ත්‍රිරෝද රථ රියදුරන් කපා කොටා කොල්ලකන ගණිකාවක් ඇතුළු තිදෙනාම දැලේ
කපා කොටා දැමූ ත්‍රීරෝද රථ රියැදුරන් දෙදෙනාම අද අසරණයි
වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලිසියෙන්
කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීවීල් රථ නවත්වා ඒවාට ගොඩවී වැල්ලම්පිටිය ප්‍රදේශයේ පාළු ස්ථානවලට රැගෙන ගොස් එම රථවල රියැදුරන් සතු ජංගම දුරකතන සහ මුදල් ද කොල්ලකා පිහියෙන් ඔවුන්ගේ අතපය මුහුණු ආදිය කපා දමා රථයෙන් බිමට ඇද දමා ත්‍රීවීලරය ද පැහැරගෙන යන කල්ලියක් පොලිස් දැලට කොටුකර ගැනීමට වැල්ලම්පිටිය පොලිස් නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය.
පසුගිය සති දෙක ඇතුළත වැල්ලම්පිටිය පොලිස් වසම තුළ මෙලෙස අතපය කපා දමා මුදල්ද කොල්ලකා ත්‍රීවීල් රථ ද පැහැරගෙන ගිය බවට රියැදුරන් දෙදෙනෙකු විසින් වැල්ලම්පිටිය පොලිසිය වෙත පැමිණිලි කර තිබුණි.
එක් සිද්ධියක් වාර්තා වූයේ වැල්ලම්පිටිය, වෙලේවත්ත ප්‍රදේශයෙනි. එම ප්‍රදේශයේ පාළු ස්ථානයක අතපය කපා කොටා මහමඟ දමා ගිය පුද්ගලයෙකු දැක ඇති ප්‍රදේශවාසින් පිරිසක් වහා 1990 ගිලන් රියකට දැනුම්දී ඔහු රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.
බරපතළ තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ එම පුද්ගලයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ඔහු රෝහලේ ඇඳක සිටිද්දීය.
එම ත්‍රිරෝද රථ රියැදුරු පවසන පරිදි තොටළඟ ප්‍රදේශයේදී කාන්තාවක සහ පිරිමි දෙදෙනෙකු කුලී ගමනක් යාම සඳහා ඔහුගේ ත්‍රීවීල් රියට ගොඩවී ඇත්තේ එදින අලුයම 1ත් 2ත් අතරදීය. කොල්ලකරුවෝ වෙලේවත්ත ප්‍රදේශයේ පාළු ස්ථානයක ත්‍රීවීල් රථය නතර කරවාගෙන තිබුණි.
එම අවස්ථාවේ රථය තුළ සිටි හැඩිදැඩි පුද්ගලයා එක්වරම පිහියක් එල්ලකර රියැදුරු සතු ජංගම දුරකතනය සහ ළඟ තිබූ සුළුු මුදලක් ද කොල්ලකා තිබේ. අනතුරුව පිහියෙන් තම අතපය දිගට හරහට කපා දමමින් පාරට ඇද දමා ත්‍රීවීල් රථය ද රැගෙන ඔහු පලා ගිය බවද තමාට සිහිය එන විට රෝහලේ ඇඳක් මත සිටි බවද ත්‍රිරෝද රථ රියැදුරු පොලිසියට පවසා තිබේ.
කොල්ල කල්ලිය එම ත්‍රීවීල් රථයෙන්ම පලා ගොස් රථය කැලණිය දුම්රිය පොළ ආසන්නයේ අතහැර ගොස් තිබියදී පෑලියගොඩ පොලිසියට හමු වී තිබුණි.
ඊළඟ සිද්ධිය වාර්තා වන්නේ කොටිකාවත්ත ටී.සී. පාරේ ජපන් මිත්‍රත්ව පාසල අසලිනි. එම රථයේ රියැදුරා පොලිසියට පවසා ඇත්තේ කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අලුයම 1ට පමණ තම ත්‍රිවීල් රථයට ගොඩවී ටී.සී. පාරේ පාළු තැනක එය බලෙන් නතර කරගෙන තමන් සතුව තිබූ සුළු මුදල ද පැහැරගෙන තමාගේ අතපය කපා දමා තමා රථයෙන් බිමට ඇද දමා ත්‍රිරෝද රථයද රැගෙන පලා ගිය බවකි. තමා සතුව දුරකතනයක් හෝ නොතිබූ බව ද එවෙලෙහි සාක්කුවේ තිබූ රුපියල් එක්දහස් ගණනක මුදල් මේ යුවළ කොල්ලකෑ බවද ඔහු පොලිසියට පවසා තිබුණි. කොල්ලකරුවන් පලා ගිය එම ත්‍රීවීල් රථය තොටළඟ කළු පාලම අසල දමා ගොස් තිබියදී දින දෙකකට පසු පොලිසියට හමුවිය.
වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්තගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉසුරු ශාමික ඇතුළු නිලධාරීන් පිරිසක් මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය.
එලෙස විමර්ශන සිදු කරන අතරේ ත්‍රිරෝද රථ පැහැර ගැනීම් කිහිපයකට සම්බන්ධ කාන්තාවක් සහ පිරිමි අයෙකු කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් පරීක්ෂකවරයාට වාර්තා විය. එම දෙදෙනා වැල්ලම්පිටිය පොලිසියට රැගෙනවිත් දීර්ඝ ලෙස සිදු කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ ඉහත කොල්ලකෑම් දෙක පිළිබඳව හෙළි විය.
ඒ අනුව ඊට සම්බන්ධ අනෙක් පුද්ගලයා ද අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. කොළඹ කොටුව ප්‍රදේශයේදී ද මෙම කල්ලිය විසින් ත්‍රීවීල් රථ හතරක් පැහැරගෙන ගොස් තිබූ බවද හෙළි විය.
මෙම කොල්ල කල්ලියේ ප්‍රධානියා වන හැඩිදැඩි පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු වන අතර බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරදී බව පොලිසිය සඳහන් කරයි.
පිහි පහරින් බරපතළ තුවාල ලද ත්‍රිරෝද රථ රියැදුරන් දෙදෙනා මේ වන විට රෝහලෙන් පිටව නිවෙස්වලට පැමිණ සිටින අතර ඔවුනට සිය දෛනික රාජකාරි කටයුතු පවා සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක පසුවන බව වාර්තා වේ.
වෙලේවත්ත සිද්ධියට සම්බන්ධ රියැදුරුගේ බිරිය පවසා සිටියේ තම සැමියාගේ අත් කැපී මැහුම් දමා තිබෙන අතර එක් අතක නහරයක් බද්ධ කිරීම නිසා අත එසවීමට හෝ නොහැකි බවය. එම සිද්ධිය පිළිබඳව විමසීම්වලදි ඔහු දැඩි කම්පනයකට පත් වන බැවින් ඒ පිළිබඳව කතා නොකිරීමට වග බලා ගන්නා බව ද ඇය පැවැසුවාය.
වැල්ලම්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික කීවේ මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු තොටළඟ ප්‍රදේශයේ නිතර සැරිසරන වීදි ගණිකාවක් සහ තවත් පිරිමි පුද්ගලයෙකු සම්බන්ධ කරගෙන මේ කොල්ලකෑම් සිදුකර ඇති බවයි. කාන්තාව සම්බන්ධ කරගෙන ඇත්තේ රාත්‍රි කාලයේදී හයර් යන මුවාවෙන් ත්‍රීවීල් නවත්වා ගන්නා විට රියැදුරන් හට සැකයක් ඇති නොවීමට බවද විමර්ශනවලින් හෙළිවී ඇති බව ඔහු සඳහන් කළේය. මොවුන් ත්‍රිරෝද රථ කොල්ලකෑම් සිදුකර ඇත්තේ රාත්‍රි 1ත් 2ත් අතර බවද ඔහු සඳහන් කළේය.
“මෙම සිද්ධීන් දෙකේම රියැදුරන් අත තිබී ඇත්තේ ඉතා සුළු මුදලක් බවත් ඒවත් කොල්ල කාලා රියැදුරන් අමානුෂික ලෙස කපා කොටා පාරට ඇදලා දාලා ත්‍රීවීල් පැහැරගෙන යනවා. ඒ ත්‍රීවීල් ද තැන් තැන්වල දාල ගිහින් තිබුණට ඒවායේ එකම කෑල්ලක්වත් ගලවගෙන තිබුණේ නැහැ.” යැයිද පොලිස් පරීක්ෂකවරයා කීවේය.
විමර්ශන සඳහා කොස්තාපල්වරුන් වන රත්නායක (73326), ලහිරු (93881), තුසියන්තන් (59162), බණ්ඩාර (100636), සඳරුවන් (103419) යන නිලධාරීන් සහභාගි වුහ.
මුල්ලේරියාව සිරිසේන ගමගේ