දැන් දැන් කාන්තා ක්‍රිකට්වල ඇත්තේ පුදුම පිබිදීමකි. මේ වන විට රටවල් අටක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙමින් තිබේ. අවුරුදු 19න් පහළ අන්තර් දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් විස්සයි20 තරගාවලිය ද ආරම්භ වී ඇත. ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටිය දික්විජය කළ ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් නායිකාව චමරි අතපත්තු ලොව කිසිදු රටක ක්‍රීඩිකාවකට වඩා ජනප්‍රියත්වයක් දිනා සිටී.
මෙරට කාන්තා ක්‍රිකට් පිටියට බිහිවන යොවුන් ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට් ‘අයිකනය‘ බවට ද පත්වී සිටී. ඇගේ අඩිපාරේ යමින් ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන තවත් ක්‍රීඩිකාවෝ බොහෝ වෙති. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි තිලකරත්න මීට වසර අටකට පෙර එම තනතුරට පත්වීමෙන් පසු දස්කම් සපිරි ක්‍රීඩිකාවන් සොයා රට වටා යමින් සිටී. ඒ ඔස්සේ ක්‍රිකට් ආයතනය ‘ගමට ක්‍රිකට්‘ ව්‍යාපෘතිය අතිසාර්ථකත්වයට පත් කරමින් දහස් සංඛ්‍යාත පාසල් ක්‍රීඩිකාවන් සංචිතගත කරමින් සිටී. එවකට ක්‍රීඩා සමාජ අටකට පමණ සීමා වී තිබූ මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යුහය ව්‍යාප්ත වී ඇති අතර, බාලිකා ක්‍රිකට් වර්ධනය වී ඇත්තේ බලා සිටියදීමය. ඔවුන්ට විවිධ වයස් කාණ්ඩවල සංචිතවලට පමණක් නොව ජාතික සංචිතයට ඇතුළත් වීමට ද වාසනාව ලැබී ඇත.
මේ ඇරඹී ඇත්තේ ඈත එපිට දුෂ්කර ගම්මානවලින් යොවුන් ක්‍රීඩිකාවෝ බුරුතු පිටින් බිහිවන යුගයකි. මොනරාගලින් බට්ටිලා බිහිවෙද්දී රත්ගමින් ශෂිනි ගිම්හානිලා අවුරුදු 15න් ජාතික කණ්ඩායමට සේන්දු වී සිටී. පෙර නොවූ විරූ අයුරින් මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ සිදුවන පෙරළිය ‘ගමේ කෙල්ලන්ට‘ ක්‍රීඩාව මුවහත්වීමට පමණක් නොව අතමිට සරු වීමේ වාසනාවත් උදා වී ඇත. කාලයක් ජාතික කණ්ඩායමේ හිස් තැන් පුරවාලීමට දස්කම් ඇති ක්‍රීඩිකාවන් සොයා ගැනීම පවා දුෂ්කර වුවත් වර්තමානය වන විට ජාතික කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් ලබාදීමට හැකි තරමින් පසුපෙළ සංචිත පිට සංචිත ගොඩ නැඟෙමින් තිබේ. ඔවුන් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමට, රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පෙළ ගැසී බලා සිටින බැවින් තරගකාරීත්වයත් ඉහළ ගොස් තිබේ. ජාතික කණ්ඩායමට පමණක් නොව අවුරුදු 19න් පහළ සංචිතයට ඇතුළත් වීමට ද මේ වන විට ඇත්තේ දැඩි තරගයකි.
ඒ අතරින් ක්‍රීඩිකාවෝ විසිදෙනක් ජාතික කණ්ඩායමට ඇතුළත් වීමේ තීරණාත්මක කඩඉම වන අවුරුදු 19න් පහළ සංචිතයට ඇතුළත් වී සිටිති. මේ කියන ‘දෙහිඅත්තකණ්ඩියේ යකඩ කෙල්ල‘ එරන්දි හංසමාලි වර්ණකුලසූරිය සිටින්නේ එම සංචිතයේය. ඇය දෙහිඅත්තකණ්ඩියේ දොලකන්ද මහා විද්‍යාලයෙන් ජාතික කාන්තා ක්‍රිකට් පිටියට පායන අලුත්ම තරුව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ගමට ක්‍රිකට්‘ ඔස්සේ අප්සාරි තිලකරත්න දෙහිඅත්තකණ්ඩියේ යකඩ කෙල්ල සොයාගත්තේ ද මොනරාගල බට්ටි සොයා ගත් කාලවකවානුවේදීය.
“දොලකන්ද, සඳුන්පුර, මැදගම කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩියේ අතිදුෂ්කර ප්‍රදේශ කිහිපයක්. අපි එරන්දිව හොයාගත්තේ මීට අවුරුදු තුනකට විතර කලින්. අප්සාරි මිස් ඇතුළු කණ්ඩායමත් එක්ක අපි දොලකන්ද ඉස්කෝලෙට ගියේ කාන්තා ක්‍රිකට් හඳුන්වලා දෙන්නයි. ඒ ගියාම අපිට ඉස්කෝලේ ශාරීරික අභ්‍යාස භාර ගුරුවරයා කිව්වේ මලල ක්‍රීඩාවට දක්ෂ දරුවෙක් ඉන්නවා, ඒ දරුවා මලල ක්‍රීඩාවට විතරක් නෙවෙයි හැම ක්‍රීඩාවකටම ඉදිරිපත් වෙන දක්ෂ දරුවෙක් කියලයි. ටෙනිස් පන්දුවෙන් හරි අපූරුවට පන්දු යවනවා කියලයි. ඉතින් අපි එදාම ඒ දරුවා ගෙන්නලා බෝල් කෙරෙව්වා. අපි දරුවා ගනිමු කියලා අප්සාරි මිස් කිව්වා. දකුණතින් වේගපන්දු යවන දරුවෙක්. ඊට පස්සේ අපි බැට් කරන්නත් දුන්නා. සාමාන්‍ය ගැහැනු දරුවකුගේ ජවසම්පන්නකමට වඩා තුන්ගුණයක විතර හයියක් ඒ දරුවාට තිබුණා. බෝලෙට හයියෙන් ගහනවා. ඒකේ විශේෂත්වය තමයි එයා ඉස්කෝලේ හැම ක්‍රීඩාවකටම යොමුවීම. කරාටේ ක්‍රීඩාවට වගේම කබඩි, වොලිබෝල් ක්‍රීඩාවටත් යොමුවෙලයි හිටියේ. එතකොට එයාට අවුරුදු 15ක් විතර ඇති. “එරන්දි ගැන තොරතුරු කියමින් ‘සිළුමිණ‘ සමඟ එසේ කතාබහට එකතු වූයේ නැඟෙනහිර පළාත් ක්‍රිකට් පුහුණුකරු නිලන්ත විමලවීර ය.
එරන්දි හංසමාලි ක්‍රීඩාවෙන් දස්කම් පෑවද දිගටම ක්‍රීඩාවේ රැඳී සිටීමට හෝ ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ සපයා ගැනීමට හෝ වත්කම් ඇති පවුලක් නොවීය. ඇගේ මව වකුගඩු ආබාධයකින් පෙලෙන බවත් පියා ජීවිකා වෘත්තිය ලෙස කරනු ලබන්නේ නගරය මධ්‍යයේ වඩේ කරත්තයක් පවත්වාගෙන යෑම බවත් නිලන්ත කීවේය.
“ඒ නිසා අපිට තිබුණු ප්‍රශ්නය තමයි මේ දරුවා දිගටම ක්‍රීඩාවේ ඉඳීවිද කියලයි. ඒත් හැකියාව තියෙන නිසා කොහොමහරි ඉස්සරහට අරගෙන යන්නයි අපි තීරණය කළේ. ඊළඟට අපි සංචිතයක් ගොඩ නඟාගැනීමේ අදහසින් ඉක්මනින්ම ටේප් බෝල් ක්‍රිකට් තරගාවලියක් සංවිධාන කළා. මොකද ලෙදර් ක්‍රීඩාවට දරුවන් ගන්න පුළුවන් පහසුම ක්‍රමය තමයි එයාලට ටේප් බෝල් ක්‍රීඩාවට පුරුදු කරන එක. ඒ තරගාවලියේදි එරන්දි තමයි හොඳටම සෙල්ලම් කළේ. අපි ඒ දරුවා සංචිතයට ඇතුළත් කරගත්තා. අම්පාර දිස්ත්‍රික්කයට කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් හදාගැනීමේ පළමු පියවර ඒ විදිහට ආරම්භ වුණා. එතකොට අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රිකට් පුහුණුකරු වුණේ දිල්ක පනාගොඩ. මම කටයුතු කළේ පළාත් පුහුණුකරු විදිහටයි. “මේ විස්මිත දස්කම් ඇති ක්‍රීඩිකාවගේ ආරම්භය ගැන නිලන්ත එසේ පැවැසීය.
දස්කම් සපිරි සියලු පාසල් ක්‍රීඩිකාවන් කඩිනමින් පළාත් සංචිතයට ඇතුළත් කිරීමේ ක්‍රිකට් ආයතන ක්‍රමවේදයට අනුව ඉතා පුළුල් හා ක්රමානුකූල පුහුණුවක් ලබා දීමට ද කටයුතු යොදා තිබිණි. වැඩි දවසක් යෑමට පෙර එරන්දි අම්පාර දිස්ත්‍රික් කාන්තා කණ්ඩායමේ නායිකාව බවට ද පත්වූවාය. එහෙත් කාන්තා ක්‍රිකට් ප්‍රචලිත නොවූ අම්පාර වැනි දිස්ත්‍රික්කයක සහ නැඟෙනහිර පළාත වැනි ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොවුන් ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් නොලැබෙන පසුබිමක මෙවැනි දස්කම් සපිරි යොවුන් ක්‍රීඩිකාවකට ඉදිරියට යෑමට නම් පහසුකම් හා අත්වැල නිසි පරිදි සකස් කර දිය යුතු බව නිලන්තලා වටහා ගෙන තිබිණි.
“ඩිවිෂන් වන් බාලිකා ක්‍රිකට් තියෙන පාසල් තිබුණේ සීමිත ප්‍රමාණයක්. නුවර මහමායා, රත්ගම දේවපතිරාජ, වාද්දුව සෙන්ට්‍රල්, ගම්පහ රත්නාවලි වගේ පාසල් කිහිපයක විතරයි. ඉතින් අපිට ඕන වුණා මේ දරුවාගේ හැකියාව වැඩිදියුණු කරන්න එවැනි පාසලකට භාර දෙන්න. ඒ අනුව අවුරුදු දෙකකට විතර කලින් අපි එරන්දිව වාද්දුව සෙන්ට්‍රල් එකට භාර දුන්නා. ඒ වෙද්දී එරන්දි සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලයි හිටියේ. ඒ නිසා ඒක පහසු වුණා. එයා වාද්දුව සෙන්ට්‍රල් එකට ගියාට පස්සේ ක්‍රිකට් හැකියාව තවදුරටත් ඔපමට්ටම් වුණා. අත්දැකීම් ලැබුණා. කණ්ඩායමේ උපනායිකාවත් වුණා. ඊට කලින් එරන්දි අවුරුදු 19න් පහළ සංවර්ධන සංචිතයටත් ඇතුළත් වෙලයි හිටියේ. වාද්දුව සෙන්ට්‍රල් එකේ පළමු වසර සෙල්ලම් කළාට පස්සේ තමයි අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට තේරුණේ. “නිලන්ත සඳහන් කළේය. මුල් කාලයේදී එරන්දිට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවී තිබිණි. වාද්දුව මැදි විදුහලට ඇතුළත් වීමෙන් පසු ඇයට නවාතැන් ගැනීමේ ගැටලුවක් ද මතු වූ අතර, එය විසඳනු ලැබුවේ එම පාසලේ විදුහල්පති සහ ආචාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙනි.
“ටීචර්ස්ලා කතා කරලා එරන්දිව ඒ ඉස්කෝලෙම ක්‍රිකට් ගහන දරුවකුගේ ගෙදර නතර කෙරෙව්වා. “ඔහු කීවේය.
එරන්දිට නවාතැන වූයේ 2021 දී ඔබ්සර්වර් – මොබිටෙල් වසරේ පාසල් ක්‍රිකට් සම්මාන උලෙළේදී වසරේ දක්ෂතම ක්‍රීඩිකාවගේ සම්මානය දිනාගත් නෙත්මි සේනාරත්නගේ නිවෙසේ වීම විශේෂත්වයකි. ඒ වන විට නෙත්මි ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට ද ඇතුළත්ව සිටි අතර, එහි නවාතැන් ගත් එරන්දිගේ ඊළඟ සිහිනය වූයේ ද එම ඉලක්කය යි. එරන්දි වාද්දුව මැදි විදුහල් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක ලෙස දස්කම් දක්වද්දී ඇගේ ක්‍රිකට් අනාගතය ක්‍රමයෙන් දීප්තිමත් වීමේ අඩිතාලම වැටිණි. එය ඇගේ පවුලේ සාමාජිකයන්ගේ අපමණ සතුටට හේතු විය. වැඩිමල් සොහොයුරියක සහ බාල සොහොයුරියක සිටින පවුලක මද්දුමී ක්‍රිකට් ක්‍රීඩාවෙන් දස්කම් පෑම ඊට හේතු වන්නට ඇත. මුල් අවධියේදී ක්‍රිකට් ආම්පන්න සපයා ගැනීමට ඇයට තිබුණු සියලු ගැටලු විසඳනු ලැබුවේ අප්සාරි තිලකරත්න ඇතුළු පුහුණුකරුවන් විසිනි.
පසුකාලීනව නෙත්මි සේනාරත්න මෙන්ම එරන්දි ද ක්‍රීඩිකාවන් විසිදෙනාගේ අවුරුදු 19න් පහළ ජාතික කාන්තා සංචිතයට ඇතුළත් වීමට සමත්වූ අතර, නෙත්මි පළමු 15 දෙනා අතරට පිවිසෙද්දී එරන්දි අතිරේක ක්‍රීඩිකාවන් පස්දෙනා අතරට එක්වූවාය.
“එරන්දි නැවතිලා හිටපු ගෙදර නෙත්මි 15 දෙනා අතරට ගිහින් 19න් පහළ ජාතික කණ්ඩායමට සෙල්ලම් කරද්දි එරන්දි හිටියේ අවසන් පස්දෙනා අතරයි. අපි එයාට කිව්වේ ඔයා එක්ක එක ගෙදර හිටපු නෙත්මි ඔන්න දැන් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරනවා. ඒක ඔයාට ලොකු උත්තේජනයක් වේවි. ඔයාගේ දැන් උත්සාහය වෙන්න ඕනා ඒ ඉලක්කයට යන්න තමයි කියලයි. අපි අම්පාරේ මැච් තියෙද්දි පුළුවන් තරම් එරන්දිව ගමට ගෙන්වා ගත්තා. ලොකු පිළිගැනීමක් ලබා දුන්නා. අම්පාරට කාන්තා ක්‍රිකට් තිබ්බේ නෑනේ. උත්සව සංවිධාන කරලා එරන්දිව උණුසුම් විදිහට පිළිගත්තම ඒක අලුතින් ක්‍රීඩාවට එකතු වෙන්න බලාගෙන ඉන්න දරුවන්ටත් ලොකු හයියක් වුණා. එතකොටනේ අනිත් දරුවෝ පවා දිරිමත් වෙන්නේ.
19න් පහළ කාන්තා සංචිතයට ගියාට පස්සේ ක්‍රිකට් ආයතනයෙන් එරන්දිට ලැබිය යුතු සියලු පහසුකම් ලැබුණා. ආහාරපාන, ආම්පන්න වගේම පුහුණු සැසිවාර අතරතුර නේවාසික පහසුකම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩාව වෙනුවෙන් මාසික දීමනාවකුත් ලැබුණා. ඒක එයාගේ මවුපියන්ටත් ලොකු දෙයක් වුණා. එරන්දිට ලොකු ක්‍රිකට් අනාගතයක් තියෙන බව ක්‍රිකට් ආයතනයත් හඳුනා ගත්තා. එයාව හොඳින් රැකබලා ගන්නේ ඒ නිසයි. එරන්දිට මේ ගමන යන්න පුළුවන් වුණේ අපෙන් ලැබුණු සහයෝගය, දිරිගැන්වීම නිසා විතරක්ම නෙවෙයි. මේ දරුවා හරි ප්‍රසන්නශීලි විනයගරුකව හැදුණු දරුවෙක් නිසයි. මොන වැඩේ දුන්නත් ඒක හරියටම කරනවා. ලොකු විනයක් ඇතුව හැදෙන දරුවෙක්. ඒක අනිත් අයටත් ආදර්ශයක්. ලබන අගෝස්තුවේ ඔස්ට්‍රේලියානු සංචාරයක් තියෙනවා. අපේ ලොකු බලාපොරොත්තුවක්, විශ්වාසයක් තියෙනවා ඒ ටුවර් එකේදි එරන්දිට අවස්ථාව ලැබේවි කියලා. අම්පාරෙන් ජාතික සංචිතයට ආපු පළමු ක්රීඩිකාවනේ. ඒක අම්පාරටත් ලොකු ගෞරවයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, අප්සාරි තිලකරත්න මිස්ට, දොලකන්ද මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයට වගේම වාද්දුව සෙන්ට්‍රල් එකේ විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් මේ ගැන විශේෂයෙන් ස්තුති කරන්න ඕනා. ඒ වගේම එරන්දිට නවාතැන් දුන් නෙත්මිලාගේ ගෙදර අයටත් ස්තුතිවන්ත වෙන්න ඕනෙ.”නිලන්ත කියා සිටියේය.
එරන්දිගේ පිතිහරඹයට හොඳම නිදසුන වන්නේ පසුගිය මැයි මාසයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති වාද්දුව මැදි විදුහල්- රත්ගම දේවපතිරාජ අතර පැවැති ‘වීරවරියන්ගේ හටන‘ පාසල් මහා බාලිකා ක්‍රිකට් තරගයයි. එය දෙවිදුහල අතර පාසල් මහා ක්‍රිකට් තරගයක් පැවැති පළමු අවස්ථාව ද විය. වාද්දුව ඉනිම වර්ණවත් කළ එරන්දි එදා ලකුණු 97ක්ම රැස් කළාය. මේ වන විට ඇගේ ක්‍රිකට් දස්කම් ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. ඇය පසුගිය අවුරුදු 23න් පහළ ජාතික සුපර් ලීග් විස්සයි20 තරගාවලියේදී ගාල්ල නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, 23න් පහළ අන්තර් දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී කළුතර දිස්ත්‍රික් පිලට ක්‍රීඩා කරමින් සිටින්නීය. එපමණක් නොව ඇය කළුතර දිස්ත්‍රික් පිලේ නායිකාව මෙන්ම ආරම්භක පිතිකාරිනිය ලෙසත් කටයුතු කරන අතර, පසුගියදා බණ්ඩාරගම පැවැති පළමු වටයේ තරගයකදී කොළඹ දකුණු පිලට එරෙහිව ලකුණු 40ක ජයක් කළුතරට අත්කර ගැනීමට ඇගේ පිතිහරඹයත් විශිෂ්ට දායකත්වයක් ලබා දී තිබිණි. එදා ඇය හතරේ පහර 8ක් සමඟ ලකුණු 60ක් රැස් කරනු ලැබුවේ පන්දු 49කිනි. එමෙන්ම අන්තර් සමාජ කාන්තා ආරාධිත තරගාවලියේදී පානදුර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරමින් සිටී.
හැම අතින්ම අත්දැකීම් පිට අත්දැකීම් එකතු කර ගනිමින් දස්කම් පිට දස්කම් දක්වමින් සිටින මේ තුන්ඉරියව් ජවසම්පන්න ‘යකඩ කෙල්ල‘ 19න් පහළ ජාතික කණ්ඩායමට පමණක් නොව වැඩිකල් නොගොසින් ජාතික කාන්තා ක්‍රිකට් පිලටත් සේන්දු වනු ඇත.
මේක එරන්දිලා වැඩි වැඩියෙන් බිහිවෙන යුගයක් කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිනිය අප්සාරි කියයි
“අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නකොට ජාතික සංචිතයේ වැඩි හරියක් හිටියේ අවුරුදු 27ට වඩා වැඩිමල් අය. ශක්තිමත් පසුපෙළ සංචිතයක අඩුපාඩුවක් තිබුණා. එතකොට කාන්තා ක්‍රිකට් සමාජත් 8ක් විතර වගේ තිබුණේ. ඒවාත් කොළඹට හා තදාසන්න ප්‍රදේශවලටයි සීමාවෙලා තිබුණෙ. වැඩි දායකත්වයක් ලැබුණේ ත්‍රිවිධ හමුදාවේ ක්‍රීඩා සමාජවලින්. මේ වගේ හේතු නිසා ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායමට එකතු වෙන්න අඩිතාලම වැටී තිබුණේ ක්‍රීඩා සමාජ හරහා විතරයි. ඒ නිසා ටිකක් වයසට ගියාම ඒ කියන්නේ අවුරුදු විසිගණන්වල මැද භාගයේ විතර තමයි එයාලට ඒ අවස්ථාව ලැබුණේ. අනික පිරිමි ක්‍රිකට් වගේ හොඳ පාසල් සැකැස්මක් තිබුණෙත් නෑ. බාලිකා පාසල් පවා 18ක් වගේ තමයි තිබුණේ. ‘ගමට ක්‍රිකට්‘ බිහිවුණේ ඒ අඩුපාඩු පිරිමසා ගන්නයි.
ගැහැනු ළමයින් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවෙනවාට මවුපියන්ගේ කැමැත්තක් තිබුණේ නෑ. ඇරත් ගොඩාක් පාසල්වල විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය පවා හිටියේ ඒ අදහසින්. මොකද පුහුණුකරුවෝ හැමෝම පිරිමි. විශ්වාසය ගැන ප්‍රශ්නයක් එතැන තිබුණේ. කාන්තා ක්‍රිකට්වලට දක්ෂ දරුවන් හොයාගෙන මම ගමට ගියේ ඒ නිසයි. ඈත දුෂ්කර පළාත්වල ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ගැහැනු ළමයි විශාල ප්‍රමාණයක් මම දුටුවා. අපි එයාලගේ දස්කම් හඳුනා ගත්තා. අවුරුදු 14 ඉඳලා 17 වගේ වයස් සීමාවේ ඉන්න දක්ෂ දරුවෝ ජාතික සංචිතවලට ඇතුළත්වීමේ අඩිතාලම වැටුණේ ඒ ආකාරයෙනුයි. ක්‍රිකට් ආයතනයේ සහයෝගය මත මම හැම දිස්ත්‍රික්කයටම ගියා. ගොඩාක් පළාත්වල පාසල්වල කාන්තා ක්‍රිකට් පටන් ගත්තේ මම ගියාට පස්සෙයි. දිස්ත්‍රික් සංගම් එක්ක එකතුවෙලා පාසල්වලට ගිහින් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වගේම මවුපියන්ටත් මම කතා කළා. ඔයාගේ දුව බය නැතිව එවන්න. මෙතැන මම ඉන්නවා. ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයකුගේ බිරිය වීම නිසා ඒ විශ්වාසය ගොඩ නඟන්න මට ලොකු පහසුවක් වුණා. දැන් එන්න එන්නම බාලිකා ක්‍රිකට් දියුණු වෙනවා. මේක තමයි සැබෑ කාන්තා සවිබලගැන්වීම කියන්නේ. අපි ඒක ප්‍රායෝගිකව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මේක තමයි අපේ රටේ කාන්තා ක්‍රිකට්වල කරපු හොඳම හා සාර්ථකම ව්‍යාපෘතිය කියලයි මම විශ්වාස කරන්නේ. දැන් කාන්තා ක්‍රිකට්වල රැකියා අවස්ථා පවා දියුණු වෙලා තියෙනවා. මේ වෙද්දී උඩුදුම්බර ගැහැනු ළමයි තුන්දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු මට්ටමේ පුහුණුකරු පාඨමාලාව සම්පූර්ණ කරලා පාසල්වල ක්‍රිකට් පුහුණුකාරිනියන් හැටියට වැඩ කරනවා. කාන්තා ක්‍රිකට්වල ඒක ලොකු දියුණුවක්. ක්‍රිකට් ආයතනයේ අනුග්‍රාහකත්වය හා සහයෝගය මත අපිට දැන් හැකියාව ලැබිලා තියෙනවා එරන්දිලා වගේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ ඒත් හැංගිලා හිටපු දරුවෝ ඉදිරියට අරන් එන්න.‘
ෆවුස් මොහොමඩ්