Home » ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 දා

by Mahesh Lakehouse
July 27, 2024 12:40 am 0 comment

– නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වැනිදා පෙරවරු 9 සිට 11 දක්වා
– විරෝධතා දැක්වීමත් එදිනම අවසන්

නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වෙන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු මස 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවේදී සිදු කෙරෙන බව එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

නාමයෝජනා භාර දීමට පෙර සෑම අපේක්ෂකයකු විසින්ම ඇප මුදල් තැන්පත් කිරීම අනිවාර්ය අතර පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 50,000ක් සහ සෙසු අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප වශයෙන් තැන්පත් කළ යුතුය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ ඉකුත් ජූලි 26 වැනිදා ඇප මුදල් භාර ගැනීම ආරම්භ වූ අතර, එය අගෝස්තු 13 වැනිදා දක්වා කාර්යාල දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරේ. ඇප මුදල් භාර ගැනීම අගෝස්තු මස 14 වැනිදා දහවල් 12.00ට අවසන් වේ.

ඇප මුදල් භාර දීමේදී පිළිගත් දේශපාලන පක්ෂවල අපේක්ෂකයන් හැර සෙසු අපේක්ෂකයන් ව්‍යවස්ථාදායකය විසින් තෝරා පත්කර ගනු ලැබූ මන්ත්‍රීවරයකු බව හෝ මන්ත්‍රීවරයකුව සිටි බවට පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාගේ අත්සන සහිත සහතිකයක් මඟින් සනාථ කිරීම අනිවාර්ය වේ.

භාර දුන් නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට අගෝස්තු 15 වැනිදා පෙරවරු 9.00 සිට පෙරවරු 11.30 දක්වා කාලසීමාව වෙන්කර ඇති අතර, ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන්ට හෝ ප්‍රතිවිරුද්ධ අපේක්ෂකයන්ගේ නාමයෝජනා අත්සන් කළ තැනැත්තන්ට එම විරෝධතා ඉදිරිපත් කළ හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනතට අදාළ මැතිවරණ නීති රීති 26දා සිටම ක්‍රියාත්මක අතර, මැතිවරණ කොමිෂන් සභාව මඟින් නිකුත් කරන නියෝග උපමාන ඉදිරියේදී ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක වැඩිදුරටත් පැවසීය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division