යමෙකු සතුව වාලම්පුරියක් ඇත්නම් ඔහු තුන් ලොවම ජය ගන්නා බවට කතාවක් ඇත. සියලු පව් දුරු වන බවද කියති. ප්‍රබල ජීවමය බලවේගයක් තිබෙන බැව් වාලම්පුරියක් සතුව ඇති අයගේ ප්‍රබල විශ්වාසයකි. මෙසේ බොහෝ දෙනා වාලම්පුරි ගැන තබා ඇති විශ්වාසයත් කෙනෙකුට එය සතු කර ගැනීමට ඇති දුෂ්කරතාවත් හේතුවෙන් වාලම්පූරියට විශාල වටිනාකමක් ගෙන එන්නේය. දකුණට කරකැවුණ වාලම්පුරිය මෙසේ වටිනාකමින් ඉහළය.
ශ්‍රී විභූතිය විදහා දක්වන උත්තරීතර මේ මහා සංකේතය වන සත්ත්ව සහ වෘක්ෂලතා ආඥා පනතේ 31 වැනි වගන්තියට අනුව ඒවායේ සජීවී හෝ අජීවී කොටස් කිසිවක් ඇල්ලීම, එකරැස් කිරීම, ළඟ තබාගැනීම, ප්‍රවාහනය මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම්ය. වනජීවී සහ වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නීතිමය තත්ත්වය එසේ පවතිද්දී වාලම්පුරි ජාවාරම්කරුවෝ පොලිසිය මඟහරිමින් විවිධ ක්රමෝපායන් ඔස්සේ ඔවුන්ගේ අරමුණ කරා ළඟා වීමට වෙර දරති.
මේ එවන් සිද්ධියකි. සිදුවීම වාර්තා වූයේ මාරවිල ප්‍රදේශයෙනි.
මාරවිල ප්‍රදේශයේ විසිහතර හැරිවිදි තරුණයකු වාලම්පුරියක් විකිණීමට කටයුතු කරන්නේ ඉතා සූක්ෂම ලෙසය. එය විකිණීම සම්බන්ධව තොරතුරු ඔහු සමාජගත කරන්නේ තමාට හිතවත් දන්නා අඳුනන එමෙන් විශ්වාසවන්ත අයව දැනුම්වත් කිරීමෙනි. මෙවන් පසුබිමක මෙම තොරතුර මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන්ට ලබා ගැනීමට හැකි විය. බුද්ධි නිලධාරින් පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ කරුවලගස්වැව වනජීවි නිලධාරීන්ට මේ ගැන දැනුම් දී මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමට සැලසුම් සකස් කරන්නේ ඒ අනුවය.
සැලසුමට අනුව සූක්ෂම ලෙස මේ තරුණයාගේ ජංගම දුරකතන අංකය විශේෂ කාර්ය බළකා නිලධාරින් ලබා ගැනීමෙන් පසු එය මිලදී ගැනීමට පැමිණෙන බව පවසා දෙපාර්ශ්වයේම එකඟත්වය මත ඉකුත් 04 වැනිදා ගනුදෙනුව මාරවිල නගරයට ආසන්නයේ කිසිවෙකු නොගැවසෙන ස්ථානයක සිදු කිරීමට කටයුතු සම්පාදනය කැරිණි. මෙම වාලම්පුරිය රුපියල් කෝටියක් පමණ වටිනා බවත් තමාට ඇති අවශ්‍යතාව මත මෙම වාලම්පුරිය ලක්ෂ 25කට විකිණීමට කටයුතු කරන බවත් තරුණයා විමර්ශන නිලධාරින්ට පවසන්නේ දුරකතනයෙනි. පසුව දෙපාර්ශ්වයේම එකඟතාව මත රුපියල් ලක්ෂ පහළොවකට මිල නියම කිරීමෙන් පසු නිලධාරින් තිදෙනෙක් වෙස්වළාගෙන මෝටර් රථයකින් ගොස් ගනුදෙනුව කිරීමට කටයුතු කරන අවස්ථාවේ වනජීවි නිලධාරින් ගුවන් හමුදා නිලධාරීන් සහ විශේෂ කාර්යාංශයේ නිලධාරින් සැකකරු වාලම්පුරිය සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කරයි.
අත්අඩංගුවට ගත් 24 හැවිරිදි සැකකරු නිලධාරින් හමුවේ පැවසුවේ තම සොහොයුරා විදේශීය නැවක සේවය කරන බවත් එහිදී ඔහුට ලැබුණ මේ වාලම්පුරිය නිවසට රැගෙනවිත් අලෙවි කිරීමට කටයුතු කළ බවය.
නමුත් මෙම සැකකරුගේ මව වනජීවි නිලධාරීන්ට පවසා ඇත්තේ තම පුතාට වෙනත් අයකු විසින් මෙම යෝධ ට්‍රයිටැන් වාලම්පුරීය විකිණීමට ලබා දී ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ මවගේ ප්‍රකාශ පරස්පර වීමත් සමඟ වනජීවි නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මේ වන විට ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්ය. ‘ට්‍රයිටන්ගේ හොරණෑව’ ලෙසින් හැඳින්වෙන් මෙම වාලම්පුරිය ලෝකයේ විශාලතම වාලම්පුරියක් ලෙස සැලකේ. එම වාලම්පුරිය දිගින් අඟල් 16කට ආසන්නය. එය වට ප්‍රමාණය අඟල් 20කට වැඩිය.
ට්‍රයිටැන් පියු යනු මුහුදේ යෝධ ගොළුබෙල්ලන් විශේෂයක් වන අතර එහි විද්‍යාත්මක නාමය වන්නේ ‘චරෝනීයා ටිරයිටෝනිස්‘ යනුවෙනි. කොරෝල්පර අතර ඇති විශාලතම මොලුස්කාවන්ගෙන් එකක් වන බවද සඳහන්ය.
රුපියල් කෝටියකට අධික මුදලකට ඇතැම් අවස්ථාවලදී මෙම ට්‍රයිටැන් වාලම්පුරි අලෙවි වී ඇති අතර එය ධනවතුන් විනෝදයට මෙන් එකතු කිරීමට පුරුදුව සිටින බවද පැවසේ. වනජීවි නිලධාරීන් පවසන්නේ මෙවැනි විශාල ට්‍රයිටැන් වර්ගයේ වාලම්පුරි ඇත්තේ ඉතාමත් අඩු වශයෙන් බවත් ඒවා සොයා ගැනීම පවා අසීරු බවය. වාලම්පුරියක් නිවස තුළ තබා ගැනිම වාසනාව ගෙන එන බව පවසා තිබුණද එය මිථ්‍යාවක් බව වනජීවි නිලධාරීන්ගේ මතයයි.
අත්අඩංගුවට ගත් සැකකරු වනජීවි නිලධාරීන් භාරයේ රඳවාගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්, පුත්තලම වනජීවි සහකාර අධ්යක්ෂ එරන්ද ගමගේ ගේ උපදෙස් මත කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ ඇතුළු නිලධාරින් මෙම වැටලීමට එක්ව සිටියහ.
මිහිර විජේසේකර - මාරවිල සමූහ