ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, සේරුනුවර පොලිස් වසමේ තංගනගර්හි පදිංචිව සිටි නඩේෂ් කුමාර් විනෝදනී රූමත් කතකි. ඇය විදෙස්ගතව සිට නැවත මෙරට පැමිණෙන්නේ ඉකුත් මැයි මස 13 වැනිදාය. මව සමඟ ජීවත්වූ විනෝදනී පසුගිය මැයි මස 17 වැනිදා සිට ආගිය අතක් නැති විය.
එහෙත් ඇගේ අතුරුදන් වීම පිළිබඳව සේරුනුවර පොලිසියට පැමිණිල්ලක්ද නොලැබිණි. කෙසේ හෝ විනෝදනී පිළිබඳව තොරතුරක් ලැබුණේ මුතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සෝමනුවරටය. ඒ ඔස්සේ පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ පුළුල් විමර්ශනයෙන් අනතුරුව මාස එකහමාරක පමණ කාලයක් අතුරුදන්ව සිටි විනෝදනීට සිදු වූයේ කුමක් ද යන්න මේ වන විට අනාවරණය වී අවසානය.
ආදර අන්දරයක් නිසා සිය ජීවිතයෙන් වන්දි ගෙවූ විනෝදනීට අත්වූ ඉරණම මුතූර් පොලිස් පොතේ සටහන් වන්නේ මෙසේ ය.
ඉකුත් ජූලි 01 වැනිදා මුතූර් පොලිස් වසමේ කිලිවෙඩ්ඩි ග්‍රාමයේ පුද්ගලයකුගෙන් මුතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සෝමනුවරට තොරතුරක් ලැබිණි.
“සර්… පහුගිය දවසක මේ පැත්තේ මර්ඩර් එකක් වෙලා තියෙනවා… ලව් සීන් එකකට තරුණ ගෑනු ළමයෙක් මරලා… පස්සේ ඒ ළමයගේ බොඩි එක ළිඳකට දාලා පස් දාලා වහලා කියලයි ආරංචිය යන්නෙ සර්…“ යැයි පැවැසු එම තොරතුරුකරු වැඩිදුරටත් හෙළි කළේ එලෙස ඝාතනය කළ තරුණියගේ නම් ගම් ඇතුළු විස්තර සහ ඇය ඝාතනයකර වළ දමා ඇති ස්ථානය ගැනය.
අනතුරුව පොලිස් ස්ථානාධිපති ඉන්දික සෝමනුවර විසින් ඒ පිළිබඳව ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයෝ ද දැනුම්වත් කළහ. ඒ සමඟම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ද උපදෙස් මත මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව විමර්ශනයක් ඇරැඹීම සඳහා පොලිස් කණ්ඩායමක් සමඟ තොරතුරුකරු කී ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කරන ලදි.
අතුරුදන්ව සිටි එම තරුණිය නඩේෂ් කුමාර් විනෝදනීය. ඇය 26 හැවිරිදිය. රූමත් තරුණියක වන ඇය කලක් මැදපෙරදිග රැකියාවේ නිරතව ඉකුත් මැයි මස 13 වැනිදා ලංකාවට පැමිණ සිටියාය.
තොරතුරුකරුගේ හෝඩුවාව අනුව ක්‍රියාත්මක වූ මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා විනෝදනීගේ මව වන 181/2, තංගනගර්, කිලිවෙඩ්ඩි, සේරුනුවර ලිපිනයේ පදිංචි 43 හැවිරිදි කරුණාසලම් ශෂිකලාගෙන් ප්‍රකාශයක් ලබා ගත්තේය.
“සර්… මගේ දුව රට ඉඳලා ආවේ මැයි 13 වැනිදා…. එයා අන්තිමටම මැයි 17 වැනිදා තමයි ගෙදරින් ගියේ… සැරින් සැරේ කතා කළා… අන්තිමටම දුව මට කතා කළේ මැයි 31 වැනිදා සර්… මගේ දුවට උදයකුමාර් එක්ක සම්බන්ධයක් තිබුණා… උදයකුමාර් ගැනත් ආරංචියක් නෑ… අනේ සර් මගේ දුවට මොකක් වුණාද දන්නේ නෑ…“ යැයි ඇය කඳුළු සලමින් පොලිස් ස්ථානාධිපතිවරයාට පැවැසුවාය.
“දුව ගැන මැයි 31 වැනිදා ඉඳන් කිසිම ආරංචියක් නැතුව හිටියනම්… පොලිසියට පැමිණිල්ලක් නොකළේ ඇයි…“ දැයි පොලිස් ස්ථානාධිපතිවරයා විනෝදනිගේ මව ශෂිකලාගෙන් ප්‍රශ්න කළේය.
එහෙත් ඇය ඒ ගැන කිසිවක් නොකීවාය. ඇය පැවැසුවේ විනෝදනී ආදර සබඳතාවක් පවත්වාගෙන ගිය උදයකුමාර් පසුගිය ජූනි 13 වැනිදා තමාට දුරකතන ඇමතුමක් දුන් බවය. කෙසේ හෝ ඇය එම තොරතුර ද සිතේ තබාගෙන සිටිය ද පොලිසියට තම දියණිය ආගිය අතක් නොමැති බව කියා පැමිණිලි කළේ නැත.
මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ඇගෙන් ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසු ඇය තම පොලිස් වසම වන සේරුනුවර පොලිසියට ගොස් තම දියණිය ඉකුත් මැයි 31 වැනිදා සිට ආගිය අතක් නොමැති යැයි සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය. ඒ පසුගිය ජූලි 01 වැනිදාය. හරියටම සිය දියණිය විනෝදනී නිවසෙන් ගොස් මාස එකහමාරකට පමණ පසුවය.
අනතුරුව මුතූර් පොලිසියේ නිලධාරි කණ්ඩායමක් විනෝදනීගේ පෙම්වතා යැයි සඳහන් වූ උදයකුමාර්ගේ නිවෙසේ සෝදිසියක් කළද උදයකුමාර් සහ ඔහුගේ පියා ද එහි නොවීය. එලෙස විනෝදනීගේ අතුරුදන් වීම පිළිබඳව පොලිසිය විමර්ශනයක් කරද්දී ඇගේ අතුරුදන් වීම ගැන මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකොට ඇගේ පෙම්වතා වන උදයකුමාර් සහ ඔහුගේ පියාට එරෙහිව අධිකරණ නියෝගයක් ගත්තේ එම දෙදෙනාටම රටින් පිටවී යාමට නොහැකි ලෙසය. මුතූර් පොලිසිය එලෙස එම දෙදෙනාට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගත්තේ ඉකුත් ජූලි මස 3 වැනිදාය.
ඒ අතරේ විනෝදනීට සිදුවූ අපරාධය සියැසින් දුටුවකුගෙන් තොරතුරක් ලැබුණේ සාම්පූර් පොලිසියේ බුද්ධි නිලධාරියකුටය. ලද එම තොරතුර පිළිබඳව එම බුද්ධි නිලධාරියා ක්ෂණයෙන් දැනුම් දුන්නේ මුතූර් පොලිස් ස්ථානාධිපති ඉන්දික සෝමනුවරටය. ඒ අනුව මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ක්ෂණයෙන් පොලිස් කණ්ඩායමක් යවා එම පුද්ගලයා මුතූර් පොලිසියට රැගෙන ආවේය. ඔහු 39 හැවිරිදි පලනිවේල් ඉරාම ජෙයාය. ජෙයා, උදයකුමාර්ගේ නිවෙසේ සේවයට පැමිණ සිටි අයෙකි.
“විනෝදනීගේ අතුරුදන් වීම ගැන තමුන් මොනවද දන්නේ…?“ යැයි පවසමින් මුතූර් පොලිස් ස්ථානාධිපති ඉන්දික සෝමනුවර ඉරාම ජෙයාගෙන් ප්‍රශ්න කළේය.
“සර්… මම මේ සිද්ධිය දන්නවා… මට මේ හැම දෙයක්ම කිව්වේ විනෝදනී යාළු වෙලා හිටිය උදයකුමාර්…. උදය මට කිව්වා එයා විනෝදනී මැරුවා කියලා… පස්සේ විනෝදනීගේ බොඩි එක කිරිවෙඩ්ඩිවල තියෙන පාළු ළිඳකට දාලා වැහුවා කියලත් උදයකුමාර් මට කිව්වා සර්….“ යැයි ඉරාම ජෙයා පොලිසියට ‘නියම‘ හෝඩුවාවක් දුන්නේය.
“කවද්ද ඒ අපරාදේ කරලා තියෙන්නේ…?“ යැයි පොලිස් නිලධාරීන් ජෙයාගෙන් තව තවත් ප්‍රශ්න කළේය.
“දින වකවානුනම් මිනිහා මට හරියටම කිව්වේ නෑ සර්… හැබැයි මීට මාසෙකට විතර කලින් තමයි මේ මිනීමැරුම වෙලා තියෙන්නේ…“ යැයි ඉරාම ජෙයා පොලිස් ස්ථානාධිපතිවරයාට පැවැසීය.
මුතූර් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායම ඉරාම ජෙයා කී ස්ථානයට ගොස් විමර්ශනවල නිරත වන්නේ ඉන් අනතුරුවය. එම ස්ථානය මුතූර් ප්‍රාදේශීය සභාවට අයත් උප ඒකකයක අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකි. එම ස්ථානයේ අපද්‍රව්‍ය බැහැර කිරීමට යොදාගන්නා ගරා වැටුණු සහ අත්හැර දමන ලද ළිඳක්ද පිහිටියේය. ඉරාම ජෙයා පොලිසියට කීවේ මරා දමන ලද විනෝදනීගේ සිරුර එම ළිඳට දමා පස්වලින් වසා ඇති බවය. ඊට අමතරව විනෝදනී පසුගිය දින කීපයේ නිවසින් බැහැරව සිටියදී අඳින ලද ඇඳුම් කීපයද උදයකුමාර් විසින් එම ළිඳට දමා ඇති බවත් ඉරාම ජෙයා පොලිසියට හෙළි කළේය.
ලද එම තොරතුරට අනුව මුතූර් ප්‍රාදේශීය සභාවට අයත් කිලිවෙඩ්ඩිහි පිහිටි එම උප ඒකකයේ අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයේ පිහිටි එම ළිඳ ගැන මුතූර් පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කළේ අතුරුදන් බවට වාර්තා වූ විනෝදනීගේ සිරුර එම ළිඳට දමා පස් දමා වසා තිබෙන බවට තොරතුරක් ලැබුණ බව සඳහන් කරමිනි. ඒ අනුව මුතූර් පොලිසියට එම ළිඳ හාරා පරීක්ෂා කිරීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
ඒ අනුව ඉකුත් ජූලි 5 වැනිදා පොලිසිය එම ළිඳ හැරීම සිදු කරන ලදි. බැකෝ යන්ත්‍රයක් යොදා එම ළිඳ හාරද්දී මුලින්ම එම ළිඳට දමා තිබූ විනෝදනීගේ ඇඳුම් හමු විය. එම ඇඳුම් ද විනෝදනීගේ මව ඇතුළු පවුලේ අය හඳුනා ගත්තේ ඒවා තම දියණියට අයත් ඇඳුම් බව සනාථ කරමිනි.
වැඩිදුරටත් ළිඳ හාරද්දී එහි තිබී විනෝදනීගේ නරක්වූ මළ සිරුර හමුවීමත් සමඟ සිරුර ඇගේ මව විසින් හඳුනා ගත්තේ විනෝදනීගේ වම් අතේ වැළමිටේ පිහිටි පච්චයක් මාර්ගයෙනි.
අනතුරුව මුතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සෝමනුවරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එල්.බී.එන්. රූපසිංහ ඇතුළු කණ්ඩායම ද එක්ව විනෝදනී ඝාතනයට සැක පුද්ගලයන් සොයා විමර්ශන ඇරැඹීය. එහිදී අනාවරණය වූයේ විනෝදනී ඝාතනය කර තිබුණේ ඇගේ පෙම්වතා වූ උදයකුමාර් විසින් බවය. ඒ වන විට උදයකුමාර් නිවසින් පලා ගොස් සිටියේය. අනතුරුව පොලිස් නිලධාරින් ජූලි 5 වැනිදා විනෝදනීගේ මළ සිරුර ගොඩ ගත් දිනම අත්අඩංගුවට ගැනුණේ විනෝදනීගේ මළ සිරුර ළිඳට දැමීමට සහාය දුන් උදයකුමාර්ගේ නිවෙසේ ‘වැඩ‘ කළ අයකු වන ඉරාම ජෙයා සහ විනෝදනීගේ සිරුර ළිඳට දමා වැසීමට යොදාගත් බැකෝ යන්ත්‍රයේ රියැදුරු අත්අඩංගුවට ගන්නා ලදි. පසුව උදයකුමාර්ට බැකෝ යන්ත්‍රය සොයා දුන් තැනැත්තා ද අත්අඩංගුවට ගැනිණි.
උදයකුමාර් පලා ගොස් සිටි හෙයින් එම අපරාධයට අනුබල දීම හේතුවෙන් ඔහුගේ පියා, වැඩිමල් සහෝදරිය සහ බාප්පා ද අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට ගත් උදයකුමාර්ගේ සහෝදරිය සමෘද්ධි නිලධාරිනියකි. සිය සහෝදරයා ගැන ඇයගෙන් ප්‍රශ්න කරද්දී ඇය කීවේ අමුතුම කතාවකි. “සර් මල්ලි… කටාර්වල ඉන්නේ… එයා මේ මුකුත් දන්නේ නෑ සර්…“ යැයි ඕ පැවැසුවාය. ඇය පවසන්නේ බොරුවක් බව ඒ වන විටත් පොලිසියට ඒත්තු ගොස් තිබිණි.
පොලිසිය ඇගේ එම ප්‍රකාශය ගැන එතරම් තැකීමක් නොකරමින් උදයකුමාර් සොයා විමර්ශන සිදු කළේ දුරකතන විශ්ලේෂණ වාර්තා ද රැගෙන පරීක්ෂා කරමිනි. ඒ අතරේ පොලිසිය උදයකුමාර් විදෙස් රටකට පැන ගියාද නැද්ද යන්න දැනගැනීමේ අටියෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ද පරීක්ෂාවක් කළේය. එහිදී අනාවරණය වූයේ උදයකුමාර් විදෙස්ගත වී නැති බවය.
ඒ අතරේ විමර්ශන නිලධාරින්ට වාර්තා වූයේ පොලිස් විමර්ශන දිගින් දිගටම සිදුවන හෙයින් උදයකුමාර්ට තවදුරටත් සැඟවී සිටිය නොහැකි හෙයින් පොලිසියට බාරවීමට සූදානමක් ඇති බවය. කෙසේ හෝ පොලිසිය උදයකුමාර් සැඟවී සිටි ස්ථානය අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට සමත් වූයේ මුතූර් නගරයේ සිටියදීය. ඒ පසුගිය ජූලි 7 වැනිදාය.
25 හැවිරිදි උදයකුමාර් විෂ්ණුකාන්ත්ගෙන් විනෝදනී ඝාතනය ගැන ප්‍රශ්න කරද්දී බොහෝ තොරතුරු හෙළි විය. උදයකුමාර් අධිකරණයට ඉදිරිපත් කොට පැය 48ක රැඳවුම් නියෝගයක් ගෙන වැඩිදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කරන ලදි. එහිදී ද ඔහු කිසිවක් නොපැවසුවද දෙවැනි දින පොලිසියෙන් ගැලවීමක් නොමැති වග දත් හෙයින්, “සර්… විනෝදනීට ඒ දේ කළේ මම…“ යැයි කීවේය.
“ඇයි තමුන් මේ වගේ සහගහන අපරාධයක් කළේ…?“ යැයි පොලිස් නිලධාරින් උදයකුමාර්ගෙන් ප්‍රශ්න කිරීමත් සමඟ තමන් විනෝදනීට කළ අපරාධය සහ ඇය සමඟ ගත කළ දිවිය ගැනද පොලිසියට පැවැසීය. ඒ අනුව හෙළිවන්නේ මෙවැන්නකි.
නඩේෂ් කුමාර් විනෝදනී සේරුනුවර, තංගනගර්හි පදිංචිකාරියකි. ඇගේ පියා, ඇය සහ මවගෙන් වෙන්ව සිටී. විනෝදනී මව සමඟ ජීවත් වූවාය. මීට කලෙකට පෙරදී විනෝදනී විදෙස්ගත වූයේ රැකියාවක් සඳහාය. ඉකුත් මැයි මස 13 වැනිදා ඇය මෙරට පැමිණියාය. විනෝදනී, උදයකුමාර් සමඟ ආදරයෙන් වෙළී සිටියාය. විනෝදනී ඉකුත් දිනෙක නිවසින් පිටවී උදයකුමාර් සමඟ වවුනියාවේ සිටි උදයකුමාර්ගේ මිතුරෙකුගේ නිවසකට ගොස් එහි දින කීපයක් ගත කළාය.
එම නිවසේ දින කීපයක් සිටියදී විනෝදනී කීවේ, “මට නම් දැන් මෙහේ ඉඳලා ඇතිවෙලා… අපි මුතූර් යමු…“ යැයි කියායි.
ඒ අනුව ඉකුත් මැයි මස 31 වැනිදා දෙදෙනා වවුනියාවෙන් පිටත්වී මුතූර් බලා පැමිණියේ උදයකුමාර්ගේ යතුරුපැදියෙනි. ඒ එන විට 31 වැනිදා සන්ධ්‍යාවේ මුතූර් පොලිස් වසමේ රාජ්පුලි පාලම හෙවත් ගංගේ පාලම මතදී විනෝදනීගේ ජංගම දුරකතනය නාද වන්නට විය. එම ඇමතුම විනෝදනීට ලැබුණේ තවත් පිරිමියකුගෙනි. ඊට උරණ වූ උදයකුමාර් පාලම මතදීම විනෝදනී සමඟ ගැටුමක් ඇතිකරගත්තේ ඇගේ කම්මුලට ද පහර පිට පහර කීපයක් එල්ල කරමිනි.
අනතුරුව දෙදෙනා එම ස්ථානයේ සිට යතුරුපැදියේ නැඟි කිරිවෙඩ්ඩිහි සොහොන් භූමියක් අසලට පැමිණියෝය. එම ස්ථානයේදී ද දෙදෙනාගේ බහින්බස් වීම නැවත ගැටුමක් දක්වා දුරදිග ගියේය. එහිදී ඒ අසල තිබූ මුගුරක් ගත් උදයකුමාර් හිත්පිත් නැත්තකු විලසින් විනෝදනීගේ හිසට පහර දුන්නේය. ඒ සමඟ විනෝදනී කපා හෙළූ ගසක් මෙන් බිම ඇද වැටුණේ ඇගේ අවසන් හුස්ම පොද ද වාතලයට මුසු කරමිනි.
උදයකුමාර් එසැණින් ඇමතුමක් ගත්තේ ඔහුගේ නිවසේ ‘වැඩට‘ සිටි පුද්ගලයාටය. ඔහු සාම්පූර් බුද්ධි නිලධාරියාට තොරතුරු දුන් ඉරාම ජෙයාය. උදයකුමාර්ගේ ඇමතුමට අනුව ඔහු එම ස්ථානයට පැමිණියේය. අනතුරුව දෙදෙනා එක්ව විනෝදනීගේ මළ සිරුර ඒ අසල තිබූ ළිඳට දැමූහ. එසැණින් දෙදෙනා එම ස්ථානයෙන් පිටව ගියේ ඒ වන විට යතුරුපැදියේ තිබූ විනෝදනීගේ ඇඳුම් බෑගයද රැගෙනය. එදින රාත්‍රියේම නිවසේදී එම බෑගය උදයකුමාර් විසින් ගෝණියකට දමා පසුදා එනම් ජූනි 1 වැනිදා උදයකුමාර් එම ගෝණියද ගෙනැවිත් දැමුවේ විනෝදනීගේ සිරුර දමන ලද ළිඳටමය.
ඉන් පසුව මිතුරෙකු මාර්ගයෙන් බැකෝ යන්ත්‍රයක් සොයාගත් උදයකුමාර් එහි රියැදුරුට උපදෙස් දුන්නේ පස් දමා ළිඳ වසා දමන ලෙසයි. ඒ සියල්ල එලෙස අවසන් කළ උදයකුමාර් මුතූර්වලින් පිටවී වවුනියාවට ගොස් මිතුරකුගේ නිවසේ නවාතැන්ගෙන දින කීපයක්ම එහි ගත කෙළේය.
එහෙත් විමර්ශන නිලධාරින් ඔහු කියන ලෙස වවුනියාවේ සිටියේද නැතිනම් වෙනත් ප්‍රදේශයක සිටියේ ද යන්න දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන සිදු කරමින් සිටී.
මුතූර් මහේස්ත්‍රාත් අධිකරණයේ තස්ලිම් මොහොමඩ් පවුසාඩ් මහේස්ත්රාත්තුමිය වෙත ඉදිරිපත් කළ උදයකුමාර් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රත්වරිය නියෝග කළාය. ඒ අනුව විනෝදනීට මෙකී අපරාධය සිදු කිරීමට හා ඊට ආධාර අනුබල දීමේ චෝදනා මත උදයකුමාර්ට අමතරව ඔහුගේ පියා, වැඩිමල් සහෝදරිය, බාප්පා, නිවසේ වැඩට සිටි ඉරාම ජෙයා, බැකෝ යන්ත්‍ර රියැදුරු සහ බැකෝ යන්ත්‍රය උදයකුමාර්ට සොයා දුන් පුද්ගලයා ඇතුළුව හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
විනෝදනී ඝාතනයට යොදාගත් මුගුර ද උදයකුමාර් විසින් සඟවා තිබියදී විමර්ශන නිලධාරින් විසින් සොයා ගන්නා ලදි. ඊට අමතරව විනෝදනීගේ ජාතික හැඳුනුම්පත ද උදයකුමාර් විසින් ඔහුගේ නිවසේ ළිඳ ආසන්නයේදී පුලුස්සා තිබූ බවද පොලිස් නිලධරයෝ හෙළිකර ගත්හ.
නැඟෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ත්‍රිකුණාමල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික වීරසේකර සහ ත්‍රිකුණාමල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරිවරුන් වන නිශ්ශංක ගොඩමුන්න සහ ….. බස්නායකගේ අධීක්ෂණයෙන් මුතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික සෝමනුවරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එල්.බී.එන්. රූපසිංහ, සැරයන්වරුන් වන 50164 ඉක්බාල්, 57533 බෂිර්, 63330 ලක්මාල්, 36034 රත්නවීර, කොස්තාපල් 93970 ප්‍රියන්ත සහ කොස්තාපල් රියැදුරු 93889 වීරසිංහ යන නිලධාරිහු විමර්ශනවලට එක් වූහ.
අමිල මලවිසූරිය