සේවයේ නියුතුව සිටින පොලිස්පතිවරයකු එකී ධුරයෙහි කටයුතු කිරීම අත්හිටුවන අතුරු නියෝගයක් ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ ප්‍රථම වරට පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ. ඒ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් එම තනතුරට පත් කිරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් නමයක් විභාගයට ගැනීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව අවසර දෙමිනි.
පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් අනතුරුව එවකට බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදි. එකී පත්වීම අභියෝගයට ලක් කරමින් පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණේ අරගල සමයේදී අරගලකරුවන්ට පහර දීම, පාස්කු ප්‍රහාර සිද්ධියේදී රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි කරමිනි.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට අදාළව සැකකරුවකු ලෙස නම් කර සිටි දේශබන්දු තෙන්නකෝන් පොලිස් සේවයේ ඉහළම ධුරයෙහි වැඩ බැලීමට පත් කිරීමට එරෙහි කරුණු ද එම පෙත්සම් මඟින් ඉදිරිපත් කර තිබුණි. මේ අතර 2010 වසරේ දී එවකට නුගේගොඩ ප්‍රදේශය භාරව සිටි පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තමන්ට අමානුෂික ලෙස පහර දී හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදා සෙබළෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් 2023 දෙසැම්බර් මස 14 වැනිදා ප්‍රකාශයට පත් කෙරිණ.
ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කළ එම තීන්දුව මඟින් එම පහර දීමේ සිද්ධිය හේතුවෙන් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලදි.
පෙත්සම්කරු සුසාන භූමියකට ගෙන යාමෙන් අනතුරුව එම ස්ථානයට එම අවස්ථාවේදී පැමිණි පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී ඇති අතර, පෙත්සම්කරු නිරුවත් කර බාම් වර්ගයක් ගල්වන ලෙස අණ කර ඇති ආකාරය පෙත්සම් විභාගයේදී අනාවරණ වූ බව නඩු තීන්දුවෙහි සඳහන් විය.
එම පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවාගෙන අමානුෂික වදහිංසාවලට ලක් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැඟින් වන වන්දි සිය පෞද්ගලික මුදලින් එම පුද්ගලයා වෙත ගෙවන ලෙස එම තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාව වන විට වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනකුට සහ සිවිල් පුද්ගලයකුට එම තීන්දුව මඟින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ලදි.
එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙසද නියම කෙරිණ. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන “තරු” හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු අතර ඒවා බලය පෙන්වන ආභරණ නොවන බව නඩු තීන්දුව මඟින් අවධාරණය කළේය.
වැඩ බලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට එරෙහි පෙත්සම් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන් ඉහත නඩු තීන්දුව සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ. පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම නිර්දේශ කර තිබුණි. එකී නිර්දේශය අනුව එම පත්කිරීම ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් සිවු දෙනකු කටයුතු කළ අතර දෙදෙනකු විසින් එම නාමයෝජනා ව අනුමත කරන ලදි. එකී ඡන්ද විමසීම පවත්වන අවස්ථාවේදී සාමාජිකයෝ දෙදෙනෙක් එම අවස්ථාවට පැමිණ නොසිටියහ. එම නොපැමිණි සාමාජිකයන් එම නාමයෝජනාව සඳහා පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ බවට තීරණය කිරීමට කථානායකවරයා කටයුතු කළේය.
එවැනි තනතුරු සඳහා ඡන්ද විමසීමක් සිදුකරන අවස්ථාවක පක්ෂව සහ විපක්ෂව සමාන ඡන්ද ලැබුණු අවස්ථාවකදී තීරක ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් කථානායකවරයා වෙත ලබා දී තිබේ. ඒ අනුව නොපැමිණි සාමාජිකයන් දෙදෙනාද ඇතුළුව අදාළ නාමයෝජනාව සඳහා ප්‍රකාශිත පක්ෂ සහ විපක්ෂ ඡන්ද සංඛ්‍යාව සමාන ලෙස සැලකූ කථානායකවරයා සිය තීරක ඡන්දය පාවිච්චි කරමින් එකී නාමයෝජනාවට පක්ෂ බව ප්‍රකාශ කළේය. ඒ අනුව අදාළ නාමයෝජනාව සම්මත වූ අතර පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කරන ලදි.
එකී පත්වීම අභියෝගයට ලක් කරමින් අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර ,නිරෝෂන් පාදුක්ක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංගමය ඇතුළු පාර්ශ්ව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් නමයක් ඉදිරිපත් කළේ ඒ අතරවාරයේදීය. එම පෙත්සම් සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකිරීම හේතුවෙන් දේශබන්දු තෙන්නකෝන් එම තනතුරට පත් කිරීමට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කාර පාර්ශ්ව කටයුතු කළහ.
ඒ අනුව එකී පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලදි.
එහෙත් ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 09ක් දිගටම පවත්වාගෙන යාමට එහිදී පෙත්සම්කාර පාර්ශ්ව කටයුතු කළහ. ඒ අනුව එකී පෙත්සම් සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දින හයක් පුරා සිදුකරන ලදී.
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, සුරේන් ප්‍රනාන්දු, උපුල් ජයසූරිය ඇතුළු නීතිඥවරුන් ගණනාවක් අධිකරණය හමුවේ
කරුණු දක්වමින් පොලිස්වතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම නීතියට අනුව නිසි පරිදි සිදු කර නොමැති බැවින් ඔහු පොලිස්පතිධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දින දෙකක් පුරා සිය කරුණු දක්වමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදී ම නිෂ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
අනතුරුව ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ කරුණු දැක්වීම් සහ පෙත්සම්කරුවන්ගේ ප්‍රති කරුණු දැක්වීම සිදු කිරීම ඉකුත් 18 වැනිදා සිදු කළ අතර එම කරුණු සලකා බැලීම් සාමාන්‍ය රාජකාරි කාලසීමාව ඉක්මවා යමින් එදින රාත්‍රියේ නමයයි දහය පමණ වන තෙක් සිදු කරන ලදි. අනතුරුව පෙත්සම් විභාගයට අවසර දෙනවාද නැද්ද යන්න සහ පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරුතහනම් නියෝගය නිකුත් කරනව ද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අදාළ තීන්දුව ඉකුත් 24 වැනිදා පෙරවරු 9.30ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර එම අවස්ථාව දැක ගැනීම සඳහා පැමිණි නීතීඥ ප්‍රජාව, නීති සිසුන් ඇතුළු පිරිස හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ 403 අධිකරණ ශාලාව අතුරු සිදුරු නොමැතිව පිරී තිබුණි. අදාළ පෙත්සම් සම්බන්ධයෙන් වන කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් යුතු ඒකමතික නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් එහිදී විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරන ලදි. එහිදී අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලදි. පොලිස්පති ධුරය දැරීම, පොලිස්පති ධුරයේ කටයුතු කිරීම සහ එම ධුරයට අදාළ බලතල භාවිත කිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් එහිදී නිකුත් කෙරිණි.
මෙම අතුරු තහනම් නියෝගය බලපවත්වන කාලසීමාව තුළදී පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා නීතියට අනුව සුදුසු නිලධාරියකු නම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නියම කරන ලදි. මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කර තීන්දුවක් ප්‍රකාශ කරන තෙක් මෙම අතුරු තහනම් නියෝගය
බල පැවැත්වෙන බවද ප්‍රකාශ කෙරිණි. වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප්‍රබල නඩු නිමිත්තක් ඇති බවට කරුණු ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය සමත් වී ඇති බවට විනිසුරු මඬුල්ල තීරණය කරන බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා එහිදී සඳහන් කළේය. පොලිස්පති ධුරය දැරීම, එහි කටයුතු කිරීම සහ එම ධුරයට අදාළ බලතල භාවිතා කිරීමෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවද එය පෙත්සම් විභාගය අවසන් වන තෙක් ක්‍රියාත්මක කිරීමටද විනිසුරු මඬුල්ල ඒකමතිකව නියෝග කරන බවද එහිදී ප්‍රකාශ කරන ලදි. දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය අවසන් නියෝගයක් නොවන අතර තාවකාලික නියෝගයක් පමණි.
පෙත්සම් විභාගය අවසානයේ දී දෙනු ලබන තීන්දුවක් මඟින් එම අතුරු තහනම් නියෝගය විසුරුවා හැරීමට හෝ නව නියෝග නිකුත් කිරීමට නීතිමය අවකාශ තිබේ.
නෙල්කා මැදගෙදර