Home » මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වේ ගායකයෙක් වෙන්න

මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වේ ගායකයෙක් වෙන්න

by Mahesh Lakehouse
July 20, 2024 12:27 am 0 comment

2024 පිරිමි T20 ලෝක කුසලාන නිල ගීතය සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නට විය. එහි සිංහල රැප් සින්දුව හැමෝගෙම කතාබහට ලක් විය. එයට දායක වූ නව පරපුරේ දක්ෂ ශබ්ද ඉංජිනේරුවෙක්, රැප් ගායකයෙක් මෙන්ම හඬකැවීම් ශිල්පියෙක්. ඔහු නමින් ලකී ලක්මිණ.

ඔබේ ආරම්භය ගැන අපට කිව්වොත්?

මම 2012දී ශබ්ද ඉංජිනේරු විෂය හදාරලා තමයි මගේ පළවෙනි සින්දුව ” දඟකාර නෙත් ” 2013 දී එළිදක්වන්නේ. ඒත් එක්කම තමයි මම සංගීත ක්ෂේත්‍රයට ආවේ. වාණිජ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ වැඩ කරන්න අරන් දැනට අවුරුදු හයක් වෙනවා.

ඉදිරියට එන්න තියෙන වැඩ මොනවද ?

දැනට මම කරපු වැඩ කිහිපයක් එන්න තියෙනවා. ප්‍රධානවම මම මේ දවස්වල “කුරුල්ලෝ” ටෙලි නාට්‍යයේ සංගීත වැඩ කරගෙන යනවා. තව “ටැක්සිකාරයා” ටෙලිඩ්‍රාමා එකේ වැඩ ටික එන්න තියෙනවා. ඒ හැරුණම මම මගේ ඇල්බම් එකක් කරන්න කටයුතු කරනවා.

ව්‍යාපාරික වාණිජ සංගීතය වැඩ කරන ප්‍රධානම ශබ්දාගාරයක් තමයි “රෙඩ් ෆොක්ස්” කියලා කියන්නේ. මමත් වැඩ කරන්නේ ඒකේ. මේ දවස්වල අපි හරි කාර්යබහුලයි. ඒ කාර්යබහුලත්වය අස්සෙම තමයි මගේ සින්දුයි, ටෙලිනාට්‍ය වැඩයි මගේ පෞද්ගලික ජීවිතේ ඔක්කොමයි බැලන්ස් කරගෙන කරන්නේ.

ඔබේ අරමුණ දිගටම මේ ක්ෂේත්‍රයේම ඉන්නද?

මම පොඩි කාලේ ඉඳන්ම හීන මැව්වේ ගායකයෙක් වෙන්න. ශබ්ද ඉංජිනේරු විෂයක් හදාරලා සින්දු හදනවා කියලා මගේ ඔළුවේ තිබුණේ නෑ. අද වෙනකොට මම මගේ හීනේට ගිහින් තියෙනවා. මගේ සින්දු මමම ලියලා, සංගීතය නිර්මාණය කරලා, අධ්‍යක්ෂණය කරලා, පටිගත කරන තැනට ඇවිත් තියෙනවා. මම මේක මගේ ජීවිතේ කරගෙන ඉවරයි. ඉදිරියේදී තව මේකටම සම්බන්ධ දෙයක් පටන් ගන්නවා. හැබැයි මම සංගීතය අත අරින්නේ නෑ. මේක තමයි මගේ ජිවිතේ.

ඉදිරියට යන මාවත තෝර ගනිද්දි දෙපාරක් හිතපු තැන් තිබ්බ ද ?

මේ ජීවිතේදී මම අවදානමක් ගන්නවා. හැබැයි ඒක තමයි මම ගත්ත හොඳම තීරණය. කාලයක් මම ක්‍රිකට් ද මියුසික් ද කරන්නේ කියලා එක තැනක හිර වුණා. ආර්ථික ප්‍රශ්න තිබුණ නිසා මම දෙපාරක් නොහිතාම සංගීතය තෝරගත්තා. තමන් තමන්ව විශ්වාස කරන්න ඕනේ. එතකොට වරදින්නේ නෑ.

ඔයාගේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය මතක් කළොත්?

මගේ අම්මා වගේ කෙනෙක් මට ලැබුණ එකට මම ගොඩක් සතුටු වෙනවා. එයා දන්නවා මම කවදාවත් වැරදි දේවල් කරන්නේ නෑ කියලා. ඒ වගේම එයා මට උපරිම නිදහස දුන්නා මම කැමැති දේ කරන්න. අද වෙද්දි මම ඉන්න තැන දැකලා එයා ගොඩක් සතුටු වෙනවා.

මේ වෙනකොට ඔබ ආදරවන්තයෙක් ද?

මම ආදරේට හරිම ආදරේ මනුස්සයෙක්. ඒ වගේම මම ආදරේදි කඩා වැටුණ තැන් තිබුණා.ඇත්තම කිව්වොත් මට හරි ආදරයක් ලැබිලා නෑ. නමුත් කෙනෙකුට ආදරයක් තිබිය යුතුයි.

මගේ අම්මා වගේ මට සහයෝගයක් දෙන, මගේ නිදහසට බාධාවක් නැත්නම් , හොඳ තේරුම් ගැනීමක් තියෙනවා නම් මම හිතනවා එයා සුදුසුයි කියලා.

ඔයාගේ ජීවිතේ ආදර්ශවත් චරිතේ කවුද?

ඇත්තටම මේ ක්ෂේත්‍රයේ මම ආස කරන විදිහේ රටාවක් තියෙන අධ්‍යක්ෂවරයෙක්, ගායකයෙක් තමයි පසන් ලියනගේ කියන්නේ. ඇත්තටම පසන් අයියා නිසා තමයි ” ලකී ලක්මිණ” කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන තියෙන්නේ .

ඒ වගේම රැපර් කෙනෙක් විදියට හැමෝම දන්න කියන ADK දිනේෂ් කනගරත්නම් මගේ රෝල් මොඩල් එකක්.

මගේ වාසනාවට මම ඒ දෙන්නා එක්කම වැඩ කරලා තියෙනවා.

නවෝද්‍යා මුහන්දිරම්ගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division