ගජ මිතුරන් වන ඔවුන් තිදෙනෙක් එකිනෙකා හමුවන්නේ ‘අලුත් ව්‍යාපාරයක්’ ආරම්භ කිරීම සඳහාය. එහෙත් එම ව්‍යාපාරය පුද්ගලයන් මුළා කර ඔවුන්ට භාණ්ඩ වංචා කිරීමයි. අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කර ඇති විවිධ ආයතනවලින් එම භාණ්ඩ ඉල්ලුම් කර ගෙන්වාගෙන එම භාණ්ඩ වංචා කිරීම ඔවුන්ගේ අරමුණ විය.
මේ අය මේ සඳහා ව්‍යාජ දුරකතන අංක, රබර් මුද්‍රා ඇතුළු විවිධ ලිපි ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ගත්තේ ‘වැඩේ තිතටම’ කළ යුතු බැවිනි.
මෙහි ප්‍රධානියා පදිංචිව සිටියේ කඳාන මහබාගේ ප්රදේශයේය.
ඔහු දන්නා තමන් හඳුනන එම ප්‍රදේශයේම මිතුරෙකුද මේ හොර ජාවාරමට හවුල් කරගත්තේය. අන්තර්ජාලය පීරා තම අරමුණ ඉෂ්ට කර ගැනීමට සැරිසරද්දී ඔහු දුටුවේ කුරුණෑගල ප්‍රදේශයේ ආයතනයක් මඟින් විදේශයෙන් ආනයනය කරන ලද වතුර ෆිල්ටර් තොගයක් අලෙවි කිරීම සඳහා දැන්වීමක් පළ කර ඇති බවය. වහා ක්‍රියාත්මක වූ ඔහු අන්තර්ජාලය ඔස්සේ එම ආයතනය සමඟ සම්බන්ධ වී වතුර ෆිල්ටර් පනහක් ඇණවුම් කළේ ඒවා ඉක්මනින් අවශ්‍ය බව පවසමිනි.
“අපේ ඔෆිස් එකට වතුර ෆිල්ටර් පනහක් ඕනැ. හෙඩ් ඔෆිස් එක තියෙන ගාල්ලට තමයි ගේන්න ඕනේ. කරුණාකරලා හෙට හවස දෙක වෙනකොට ඕඩරේ දෙන්න පුළුවන් ද…?“ යැයි ඔහු විමසීය.
විදේශයෙන් ආනයනය කරන ලද වතුර ෆිල්ටර් තොගය එම ආයතනයේ අලෙවි නියෝජිතයෙකු සමඟ එවීමට අදාළ ආයතනයේ ප්‍රධානියා කටයුතු කළේ පොරොන්දු වූ පරිදිමය. අලෙවි නියෝජිතයා සමඟ දුරකතනය මඟින් සම්බන්ධ වෙමින් මඟින්මඟටම ඔවුන් සිටින ස්ථානය පිළිබඳ විමසීමටද ජාවාරම්කරු අමතක කළේ නැත.
“අපේ පුත්තලමේ තියෙන බ්‍රාන්ච් එකටත් වතුර ෆිල්ටර් දොළහක් ඕන වෙලා තියෙනවා. ඒක හදිසි ඕඩරයක්. ඒ හින්දා ඔයා කහතුඩුවේ හයිවේ එකෙන් කොළඹ, හොරණ පාරට දැන්මට පස්සේ වාහනේ නතර කරලා මට කතා කරන්න…“
මෙසේ අලෙවි නියෝජිතයාට පැවසූ ජාවාරමා කුලී රථ රියැදුරකු යවා එම ස්ථානයෙන් වතුර ෆිල්ටර් දොළහක් පටවා ගැනීමට කටයුතු කළේ ඉතිරිය ගාල්ලේ ප්‍රධාන කාර්යාලයට රැගෙන යන ලෙස අලෙවි නියෝජිතයාට පවසමිනි.
ගාල්ලට ගිය විට අලෙවි නියෝජිතයාට දකින්නට ලැබුණේ ඔහු පැවසූ ආයතනය වසා දැමා ඇති බවය. මේ නිසා ඒ ගැන විමසීමට ලබා දී තිබූ දුරකතන අංකවලට කතා කළත් එම අංක අක්‍රිය වී තිබුණේ ඔහුට කරකියා ගත හැකි දෙයක් ඉතිරි නොකරමිනි. මේ නිසා ඉතිරිව තිබූ වතුර ෆිල්ටර් තොගය රැගෙන ඔහු ආපසු කුරුණෑගල බලා පිටත් වූයේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි.
කහතුඩුවෙන් වතුර ෆිල්ටර් 12 කුලී රථයක පටවාගත් මෙම ජාවාරමුන් වෙනත් කුලී වාහනයක් රැගෙන බෝකුන්දර දී ඒවා එයට පටවාගන්නේ කඳාන බලා රැගෙන යාමටය. මොවුන් මෙම භාණ්ඩ කුලී වාහනවලට පටවා ගැනීමේදී සීසීටීවී කැමරා නොමැති ස්ථානවලදී සිදු කිරීමට වගබලා ගත්තේ සිදු කරන්නට යන්නේ කුමක්දැයි ඔවුන්ගේ යටි සිත් හොදින් දන්නා බැවිනි.
“අනේ මචං පොඩි උදව්වක් කරපන්. බඩු වගයක් තියෙනවා. අපේ ගෙදර ඉඩ නෑ. උඹලගේ ගෙදර උඩ තට්ටුවේ දාලා තියන්න පුළුවන්නේ ටික දවසකට…“
ඔවුන් තෙවැනි මිතුරා සොයා යන්නේ රුපියල් ලක්ෂ හතහමාරක් පමණ වටිනාකම ඇති වතුර ෆිල්ටර් 12 ඔහුගේ නිවෙසේ උඩුමහලේ සඟවා තැබීම සඳහාය.
තවත් දිනක කඩුවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අන්තර්ජාලය හරහා ආනයනය කිරීමට සකස් කර තිබුණේ කල්තබා ගත හැකි පොල්කිරි ටින් තොගයකි. මෙම පුද්ගලයින් ඊට ද ඇණවුමක් ලබා දෙන්නේ පොල්කිරි ටින් පන්දාහක් තමන්ට අවශ්‍ය බවටය. එම තොගයද රැගෙන කාන්තාව කහතුඩුව අධිවේගී පිවිසුම ආසන්නයට පැමිණෙන විට මෙම පුද්ගලයින් පවසන්නේ පුත්තලමේ ශාඛාවට පොල් කිරි ටින් තුන්දාස් පන්සීයක් අවශ්‍ය බවට ඇණවුමක් ලැබී ඇති බැවින් එම තොගය රැගෙන යා යුතු බවය. ඒ සඳහාද කුලී රථයක් අධිවේගී පිවිසුම අසලට රැගෙන ඒමට ඔවුන් කටයුතු කර තිබිණ. මෙහිදී මෙම කාන්තාවට සැක සිතී කුලී රථ රියැදුරුගේ දුරකතන අංකය ඉල්ලා ගැනීමට කටයුතු කර තිබිණි.
පෙර පරිදිම ඉතිරි පොල්කිරි ටින් තොගය ගාල්ලේ කාර්යාලයට රැගෙන යන ලෙස ඔවුන්ට දන්වා තිබිණ.
සුපුරුදු පරිදිම මෙම පුද්ගලයන් පොල්කිරි ටින් තුන්දාස් පන්සීයක තොගය මොරටුවට රැගෙන ගොස් එහිදී වෙනත් කුලී රථයකට පටවාගෙන කඳානට රැගෙන ගියේ මිතුරාගේ නිවසේ උඩුමහලේ සඟවා තැබීමටය. ඔවුන් මෙම කුලී රථ රියැදුරන්ගේ මුදල් ඒ ටී එම් යන්ත්‍ර හරහා ගෙවීමටද කටයුතු කර තිබුණේ සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම සිදුකළ යුතු බැවිනි.
මිතුරාගේ නිවසේ සැඟවූ වතුර ෆිල්ටර් තොගයෙන් දෙකක් ජාවාරමේ ප්‍රධානියා විසින් මෝටර් රථයක දමාගෙන ඔහුගේ නිවසට රැගෙන යාමට ද කටයුතු කර තිබුණි. ඒ බව සහ මෙම බඩු කඳානේ නිවෙසට රැගෙන එන අයුරු එම ස්ථානයේ සවි කර තිබූ සීසීටීවී කැමරාවල සටහන්ව තිබුණේ අපරාධයක් කර සැඟවීමට නොහැකි බව අනාවරණය කරමිනි.
මොවුන් සිදුකළ කපටිකම හෙළි වූ කාන්තාව මෙන්ම කුරුණෑගල ආයතනය මඟින්ද මේ පිළිබඳ කහතුඩුව පොලිසියට සිදුකළ පැමිණිලි අනුව විමර්ශන ආරම්භ කෙරිණි.
මෙහිදී මෙම කාන්තාව කුලී රථ රියැදුරුගේ දුරකතන අංකය ලබාදීම විමර්ශන සඳහා විශාල පිටිවහලක් වූයේ සීසීටීවී කැමරා නොමැති ස්ථානවල මොවුන් මේ හුවමාරු කිරීම් සිදුකර ඇති බැවිනි.
කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. කේ. ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන ඇතුළු නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී මෙම හොර ජාවාරම හෙළිදරව් කර ගැනීමට කටයුතු කළේ කුලී රථ රියැදුරුගේ දුරකතන අංකය ඔස්සේ දිවා රෑ නොබලා දැඩි වෙහෙසක් දරා සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල වශයෙනි. පොලිස් ඉව මුලින්ම එල්ල වූයේ කඳාන ප්‍රදේශයේ මිතුරාගේ දෙමහල් නිවසේ උඩුමහල වෙතටය. එහි තිබී වතුර ෆිල්ටර් තොගය සහ පොල්කිරි ටින් තොගය සොයා ගත්තේ මිතුරාවද අත්අඩංගුවට ගනිමිනි.
කඳාන මහබාගේ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන ජාවාරමාගේ නිවෙසේ තිබී ඔහු රැගෙන ගිය වතුර ෆිල්ටර් දෙක ද සොයාගත් නමුත් මොවුන් පලා ගොස් සැඟවී ඇත්තේ පොලිසිය පැමිණෙන බව දැනගෙන විය යුතුය.
මෙහිදී රුපියල් හත්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා වතුර ෆිල්ටර් තොගය සහ තුන්ලක්ෂ පහළොස් දාහක් පමණ වටිනා පොල් කිරි ටින් තොගය පොලිසිය භාරයට ගැනිණි.
සංවිධානාත්මකව සිදුකළ මෙම වංචාව හෙළිදරව් කර ගැනීමට හැකි වූයේ කහතුඩුව පොලිසියේ නිලධාරීන්ගේ දක්ෂතාව හේතුවෙනි.
මෙහිදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මෙම පුද්ගලයන් ඉතා සුඛෝපභෝගී ජීවිත ගත කරන බවය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලංගගේ අධීක්ෂණයෙන් කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්. ඒ. කේ. ප්‍රියංකරගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන, සැරයන් 18808 සේනාධීර, කොස්තාපල්වරුන් වන 45042 සුමතිපාල, 95186 දිල්ෂාන්, 8436 ප්‍රියංකර, 78650 පුෂ්පකුමාර, කාන්තා පොලිස් කොස්තාපල් 11171 අංජලිකා යන නිලධාරීන් නිලධාරිනියන් මෙම වැටලීම සිදු කළහ.
විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ