Home » රන්මාල හොරු කොටු කළ පොලිස් නුවණ

රන්මාල හොරු කොටු කළ පොලිස් නුවණ

by thanushika
August 3, 2024 12:30 am 0 comment
සුදත් පුබුදු කීර්ති - දෙල්ගොඩ සමූහ

යතුරුපැදිවලින් ගොස් මහමඟ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකා පලායන කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු සොරා ගන්නා ලද යතුරුපැදි දෙකක් හා ස්වර්ණාභරණ සමඟ කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට හැකි වන්නේ පසුගියදාය. මොවුන් විසින් විවිධ ප්‍රදේශවලින් කොල්ලකා උකස් කර තිබූ රන් පවුම් 12කට වැඩි රුපියල් ලක්ෂ 25ක වටිනාකමින් යුතු ස්වර්ණාභරණ පොලිසිය විසින් සොයා ගන්නේ කරන ලද විමර්ශනවලදීය. මහර වැඩ බලන මහේස්ත්‍රාත් විරේන්ද්‍රා කනංකෙක් මහත්මිය හමුවට ඉකුත් ජූලි 13 දා ඉදිරිපත් කළ සැකකරුවෙක් සම්බන්ධයෙන් දින 14ක් රඳවා ගැනීමේ නියෝග නිකුත් කැරිණි. ඒ අනුව අදාළ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මාල කඩාගැනීමේ සහ යතුරුපැදි සොරකම් ඇතුළු අපරාධ 16ක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට කිරිබත්ගොඩ පොලිස් නිලධරයන්ට හැකි විය.

කිරිබත්ගොඩ පොලිසිය ඉදිරිපිට ජිනදාස නන්දසේන මාවතේ ඉකුත් 12දා පස්වරු 3.30ට පමණ පා ගමනින් ගිය පාසල් ගුරුවරියකගේ ගෙල බැඳි රන්මාලය ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලා ගොස් තිබිණි. ඒ අවස්ථාවේම ක්ෂණිකව ලද තොරතුරක් මත කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ත්‍රිරෝද රථයකින් සහ යතුරුපැදියකින් කිරිබත්ගොඩ, මාකොළ පාරේ කොල්ලකරුවන් පදවාගෙන ගිය යතුරුපැදිය පසුපස හඹා යන්නේ අවට පොලිස් ස්ථානවල නිලධරයන්ද වෝකි ටෝකි මඟින් දැනුම්වත් කරමිනි.

කොල්ලකරුවන් මාකොළ ‘වයි‘ හන්දියෙන් සමෘද්ධි මාවත හරහා ගෝනවල, මගුරුවිල මාර්ගයේ යතුරුපැදිය පදවාගෙන පලා යමින් සිටි අවස්ථාවේ පැවති වාහන තදබදය නිසා සැකකරුවෝ ඔවුන් පදවාගෙන පැමිණි යතුරුපැදිය මහමඟ දමා අඳුරේම මගුරුවිල පාරේ ජලය සහ කැලෑ රොද සහිත අක්කර 15ක පමණ විශාල වගුරු බිමකට පැන සැඟව ඇත.

මෙහිදී උපක්‍රමශීලී වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් සොයා ගැනීමට අපහසු බව ඔවුන්ට හඟවා නැවත පොලිස් ස්ථානයට යන මුවාවෙන් ඒ ස්ථානයෙන් ඔබ්බට ගොස් සැඟව සිට ඇත. මේ අවස්ථාවේදී පොලිසියේ සහායට ගම්වැසියෝද පැමිණියෝය.

පොලිසිය අදාළ ස්ථානයේ නොමැති බව සිතා සැකකරුවන් රාත්‍රී 11.30ට පමණ වගුරු බිමෙන් එළියට පැමිණි අවස්ථාවේ ගම්වාසීන්ගේ සහායද ඇතිව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය.

සැකකරුවන් පැමිණි යතුරුපැදියේ සඟවා තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900 ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

සැකකරුවන් අවුරුදු 30 සහ 41 වයස්වල පසුවන්නෝය. දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ අය බව හෙළි විය. ඔවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද අනාවරණය වන්නේ සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදීය.

කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑම් 12ක් සිදු කර තිබිණි. සපුගස්කන්ද 01ක්, මුල්ලේරියාව 03, කිරිබත්ගොඩ 03, කැලණිය 04, වත්තල 01 ක් වශයෙනි. යතුරුපැදි සොරා ගැනීම් 04ක් රාගම සහ දෙහිවල පොලිස් බළප්‍රදේශවලින් වාර්තා වන බව පොලිසිය කියයි.

සැකකරුවන් විසින් කොල්ලකන ලද ස්වර්ණාභරණවලින් කොටසක් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කටුපැලැල්ල උකස් මධ්‍යස්ථානවල උකසට තබා තිබියදී පොලිසිය විසින් සොයාගෙන ඇත.

අපරාධ වළක්වා ගැනීම සඳහා පොලිසියට සහාය දුන් ගෝනවල, ගල්ඒදණ්ඩ ප්‍රදේශවාසීන්ට කෘතවේදීව ස්තුති කරන බවද පොලිසිය පවසයි.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත ජයවර්ධන, කැලණිය සහකාර පොලිස් අධිකාරී හේරත් යන නිලධාරීන්ගේ උපදෙස් මත කිරිබත්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත කුමාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහණ නන්දසිරි, සැරයන් (2725) සිසිර, කොස්තාපල්වරුන් වන (9087) සේනාරත්න, (79778) පත්මසිරි, (82436) ලක්මාල්, (20689) රුක්ෂාන්, (93652) නන්දසිරි සහ කාන්තා පොලිස් කොස්තාපල් (8412) නිලූකා යන නිලධාරීන් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division