය තමයි රඟදක්වන්නේ. පවන්ගේ චරිතයට පණ පොවන්නේ ගායන ශිල්පි දිනේෂ් තරංග සහෝදරයා. මම රංගනයෙන් දායක වුණු තවත් ටෙලි නාට්‍ය දෙකක් ඉදිරියේදී එන්න තියෙනවා.

මේ වෙනකොට ඔබ නිර්මාණ කීයකට විතර සම්බන්ධ වෙලා තියෙනවද ?

දැනට ටෙලි නාට්‍ය හයක්, මියුසික් වීඩියෝ පහකට පමණ මම දායක වෙලා තියෙනවා. විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලයෙන් නිර්මාණය කරපු විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායන කරන ගීතයක රූප රචනාවට මම රංගනයෙන් දායක වුණා. ඒ ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වුණූ ‘ඇස්‘, ‘සුසුම් රස්තියාදුව‘ වගේ ටෙලි නාට්‍යවල මගේ රංගනයට හොඳ රසික ප්‍රතිචාර හිමිවුණා.

රංගන ක්ෂේත්‍රයට ඔබේ පැමිණීම සිද්ධ වෙන්නෙ කොහොමද ?‍

මම මුලින්ම කැමරාවක් ඉස්සරහට රඟපාන්න එන්නේ පාසලේ 9 ශ්‍රේණියේදී. ඒ කුමාරසිරි අබේකෝන් මහත්මයා අධ්‍යක්ෂණය කළ, සිරස ටීවී එකේ විකාශනය වුණු ‘හිරු, සඳු, තරු‘ ටෙලිනාට්‍යයෙන්. ඊට පස්සේ උසස් පෙළ කාලෙදි පාසල නියෝජනය කරමින් වසර පහක් පමණ ටවර්හෝල් නාට්‍ය තරග සඳහා රංගනයෙන් දායක වුණා. මගේ පාසල වන ගනේවත්ත, එස්. බී. හේරත් ජාතික පාසල ගැනත් මතක් කරන්න ඕන. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කාලයක් මම කළ වෘත්තිය නිසා රංගනයෙන් ඈත්වෙලා හිටියෙ. ආයෙමත් මම දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ඇකඩමියේ ඉගෙන ගන්න කාලෙ තමයි නැවතත් කලාවට සම්බන්ධ වෙන්නෙ.

දැන් ඔබේ වෘත්තිය රංගනය ද ?

නෑ. රටේ ආර්ථිකය එක්ක වෘත්තීය නළුවෙක් විදියට ස්ථාවර වෙන්න සෑහෙන අමාරුයි. ඒ නිසා මම ව්‍යාපාරයක් කරගෙන යනවා.

නළුවෙක් නොවුණා නම් අද ඔබ කවුද ?

එහෙම නම් අද මම බැංකු, මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙයි. මම ඒ ක්ෂේත්‍රයේ වැඩ කළේ. රැකියාවයි, රංගනයයි දෙකම බැලන්ස් කරගෙන යන්න අමාරු නිසා තමයි මේ අංශයෙන් ඉවත් වෙලා මගේ හීන පස්සේ වැඩකරන්න යොමු වුණේ.

ආදරය ඔබට දැනෙන්නෙ කොහොමද ?

මම හිතන්නේ නම් ක්‍රියාවෙන් ඔප්පු කරනකම් ආදරය කියන්නේ නිකං වචනයක් විතරයි. බොරු වචනවලින් විතරක් ආදරයක් හැමදාටම තියා ගන්න බෑ. මම ආදරය කරලා තියෙනවා, විඳලා තියෙනවා. ආදරය කියලා රටට ලෝකෙට බොරුවට මවාපාන තැන ආදරේ වැඩිකල් රැඳෙන් නෑ.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද ?

මේ ගමන මම කැපවීමෙන් සහ හරි හෙමින් යන ගමනක්. කුරුණෑගලින් කොළඹට ආවේ රංගනයට තියෙන ආසාව නිසාමයි. දුෂ්කර ගමනක් මේක. මට අවශ්‍ය මාව දැනෙන රසික පිරිසක් හදා ගන්න එක. ඒ වගේම චිත්‍රපට රංගනයට එන්න හීනයක් තියෙනවා. මම අධ්‍යක්ෂණය කරපු පළවෙනි මියුසික් වීඩියෝ එක ළඟදීම එන්න නියමිතයි. ඉදිරියේදී රංගනය අතින් හොඳ වැඩ ටිකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.

කුමුදිකා ඩී. සපුතන්ත්‍රි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division