Home » මාළු දැලේ පැටලුණ බීඩි කොළ ජාවාරම

මාළු දැලේ පැටලුණ බීඩි කොළ ජාවාරම

by thanushika
August 3, 2024 12:30 am 0 comment

මේ දිනවල මෙරට වැඩිපුරම කතාබහට ලක්වන කරුණු කාරණා අතුරින් ‘මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන’ ද පුවත් මවන මාතෘකාවකි. මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අනෙකුත් සමුද්‍රීය අපරාධ මැඬ පැවැත්වීම සඳහා නාවුක හමුදා විශේෂ යාත්‍රා බළගණය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් බුද්ධි අංශ, නාවිකයන්, ශ්‍රී ලංකා පොලිසිය සාගර කලාපයේ සිදු කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම් මෙහෙයුම්වලදී සෝදිසි කිරීම් අත්අඩංගුවට ගැනීම් නිරන්තරයෙන් වාර්තා වේ.

ඒ යුක්තිය මෙහෙයු‍ම බලගැන්වීමත් සමඟ මෙම ක්‍රියාවලිය වේගවත් වීමේ ප්‍රතිඵලයකි. එහි සාර්ථකත්වයට නිදසුන් බොහෝය.

මුහුදු මාර්ගය ඔස්සේ සිදුවන බොහෝ ජාවාරම් වැඩි වශයෙන් වයඹ මුහුදු තීරයේ සිදුවන බවට ආරක්ෂක අංශ හඳුනාගෙන තිබේ. මේ නිසා අන් ප්‍රදේශවලට වඩා වයඹ මුහුදු තීරයේ ආරක්ෂාව තර කර තිබේ. මෙවැනි පසුබිමක් යටතේ මෙසේ ආරක්ෂක වළල්ල අතරින් රිංගා ඒමට ඇතැම් ජාවාරම්කරුවන් සූක්ෂම වෙති. බොහෝ විට ඔවුන්ගේ ඔත්තුකරුවන් ගොඩබිමේත් මුහුදේත් සැරිසරමින් ජාවාරම්වලට සහාය ලබා දෙති. ඔත්තු බැලීමේ සගයන් ධීවර කටයුතුවල නිරත වන මුවාවෙන් මේ සඳහා සහය ලබා දේ. මේ නිසා නියම ධීවරයාත් ජාවාරම්කරුවන්ට සහාය දෙමින් ධීවරයන් ලෙස පෙනී සිටින ඔත්තුකරුවනුත් නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකිය.

ඊට කදිම නිදසුනක් ලෙස දැක්වීමට හැකිවන්නේ පසුගියදා හලාවත ඉරණවිල වෙරළ තීරයේ බීඩි කොළ පුරවාගත් ධීවර යාත්‍රා තුනක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියයි.

ඒ ඉකුත් 21 වැනි දින උදෑසනය. ඊට පෙර දින රාත්‍රියේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් බුද්ධි අංශ නාවික නිලධාරින්ට තොරතුරක් ලැබෙන්නේ ඉන්දියාවේ සිට මෙරටට බීඩි කොළ තොගයක් රැගෙන එන ධීවර යාත්‍රා කීපයක් සම්බන්ධවය. ලද තොරතුරේ සඳහන් වන්නේ 21 වැනි දින අලුයම 4.30ට පමණ මෙම බීඩි කොළ රැගෙන එන යාත්‍රා ඉරණවිල, තොඩුවාව ආශ්‍රිත වෙරළ තීරයට ළඟා වීමට නියමිත බවයි. මේ අනුව එදින අලුයම 2.00ට පමණ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් බුද්ධි අංශ නාවිකයන් විවිධ වෙසින් පෙනී සිටිමින් ඉරණවිල සිට තොඩුවාව මුහුදු තීරයේ සැරිසැරීමට කටයුතු කරන ලදි. එසේ සැරිසරන අවස්ථාවේ ධීවරයන් තොටුපළවලින් ධීවර කටයුතු සඳහා පිටත්ව යාමට කටයුතු කරන අයුරු, තවත් ධීවර පිරිසක් බිළී පිති රැගෙන මුහුද අවට කලපු තීරයේ සහ ඉරණවිල මෝය අසල බිළී බෑමට කටයුතු කරන අයුරු බුද්ධි නිලධාරින් විසින් විමර්ශනය කෙරිණි. මෙම ධීවර කටයුතුවල නිරත වන අය අතර ජාවාරම්කරුවන්ට ඔත්තු සපයන්නෝ ද සිටිති. කෙසේ වෙතත් ඔත්තුකරුවන් සැබෑ ධීවරයාගෙන් වෙන් කර හඳුනා ගැනීමට නොහැකිය. මෙම තත්ත්වය හමුවේ ජාවාරම්කරුවන්ට රිසි සේ සිය ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වේ.

බුද්ධි අංශ නාවිකයින් ඉරණවිල පාලම අසල බොහෝ වේලාවක් විමසිලිමත්ව රැඳී සිටිමින් නැවත තොඩුවාව වෙරළ දෙසට ගමන් කිරීමට කටයුතු කරන ලදි. ඒ අවසරයෙන් මෝය තීරයේ ධීවරයින් ලෙස පෙනී සිටිමින් ධීවර කටයුතුවල නිරත වූ ඔත්තුකරුවන් දියඹේ රැඳී සිටි ජාවාරම්කරුවන්ට දුරකතන පණිවිඩයක් ලබා දුන්නේ මෝය හරහා ලුණු ඔයට යාත්‍රා ගමන් කිරීමට හැකි බව පවසාය. පණිවිඩය ලැබෙනවාත් සමඟම අධික වේගයෙන් බීඩි කොළ පටවා ගත් ධීවර යාත්‍රා හතරක් මෝය හරහා ඉදිකළ පාලම යටින් ලුණු ඔයට ගමන් කිරීම ආරම්භ කරන ලදි. ඔවුන්ගේ ඉලක්කය වූයේ ලුණු ඔය කඩුපිටි ඔයට යා වන ස්ථානය වන කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ ලුණු ඔය පාලම අසලට යාමය. ඉන් පසු මෙම බීඩී කොළ තොගය ලොරි රථ මඟින් මීගමුව ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමටය. බීඩි කොළ පටවාගත් යාත්‍රාවල දෙදෙනෙකු බැගින් අට දෙනෙකි. එළිය වැටීමට මත්තෙන් නියමිත ස්ථානයට රැගෙන යාමට අවශ්‍ය බැවින් වේගය වැඩි කරමින් යාත්‍රා ඉදිරියට ඇදෙන්නට විය. ඉරණවිල පාලමේ සිට කිලෝමීටරයක පමණ දුරක් ගමන් කිරීමේ දී ලුණු ඔයේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයෙකුගේ දැලකට බෝට්ටු තුනක් පැටලී ගියේය. ඒවා බේරීමට උත්සාහ කළද අධික වේගයෙන් ගමන් කිරීම නිසා බේරාගැනීමට නොහැකිවිය. ඒ සමඟම ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ධීවරයා ඔවුන් සිටිය ඉසව්වට ළඟා වෙත්ම දැලේ පැටළී නොමැති ධීවර යාත්‍රාවෙන් පලා යාමට ඔවුන් කටයුතු කරන ලදි.

ඒ සමඟම එම ස්ථානයට පැමිණි ධීවරයා බෝට්ටු තුළ විශාල පාර්සල් තොගයක් දැක අසල පිහිටි නිවසකට ගොස් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දුරකතන ඇමතුමක් ලබා දීමට කටයුතු කළේය. එහිදී පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් තොඩුවාව පොලිසියට ලැබූ පණිවිඩය මත වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් කුමාර ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට කඩිනමින් පැමිණීමට කටයුතු කළේය. ඒ අතර මෙම ජාවාරම සම්බන්ධ තොරතුරු ලබාගෙන වෙරළ තීරයේ ජාවාරම්කරුවන් ගැන සෙවිල්ලෙන් සිටි වෙරළාරක්ෂක බුද්ධි අංශ නාවික නිලධාරින්ට ධීවර යාත්‍රා දැලේ පැටලී ඇති බව දැනගැනීමෙන් පසු ඔවුන ද එම ස්ථානයට පැමිණ තොඩුවාව පොලිසියේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුමක් දියත් කළේය. ලුණු ඔය ඔස්සේ ගමන් කරමින් හා ඉරණවිල වෙරළ තීරයේ ගමන් කරමින් මෙම මෙහෙයුම සිදු කරන අතරතුරදී ලුණු ඔයේ පාවෙමින් තිබී බීඩි කොළ පාර්සලයක් සහ පලා ගිය සැකකරුවන්ගේ වැහි කබායක්ද ඔවුනට හමුවිය. පැය කිහිපයක් මෙසේ මෙහෙයුම සිදු කළත් සැකකරුවන් පලාගිය ඉසව්වක් සොයා ගැනීමට නොහැකි විය.

ජලය කාන්දු නොවන අයුරින් පොලිතින්වලින් ඉතා සුරක්ෂිතව කිලෝග්‍රෑම් තිහක පමණ ප්‍රමාණයක බීඩි කොළ අසුරා තිබූ පාර්සල් 60ක බීඩි කොළ කිලෝ 2000කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රාවල තිබී පොලිස් භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ධීවර යාත්‍රාවල තිබී ධීවර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙහෙයුම් බලපත්‍රවලට අනුව පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේ පදිංචි අය බවට ද සනාථ විය.

නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරි එස්.ඩී.ආර්. ප්‍රියන්තගේ උපදෙස් මත තොඩුවාව ‍පොලිසියේ ස්ථානාධිපති ජේ.එම්.එන්.එල්. රණවීර, පොලිස් පරීක්ෂක සරත් කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන චමිල දර්ශන, කේ. ඒ. කුමාරසිංහ, පොලිස් සැරයන්වරුන් වන 68429 කැලුම්, 68364 මාරසිංහ, කොස්තාපල්වරුන් වන 87744 අබේසිංහ, 100534 රන්දිම, 103161 සඳකැලුම්, 102769 නිලොජන්, කොස්තාපල් රියැදුරු 15032 ජයවර්ධන ඇතුළු නිලධාරින් පිරිසක් හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් බුද්ධි අංශ නාවිකයින් මෙම වැටලීමට එක්වූහ.

මිහිර විජේසේකර - මාරවිල සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division