ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලැබූ ‘මහ පොළොව’ ටෙලි නිර්මාණයේ සංගීත සංයෝජනය ඔහුගේය. ඉන්දියානු කලාපීය සංහිඳියාව ශක්තිමත් කිරිම උදෙසා භාරතීය ප්‍රවීණ ගායක හරීහරන් උදෙසා නිර්මාණය කළ ‘සංජීවනී ලේ ආර් රේ’ හින්දි – සිංහල ගීතය ඔහුගේ දක්ෂතාව තව තවත් තහවුරු කළේය. සංගීතයේ ඇති සෞන්දර්යාත්මක ගණිත ක්‍රමය උපයෝගී කර ගනිමින් ශ්‍රී ලාංකේය සංගීත කලාව වෙනස්ම මානයකට ගෙන ගිය ඔහු දෙස් විදෙස් සම්මානලාභී ප්‍රවීණ සංගීතඥ දර්ශන රුවන් දිසානායකය. මේ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කළ කතාබහකි.
‘වියළි’ කියන්නෙ ඔබේ අලුත්ම නිර්මාණය. ‘වියළි’ තේමා ගීතය ටෙලි නාට්‍යය විකාශයටත් පෙර ජනගත වුණා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මමයි කිව්වෙ අපි කලින් ගීතය රිලීස් කරමු කියලා. මට ලොකු විශ්වාසයක් තිබුණා ගීතය ජනතාව අතරට යාවි කියලා. කිව්වත් වගේම නොසිතූ විදිහට ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ටෙලි නාට්‍ය විකාශය වෙද්දි තේමා ගීතය හරහා ඒ වන විටත් ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වෙලා තිබුණා.
ඔබ දැන් ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ යෙදෙනවා අඩුයි. ‘වියළි’ භාර ගන්න විශේෂ හේතුවක් තිබුණද?
සෑහෙන කාලෙකින් මට දෙයක් කරන්න තිබුණෙ සුමිත් රත්නායකගේ ‘මහ පොළොව’ ටෙලි නාට්‍යයේ විතරයි. භාරතීය ප්‍රවීණ ගායක හරීහරන් ඒ ගීතය අගය කරලා ඔහු ළඟ තබාගැනීමම මට ලොකු ගෞරවයක්. ඒ වගේම ‘වියළි’ ටෙලි නිර්මාණය තෝරගන්නත් හේතු දෙකක් තිබුණා. එකක් චන්දන ඉරුගල්බණ්ඩාර කියන්නෙත් මං වගේම අනුරාධපුර වගේ දුෂ්කර පළාතකින් ආපු කෙනෙක්. දෙවැනි කාරණය තමයි වියළිත් අර මහ පොළොව වගේ මගෙන් යමක් ඉල්ලනවා කියල මට දැනුණා. ඕනෑම ටෙලි නිර්මාණයක මුල් කොටස් 15 බලල මට යමක් කරන්න පුළුවන් නම් විතරයි මං ඒක භාර ගන්නෙ. ශාන්තිගෙ කතාව වගේම සමන්තගෙ තිරපිටපතත් මට ලොකු රුකුලක් වුණා. අනිත් විශේෂම කාරණය තමයි චන්දන ජයසිංහගේ කැමරා කෝණය. ඔහු චරිත කියවන විදිහ. ආදරය, ප්‍රේමය වෛරය වගේ හැඟීම්වලදි වචනයෙන්, රූපණයෙන්, දෙබසින්, රඟපෑමෙන් වගේම පරිසරයෙනුත් කළ හැකි දේ උපරිමයටම ගියාට පස්සෙ එතැනින් එහාට කරන්න තියෙන දේ තමයි සාමාන්‍යයෙන් සංගීතඥයා අල්ලගන්නෙ. මං හිතනවා මං ඒක හරියට අල්ලගත්තා කියලා. අනිත් විශේෂම කාරණය තමයි සංගීතය යොදපු විදිහ. මං කිසිම රංගන ශිල්පියෙකුගෙ විශිෂ්ට රංගනයට සංගීතයෙන් බාධා කරන්න ගියේ නෑ. අඩු තැන් වැඩි කරලා වැඩි තැන් අඩු කරලා සම කළා විතරයි. ඒ නිසාම වෙන්න ඇති ටෙලි නාට්‍යය විකාශයටත් කලින් තේමා ගීතය ජනප්‍රිය වුණේ. තේමා ගීතය නිසාම කතාව බලන්න පෙලඹුණා කියන අයත් ඉන්නවා.
‘වියළි’ සඳහා සංගීතය නිර්මාණය කිරීමේත් විශේෂත්වයක් තියෙනවා නේද?
වියළි ටෙලි නිර්මාණය භාර දෙද්දි මොකක්ද මට මේකට කරන්න පුළුවන් කියන දේ විතරයි මං කල්පනා කළේ. මේක ගොවිබිම්වල ජනතාවගේ කතාවක්. වියළුණු කර්කශ පොළොවට අවශ්‍ය වැස්ස. වියළි පොළොවට වැස්ස කියන්නෙ ආදරය. මේක තමයි තේමාව.
එතැනදි මට මතක් වුණේ ඉන්දියාවේ වැසි වස්සන කාලයට ගායනා කරන රාග විශේෂයක් තියෙනවා මල්හාර් කියලා. මල්හාර් වර්ගයට අයත් මියන් මල්හාර් කියන රාගය මං තේමා ගීතයේ ප්‍රධාන තනුවට වගේම පසුබිම් සංගීතයටත් යොදාගත්තා. ඒ වගේම ලංකාවේ වැසි වස්සන කාලයට ගායනා කරන වැහි පිරිතත් අරන් මේ දෙක එකට එකතු කළා. ඒ දෙක එකට එකතු කරන්න මං යොදා ගත්තෙ නෙළුම් නාද මාලාව. ඒක ලංකාවේ වියළි බිම්වලින් ඇහෙන ලස්සන නාද මාලාවක්. නෙළුම් ඕසේ කියලා එක පැට්න් එකක් තියෙනවා. ඒක කියන්නෙ අකුරෙන් අකුර ඇදලා. අන්න ඒ නෙළුම් නාද මාලාව ගායනා කරන විදිහ මං තේමා ගීතයේ ප්‍රධාන තනුවට යොදා ගත්තා. ඊට පස්සේ මියන් මල්හාර් සංගති සහ ඊට යටින් වැහි පිරිත ආශ්‍රය කරගත්තා. ඔය දෙක තුන සම්බන්ධ කරන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට සංගීතයේ තියෙන ගණිතමය සංකල්පය ඕන කරනවා. තනු නිර්මාපකයෙක් වගේම සංගීත සංයෝජකයෙක් එය දැනගත යුතුමයි. ඒක එන්නෙ බටහිර සංගීතයේ කෝඩ්ස් කියන සිද්ධාන්තයෙන්. සංගීතය කියන්නෙ ගණිතයක්. සංගීතය විතරක් නෙවෙයි සියලු සකල කලාව ඇතුළෙම තියෙන්නෙ සෞන්දර්‍යාත්මක ගණිතය කියන සංකල්පය. මං ඕක මුලින්ම කියන්නෙ මගේ මියුසික් ලැන්වේජ් කියන පොතේ. ඒ දැනුම මෙතැනදි මට ලොකු වාසියක් වුණා ටෙලි නාට්‍යයට වයිරල් වෙන හැඩයක් ගේන්න. ඒ වගේම මෙහි තේමා ගීත ගායනය ගැනත් නොකියාම බැහැ. තුසිත් සිම්සන් නැවත වතාවක් මං යොදාගත්තා. ඊට අමතරව රිද්මිකා මධුභාෂිණී අලුතෙන් හඳුන්වා දුන්නා. ඔවුන්ගේ ගායනයත් විශේෂයි.
දර්ශන රුවන් දිසානායක කියන්නෙ සංගීතඥයෙක් විතරක් නෙවෙයි. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු?
සංගීතය පැත්තෙන් ගත්තොත් මං මේ වෙද්දි භාෂා ත්‍රිත්වයෙන්ම ගීත විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරල තියෙනවා. මේ වෙද්දි මගේ සිංහල ගීත කවුන්ට් කරගෙන යනවා. මං ඉන්දියානු සහ බටහිර ගීතත් නිර්මාණය කරල තියෙනවා. ඒ වගේම ඉන්දියාවේ නව පරපුරේ ශිල්පීන්ට ගීත නිර්මාණය සඳහාත් ආරාධනා ලැබිල තියෙනවා. එක් නිර්මාණයක හරීහරන් ගායනයෙන් වගේම රංගනයෙනුත් දායක වීම විශේෂත්වයක්.
නාමලී ගමගේ