මල පහ කිරීමේ දැඩි අපහසුතාවක් ඇති කරන පීඩාකාරී තත්ත්වය මල බද්ධය ලෙස හැඳින්වෙන අතර, ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී මෙම තත්ත්වය හැඳින්වෙන්නේ ක්‍රෑරකෝෂ්ඨ ලෙසිනි. මෙම රෝග තත්ත්වයේ වත්මන් ශ්‍රී ලංකාවේ සුලභව හමුවන සෞඛ්‍ය ගැටලුවකි. මෙම රෝග තත්ත්වය ශාරීරිකව මෙන්ම මානසිකව ද පුද්ගලයකු පීඩාවට පත් කරනු ලබයි.
සාමාන්‍ය ජීවිතයේදී මල පිටවීමේ රටාව එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. දිනකට තුන්වරක්, දෙවරක්, එක් වරක්, දිනක් හැර දිනක්, සතියකට තුන් වරක් ආදී වශයෙන් මල පිටවීමේ කාල පරාසය පුද්ගලයාගෙන් පුද්ගලයාට අනන්‍ය වූ රටාවක් විය හැකිය. මෙසේ තමන්ට අනන්‍ය මල පිටවීමේ රටාව වෙනස් වී ගොස් මළ පිටකිරීමේ දැඩි අපහසුතාවක් ඇති වීම මල බද්ධය ලෙස සරලව හැඳින්විය හැකිය. මල බද්ධ තත්ත්වයේ දී පිටවන මල දෘඪ හා වියළි ස්වරූපයක් ගනී. එමෙන්ම පිටවන මලවල ප්‍රමාණය ද අල්ප වේ. මල පහ කිරිමේ දී ආයාසයක් දැරීමට සිදු වේ. මල ප්‍රවේශ මාර්ගය අවට වේදනාව ද ඇති වේ. අපහසුවෙන් මල තරමක් පිටවුවත් තරමක් ඉතිරි වූ ආකාරයක් ද දැනේ. මලපහ කිරීමේදී ඇතැමෙක් උදරය අතින් තෙරපීමෙන් ද ගුද මාර්ගය අවට තෙරපීමෙන් ද එසේත් නැතිනම් මල ප්‍රවේශ මාර්ගය වෙත ඇඟිල්ලක් යොමු කර මල ඉවත් කිරීමෙන් ද මල පහ කිරීමට පහසුවක් ඇති කරගැනීමට උත්සාහ කරයි. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව වයස් භේදයකින් තොරව මල බද්ධය ඇති විය හැකිය. ඒ අතුරින් මෙය වයස්ගත පුද්ගලයන් තුළ බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. වයස්ගත පුද්ගලයන් අතරින් සියයට 16ක් පමණ මල බද්ධයෙන් පීඩා විඳින බව වාර්තා වී තිබේ.
ඝර්ම කාලාපීය රටවල සහ වියළි දේශගුණ තත්ත්වයන් සහිත පරිසරවල ජීවත්වන පුද්ගලයන්ට මල බද්ධය ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය. ඕනෑම වයසක පසුවන කෙනෙකුට තම ජීවිත කාලය තුළදී ඉඳහිට හෝ මල බද්ධතාවක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.
එවැනි අයට විශේෂ ප්‍රතිකාර අවශ්‍ය නැත. ආහාරපාන හැඩගස්වා ගැනීමෙන් එම තත්ත්වයන් පාලනය කර ගත හැකිය. නමුත් මල බද්ධය නිසා ගත සිත දෙකම නොසන්සුන් තත්ත්වයකට පත්ව එදිනෙදා කටයුතු කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇතිනම් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
අප මුඛයෙන් ගන්නා ආහාරයන් ජිර්ණ ක්‍රියාවලියේදී අමාශය, ග්‍රහණිය, කුඩා අන්ත්‍රය ඔස්සේ ගමන්කර මහා අන්ත්‍රය වෙත පැමිණේ. ආහාර ජීර්ණ ක්‍රියාවලියේ අවසන් කාර්යයන් සිදුවන්නේ මහා අන්ත්‍රයේදීය. ආහාර ජීර්ණ වීමෙන් පසු ශේෂ වූ තරල ස්වරූපයෙන් ඇති මල කොටසේ ජලය නැවත ශරීරයට අවශෝෂණය වී මෘදු කෙඳි ස්වභාවයකට පැමණ ගුද මාර්ගය වෙත පැමිණේ. එම අවස්ථාවේ දී ස්නායුමය ප්‍රතික්‍රියා මඟින් මළ පිටවීමේ ප්‍රතික්‍රියා දනවයි. ඒම තත්ත්වය මල වේග ලෙස ආයුර්වේදයේදී පෙන්වා දී ඇත.
තමන්ටම අනන්‍ය වූ රටාවකට අනුව මල පහ කරන පුද්ගලයකුට මෙම මල වේග ඇතිවූ අවස්ථාවකදී අපහසුවකින් තොරව මල පිට කළ හැකිය. එම පුරුදු රටාව වෙනස් වී මල දෘඩ හා වියළි තත්ත්වයකට පත් වී අපහසුවෙන් මළ පිටකිරීමට සිදුවහොත් එය මල බද්ධ තත්ත්වය ලෙස සැලකිය යුතුය. නිතර නිතර මල බද්ධය ඇතිවී කලක් ගතවනවිට මානසික නොසන්සුන් බව, නොරිස්සුම් බව, තරහව, හිසරදය, බඩ පුරවා දැමීම, ආහාර අරුචිය, ඔක්කාරය, වමනය, මුඛයේ දුඟද බව නින්ද නොයෑම, සමේ දුර්වර්ණය, සම කැසීම, තුනටියේ වේදනාව, උදරයේ වේදනාව, උදරයේ බර බව ඇති වේ.
මළබද්ධය දිගුකලක් පවතින විට එම ලක්ෂණවලට අමතරව ගුද මාර්ගය තුවාල වීම, අර්ශස් රෝගය, බගන්ධරා රෝගය, ගුදබ්‍රංශය, ( ගුද මඟ පහත්වීම) යන සංකූලතා ද ඇති විය හැකිය.
මල බද්ධයට හේතු
මහා බඩවැලේ පිළිකා අර්බුද හෝ සිහින් වීම නිසා ඇතිවන අවහිරතා, බඩවැල්වලට සහ ගුද මඟට සැපයෙන ස්නායු ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්, මහා බඩවැලේ ශ්‍රෝණි ප්‍රදේශයේ දුර්වලතා, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථයේ ක්‍රියාකාරිත්වය හීන වීම, ගර්භණී භාවය වැනි අවස්ථාවලදී ඇතිවන හෝමෝන වෙනස්කම් මල බද්ධය ඇතිවීමට හේතු වේ. විජලනය ද මල බද්ධයට හේතු විය හැකිය.
කෝපි, චොක්ලට්, පෙර සැකසූ ආහාර,සෝස් වර්ග, අච්චාරු, චට්නි, කෘත්‍රිම රස කාරක වර්ණකාරක යෙදූ ආහාර, තීෂ්ණ උෂ්ණ කටුක ආහාර, නිතර පරිභෝජනයෙන් ද මල වේග නිතර නිතර දරා සිටීමෙන් ද මල බද්ධය ඇති වේ. එමෙන්ම පක්ෂඝාතය, ගෘධ්‍රසි කඨිශූල ආදී වාත රෝග නිසා ද මල බද්ධය ඇති වේ.
ආයුර්වේදයේ පෙන්වා දෙන අන්දමට ශ්‍රෝණි ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වන අපාන වාත ශක්තිය ලෙස හැඳින්වේ. මල මුත්‍ර බැහැර කිරීම දරු ප්‍රසූතිය, ආදිය අපාන වාතයේ ක්‍රියාවන්ය. වාත කෝප කරන හේතු නිසා අපාන වාතය කෝප වීමෙන් එහි ඇති රූක්ෂ සහ ඛර ගුණයන් නිසා මල සහ ගුද මඟ වියළවා මල බද්ධය ඇති කරයි.
වළක්වා ගැනීම
දිනපතා ජලය සහ දියර වර්ග පානය කිරීම, පෙර සැකසූ අහාර සහ තන්තු රහිත ආහාර අත්හැරීම, තන්තු සහිත නිවුඩ්ඩ සහිත බත්, ධාන්‍ය වර්ග, එළවළු, පලා වර්ග, පලතුරු පරිභෝජනයට පුරුදු වීම, වයසට හා සෞඛ්‍ය තත්ත්වයට ගැළපෙන ව්‍යායාම කිරීම, දෛනික ජීවන පැවැත්ම තුළ ක්‍රියාශීලී වීම, ඒකාකාරී කාල රටාවකට අනුව මල පහ කිරීමේ පුරුද්දක් ඇති කර ගැනීම යන උපදෙස් පිළිපැදීමෙන් මල බද්ධය වළක්වාගත හැකිය.
ඉදුණු බෙලි, කටු අනෝදා, මුරුංගා කොළ, කතුරුමුරුංගා කොළ, කොහිල අල, කොහිල දලු, වැල් කොහිල දළු, කොළ කැඳ වර්ග නිතර මල බද්ධයෙන් පෙළෙන අයට ඉතා ගුණදායකය. කොහිල අල, ගොටුකොළ, රතු ලූනු එකට කොටා මිරිකාගත් යුෂයෙන් කැඳ පිස පානය කිරීම විශේෂයෙන්ම ගුණදායකය.
ඉහත උපදෙස් මත මල බද්ධය පාලනය කරගත නොහැකි අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබා ගත යුතු වේ. ආයුර්වේදයේ සහ දේශීය වෛද්‍ය ක්‍රමයෙහි මේ සඳහා ගුලි, කල්ක, චූර්ණ මෝදක, තෛල, කසාය ආදී වශයෙන් ඖෂධ වර්ග රාශියක් පෙන්වා දී ඇත. එහෙත් වෛද්‍ය උපදේශයකින් තොරව ඒවා භාවිතයට ගැනීම නොකළ යුතු බව ද සැලකිල්ලට ගතයුතුය.