ඩුබායිහි වෙසෙන ‘ඩුබායි අයියා’ නමැති ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට පසුගියදා හැකි විය. ඉතා සූක්ෂම ලෙස සහ රහසිගතව බණ්ඩාරවෙල, බදුල්ල ප්‍රදේශවලට අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි තරුණ ජාවාරම්කරුවෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ බණ්ඩාරවෙල නගරයේදී නීතියේ රැහැනට හසු කරගැනීමත් සමඟම බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ ජාවාරම හෙළිකර ගැනිණි. ජංගම දුරකතන වට්ස්ඇප් පණිවිඩ මාර්ගයෙන් ඉතා රහසිගතව මෙම ජාවාරම්කාර සැකකරු කලක් තිස්සේ මෙම ජාවරම සිදුකර තිබුණි.
“සුබ උපන්දිනයක් අක්කී” යනුවෙන් සඳහන් උපන්දින තෑගි පාර්සලයක් රැගෙන යන මුවාවෙන් ගමන් කරමින් සිටියදී රුපියල් කෝටියක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගය සැකකරු සමඟ ඌව පළාතේදී අත්අඩංගුවට ගත් මේ සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලැබී තිබුණේ එය ඌව පළාතේ අත්අඩංගුවට ගත් වැඩිම වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය නිසා වීම ද විශේෂය. බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහනට ඔත්තුකරුවෙකු මාර්ගයෙන් මේ ඔත්තුව ලැබී තිබුණි. කොළඹ සිට පැමිණෙන බසයකින් පැමිණෙන සැක කටයුතු පුද්ගලයෙකු සතියකට දෙවතාවක් පමණ බණ්ඩාරවෙල නගරයට විත් නගරයේ ලැඟුම්හලක නවාතැන් ගන්නා බවත් ඒ වන විට ඔහු කොළඹ සිට බදුල්ල බසයකින් බණ්ඩාරවෙල එන බවටත් මෙසේ තොරතුරු ලැබී තිබුණි. ඒ අනුව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක හේරත් ඇතුළු නිලධාරීන් තමා වෙත කැඳවමින් අදාළ උපදෙස් ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කළුපහන බණ්ඩාරවෙල පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරි, සහකාර පොලිස් අධිකාරී iv රුවන් ප්‍රනාන්දුගේ මෙහෙයවීම අනුව පොලිස් පරීක්ෂක අශෝක හේරත් ඇතුළු කණ්ඩායම සිවිල් ඇඳුමින් සැරසී බණ්ඩාරවෙල නගරයට යවන්නේ අදාළ තොරතුර සම්බන්ධ විමර්ශනය සඳහාය.
මේ අතරේ කොළඹ සිට ආ බසය බණ්ඩාරවෙල නගරයේ බස්රථ නැවතුම්පොළේ නැවතූ විට අදාළ තොරතුරේ සඳහන් පුද්ගලයා බසයෙන් බැස බණ්ඩාරවෙල නගරයේ බස්රථ නැවතුම් පොළේ ඇඳුම් බෑගයක් අතැතිව ගමන් කරමින් සිටියදී රැකවලෙහි නිරතව සිටි පොලිස් පරීක්ෂක අශෝක හේරත් ඇතුළු නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කරන්නේ විනාඩි කීපයක් ඇතුළතදීය.
කාලයක් මුළුල්ලේ වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ තම ජංගම දුරකතනයට ලැබෙන පණිවිඩවලට අනුව ඌව පළාතේ බදුල්ල සහ බණ්ඩාරවෙලට කොළඹින් මෙසේ රහසිගතව අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ගල්කිස්ස බඩෝවිට ගාල්තැන්න ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අවිවාහක තරුණයා අත්අඩංගුවට ගැනෙන්නේ ඒ අනුවය.
‘සුබ උපන් දිනයක් අක්කී’ යනුවෙන් සඳහන් කර තිබූ උපන්දින තෑගි පාර්සලය තුළ කුඩා පැකට් තුළ ග්‍රෑම් 123ක් පමණ බර අයිස් මත්ද්
රව්ය පැකට් 440ක්, ග්‍රෑම් 108ක් බර හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 1020ක් තිබූ අතර, අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට්ටුවක් රුපියල් 6000කට ද හෙරොයින් මත්ද්‍රව්‍ය කුඩා පැකට්ටුවක් රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා මුදලටද අලෙවි කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් තිබෙන බවත් පොලිසිය පැවසීය.
ඩුබායිහි සිටින ‘ඩුබායි අයියා’ නමැති ජාවාරම්කරු වට්ස්ඇප් ඔස්සේ රහසිගතව මොහුට කොළඹ ප්‍රදේශයේ අදාළ අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය තිබෙන ස්ථානය දැනුම් දුන් පසුව මොහු රහසිගතව එම මත්ද්‍රව්‍ය ගෙන උපන්දින තෑගි පාර්සලයක් ලෙස සකස්කර එහි මතුපිට “අක්කී සුබ උපන්දිනයක්” ලෙස සටහන්කර එම මත්ද්‍රව්‍ය පාර්සලය ඇඳුම් බෑගයේ දමාගෙන කොළඹ සිට බදුල්ලට එන මගී බස්රථවලින් සාමාන්‍ය මගියෙක් ලෙස අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන බණ්ඩාරවෙල සහ බදුල්ල නගරවලට සතියකට දෙවතාවක් මෙලෙස පැමිණෙන බවත් මොහුට ඒ සඳහා ඩුබායි අයියා මසකට රුපියල් ලක්ෂයක් මොහුගේ ගිණුමට එවා ඇති බවටත් පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.
බණ්ඩාරවෙල නගරයට පැමිණ නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන් ගන්නා මොහු එහිදී මෙසේ අයිස්, හෙරොයින් කුඩා පැකට්වලට ඇසුරුම් කර පසුව ජංගම දුරකතනයට ලැබෙන වට්ස්ඇප පණිවිඩවල සඳහන් පරිදි ගැනුම්කරුවන්ට ගැනීමට නගරයේ දුරකතන, විදුලි කණුවල අලවා සඟවා තබන අතර මොහු පසුව බදුල්ල නගරයට පැමිණ නගරයේ ලැගුම්හලක කාමරයක නවාතැන්ගෙන එහිදී ජංගම දුරකතනයට ලැබෙන වට්ස්ඇප් පණිවුඩ මත අදාළ ගැණුම්කරුවන් සඳහන් කරන ආකාරයට අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කරන බවද පොලිසිය ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
ලැගුම්හලක නවාතැන් ගන්නා මොහු අලුයම් කාලයේ බදුල්ල, බණ්ඩාරවෙල නගරයේ ජනතාව නොමැති අවස්ථාවේ මෙසේ අදාළ ගැනුම්කරුවන්ට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දැනට රැඳවුම් නියෝග මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන සහ පොලිස් අධිකාරි ඩී.බී.එච්. කළණසිරිගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දුගේ අධීක්ෂණයෙන් බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක හේරත්, උපපොලිස් පරීක්ෂක නන්දසූරිය, සැරයන් 51296 කරුණාරත්න, 71831 ජානක, 14879 දිසානායක, කොස්තාපල් 88295 රත්නායක, 89074 බණ්ඩාර, 102782 තුෂාන්ත් යන නිලධාරීන් පරීක්ෂණ පැවත්වූහ.
සී. ගමගේ සොරණාතොට සමූහ