මෑතකදී ස්ථාපිත පොලිස් ස්ථාන අතරින් කැස්බෑව පොලිස් ස්ථානයේ නිලධාරින් පසුගිය කාලයේ සාර්ථක වැටලීම් මෙන්ම අපරාධ විමර්ශන රැසක් සිදුකළ පොලිස් ස්ථාන අතරින් එකකි. එලෙස රාජකාරියට කැපව සිටින කැස්බෑව පොලිසියේ විමර්ශන නිලධාරින් පසුගියදා තවත් ‘අපූරු ගේම්කාරයකු‘ අත්අඩංගුවට ගත්තේ සිදුකරන ලද පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.
කාන්තාවන් පැලඳි රන් ආභරණ කොල්ලකා එම කාන්තාවන්ට අතවර ද කරමින් කලෙක සිටම මහා පරිමාණයේ ‘ගේම්‘ දුන් එම පුද්ගලයාට එරෙහිව රටේ නන්දෙස පොලිස් ස්ථානවලට පැමිණිලි රැසක් ලැබී තිබිණි.
2023 වසරේ ඔක්තෝබර් 20 වැනිදා තම රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් ඇහැලියගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති ප්‍රියංක ද සිල්වාගේ පොලිස් නිල ඇඳුමෙන් ගත් ඡායාරූපයක් සහිතව නිර්මාණය කළ ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් ද යොදාගෙන මෙකී ‘ගේම්කාරයා සිදුකර ඇති අපරාධ සංඛ්‍යාව 30කට අධික බව කැස්බෑව පොලිසියේ නිලධාරින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළි විය.
කැස්බෑව පොලිසියට කාන්තාවකගෙන් ලද පැමිණිල්ලක් ඔස්සේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනය අනුව එම අපරාධකරු අත්අඩංගුවට ගත් ආකාරය කැස්බෑව පොලිසියේ පොත්වල සටහන් වන්නේ මෙසේ ය.
44 හැවිරිදි නිල්මිණි නමැති කාන්තාව කඩුවෙල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කිරීමෙන් පසු මෑතක සිට පාණදුරේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව සඳහා පැමිණියාය. අවිවාහක නිල්මිණි එම රැකියාවට ආව-ගියේ පාණදුර, අරුග්ගොඩ පදිංචිව සිටි ඇගේ සහෝදරයකුගේ නිවසේ නතරව සිටය. දිනය පසුගිය ජූලි 14 වැනිදාය.
ඉරිදා දිනයක් වූ එදින නිල්මිණි තම පෙම්වතා සමඟ පාණදුර මුහුදු වෙරළේ ගතකිරීමෙන් පසු ඒ අවට හෝටලයකටද ගොස් පෙම්වතා සමඟ එහි කාලය ගත කර තිබිණි. අනතුරුව ඇය පෙම්වතා සමඟ හෝටලයෙන් පිටවී තිබුණේ නිවෙස බලා යාමටය. ඇගේ පෙම්වතා කඩුවෙල බලා යාමට පිටත් වී තිබූ අතර නිල්මිණි පාණදුර – හිරණ බසයක නැඟ සහෝදරයාගේ නිවසට පැමිණෙන්නට වූවාය. ඇය බසයෙන් පැමිණ හිරණ මාර්ගයෙන් බැස පා ගමනින් නිවසට ගමන් කරමින් සිටියාය. ඒ වන විට වේලාව සවස 5ට ආසන්න විය. එක්වර පැමිණි ත්‍රීරෝද රථයක් නිල්මිණි අසලම නතර කෙරිණි. එහි සිටියේ රියැදුරුට අමතරව පසුපස අසුනේ සිටි පුද්ගලයා පමණි.
“නංගි… නංගි… මේ පාරෙන් හිරණට යන්න පුළුවන් ද?“ කියා ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ සිටි පුද්ගලයා විමසීය.
“යන්න පුළුවන්…‘ යැයි නිල්මිණි පැවැසුවාය.
“ආ… එහෙමද? එහෙනම් නංගි… අපිත් ඉස්සරහට යන්නෙ… අපි ඔයාව බස්සගෙන යන්නම්… නඟින්න… නඟින්න…“ යැයි ත්‍රිරෝද රථයේ පසුපස අසුනේ සිටි පුද්ගලයා කීවේය.
ගොම්මන් අඳුර වැටෙන්නට ද ඔන්න-මෙන්න කියා තිබූ නිසා පාළු මාර්ගයක ගමන් කළ යුතු හෙයින් ඉක්මනින් නිවසට යාමේ අරමුණ පෙරදැරිව නිල්මිණි එම ත්‍රීරෝද රථයට ගොඩ වූවාය. මඳ දුරක් යද්දී ත්‍රිරෝද රථයේ ඇය අසල වාඩිගෙන සිටි පුද්ගලයා ඇයට පැවැසුවේ අමුතුම කතාවකි.
“තමුන් ගැන මම හොඳට දන්නවා… තමුන් ගණිකාවක්නේ… මසාජ් එකකනේ වැඩ කරන්නේ…?“ යැයි ඔහු නිල්මිණිට කියන අතරේ තමන් පොලිස් නිලධාරියකු බව හැඟවීම සඳහා නිල ඇඳුම සහිත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක් පෙන්වීය.
එහි සඳහන් වූයේ පොලිස් පරීක්ෂක අජිත් කුමාර ද සිල්වා යනුවෙනි. ඊට අමතරව එම හැඳුනුම්පතෙහි පිටුපස ගණිකාවන්, ගණිකා වෘත්තියේ යෙදෙන්නියන්, අනවසර ලැගුම්හල්, සම්බාහන වෘත්තියේ යෙදෙන්නියන්, අනියම් ඇසුරු පවත්වන්නන් හා පවත්වන්නියන් අත්අඩංගුවට ගත හැකි බවත් ඔහු පාණදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ රාජකාරි කරන අයකු බවද එය දකින අයට හැඟෙන ලෙස එම හැඳුනුම්පත සකස්කර තිබිණි.
එම හැඳුනුම්පත පෙන්වූ සැණින් නිල්මිණි බියට පත් වූයේ ඇය ඊට මඳ වේලාවකට පෙරදී තම පෙම්වතා සමඟ හෝටලයක ද සිට පැමිණි හෙයිනි.
“මම තමුසෙලා වගේ අය හිසේ කෙස් ගාණට අත්අඩංගුවට අරන් තියෙන්නේ… තමුන්ගේ මිනිහවත් අපි අල්ලගෙන ඉන්නේ…“ යැයි කී එම පුද්ගලයා තම පෙම්වතා බේරා ගැනීමට අවැසිනම් ඔහු කියන ආකාරයට කටයුතු කරන ලෙස පවසමින් නිල්මිණිව තව තවත් බිය ගැන්වීය.
එලෙස කතාබහ කරන අතරේ ත්‍රීරෝද රථය විනාඩි කීපයක් ගෙවා පැමිණියේ කැස්බෑව බණ්ඩාරගම මාර්ගයේ කැස්බෑව නගරයට ආසන්න ඉන්ධන පිරවුම්හල අසල පිහිටි සුපිරි වෙළෙඳසල අසලටය. එම ස්ථානයේදී නිල්මිණි පැලඳ සිටි රන් ආභරණ ගලවාගත් එම පුද්ගලයා ඇගේ ඒටීඑම් කාඩ්පත ද ගත්තේය. පසුව නිල්මිණි සමඟ ත්‍රිරෝද රථය ගමන් කළේ පිළියන්දල නගරයටය. එහිදී නිල්මිණිගෙන් ගත් ඒටීඑම් කාඩ්පතෙහි රහස් අංකයද ලබාගත් එම පුද්ගලයා පිළියන්දල පිහිටි බැංකු ශාඛාවකින් දෙවතාවකදී රුපියල් ලක්ෂයක් සහ පනස් දහසක් ලෙස රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක් ලබා ගැනිණි.
අනතුරුව නිල්මිණි රැගත් සැකකරු ත්‍රිරෝද රථයෙන් පිටත් වූයේ මොරටුව – පිළියන්දල මාර්ගයේ සුවාරපොළ පිහිටි හෝටලයක් වෙතය. එම හෝටලය තුළදී එකී පුද්ගලයා විසින් නිල්මිණි නිරුවත්කොට ඇයට අතවර කර තිබුණේ හිත්පිත් නැත්තකු විලසිනි.
එහිදී නිල්මිණිට කියා බලෙන් මෙන් ලියමනක් ද ලියවාගෙන තිබුණේ ‘ජූලි 16 වැනිදා පාණදුරේදී මුදල් සහ රන් ආභරණ ලැබුණා. එම නිසා මා හට කිසි ප්‍රශ්නයක් නෑ‘ යැයි ලෙසිනි. එසේ ජූලි 16 වැනිදා දින යොදා ලිපිය ලියවා ගත්තද නිල්මිණි අත්සන් තබා ඇත්තේ ජූලි 14 වැනිදා දින යොදමිනි. හෝටලයේ ගත කිරීමෙන් පසු එම ත්‍රිරෝද රථයෙන්ම නිල්මිණි නැවත රැගෙන ආවේ පිළියන්දලටය. ඒ වන විට රාත්‍රී 7.30ට පමණය.
නිල්මිණි පිළියන්දල බස්සවා දෙදෙනා සුපිරි වෙළෙඳසලකින් මත්පැන් බෝතලයක් ඇතුළු රුපියල් 15000ක කළමනා ගෙන තිබුණේ ද නිල්මිණිගේ ඒටීඑම් කාඩ්පතින් ගෙවීම් කරමිනි. අනතුරුව දෙදෙනා පැමිණ තිබුණේ බණ්ඩාරගමටය.
එලෙස අකරතැබ්බයකට මුහුණ දුන් නිල්මිණි පසුදා එනම් ජූලි 15 වැනිදා පෙරවරුවේම ඥාතින් සමඟ පැමිණියේ කැස්බෑව පොලිසිය වෙතය.
ඇයට සිදුවූ අපරාධය ගැන අකුරක් නෑර පවසමින් ඇය කැස්බෑව පොලිසියේ පැමිණිල්ලක් සටහන් කළාය. එම පැමිණිල්ල ගැන දැඩි අවධානය යොමු කළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් ඇතුළු කණ්ඩායම එම සැකකාර පුද්ගලයා සොයා විමර්ශන ඇරැඹුවේ නිල්මිණි රැගෙන ගිය හෝටලය සහ අවට සීසීටීවී කැමරා 40ක් පමණ පරීක්ෂා කරමිනි. එහිදී අදාළ දින හෝටලයට පැමිණි රතු පැහැති එම ත්‍රිරෝද රථය සීසීටීවී කැමරා මඟින් හඳුනා ගැනිණි. එය WP GR-1485 දරන ත්‍රිරෝද රථයයි. ඊට අමතරව හෝටලයට දී තිබූ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ද සොයා ගැනිණි. එම හැඳුනුම්පතෙහි ලිපිනය සුමනතිස්ස මාවත, බටදූව, ගාල්ල ලිපිනයයි. එහි නම වූයේ උඳුගොඩගේ අනුර උදේශ් රොද්රිගුය.
එම තොරතුරු ගැන විමර්ශනය කරද්දී ත්‍රිරෝද රථය හොරණ පුද්ගලයකුට අයත් බව හෙළි විය. ඒ සමඟම ජුලි 16 වැනිදා ඔහු සොයා ගිය පොලිස් නිලධාරින්ට එම පුද්ගලයා කීවේ, “සර්… ත්‍රිවිල් එකේ ෆිනෑන්ස් ඇරියස් වුණා… ඒක නිසා ත්‍රිවිල් එක ෆිනෑන්ස් එකට බාර දුන්නා…“ යැයි කියාය.
එම තරුණයා ෆිනෑන්ස් ආයතනය පිහිටි ස්ථානය පෙන්වීය. එය හොරණ නගරයේම පිහිටියේය. එම ෆිනෑන්ස් ආයතනයෙන් හෙළි වූයේ එකී ත්‍රිරෝද රථය බණ්ඩාරගම වෙද පන්සල ආසන්නයේ අයකුට විකිණූ බවය. පොලිස් කණ්ඩායම ත්‍රිරෝද රථය මිලට ගත් එම පුද්ගලයා සොයා ගියේය. ඒ මොහොතේ ඔහු නිවසේ නොවීය. ඒ ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් ගොස් සිටි නිසාය.
විමර්ශන නිලධාරින් එම පුද්ගලයාට දුරකතන ඇමැතුමක් ගත් විට කීවේ තමන් දෙහිවල ප්‍රදේශයේ සිටින බවය.
“හරි කමක් නෑ… එහෙනම් ඔයා කැස්බෑව පොලිසියට ඇවිල්ලා යන්න එන්න…“ යැයි විමර්ශන නිලධාරින් ඔහු එලෙස දැනුවත් කළේය.
අනතුරුව පසුගිය ජුලි 16 වැනිදා එම ත්‍රිරෝද රථ රියැදුරු කැස්බෑව පොලිසිය ආසන්නයේදී අත්අඩංගුවට ගැනිණි. ඔහු 44 හැවිරිදි ඩබ්ලිව්. ඒ. ඉරෝෂ්ය. විවාහකයකු වන ඉරෝෂ්ගෙන් ප්‍රශ්න කරද්දී ඔහු නොයෙක් කතා කීවේය. එහෙත් පොලිස් නිලධාරින් ඒ වන විට දුරකතන විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඔහු නිල්මිණිට අපරාධය සිදුකළ තැනැත්තා සමඟ පැවැත්වූ සබඳතාව මනාව හඳුනාගෙන සිටියේය. ඒ අනුව ඔහු කී දෑ විමර්ශන නිලධාරින් අනාවරණය කරගත් තොරතුරු සමඟ පරස්පර වූ හෙයින් අත්අඩංගුවට ගෙන නඩු අංක 33415 යටතේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු රක්ෂිත බන්ධනාගාරගත කැරිණි.
අනතුරුව ප්‍රධාන සැකකරු සොයා දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ ඉදිරි විමර්ශන සිදුකළ පොලිස් නිලධාරින්ට සැල වූයේ එම පුද්ගලයා බණ්ඩාරගම, පරගස්තොට පාසල ඉදිරිපිට නිවසක පදිංචි පුද්ගලයකු බවය. ඒ ඔස්සේ විමර්ශන සිදුකළ නිලධාරින් අනාවරණය කරගත්තේ එම පුද්ගලයා එම නිවසේ රැඳි නොසිටින බවත් විටින්විට පැමිණ යන බවය. එලෙස විමර්ශන දින කීපයක් සිදු වෙද්දී කැස්බෑව පොලිසියේ නිලධාරියකුට තොරතුරක් ලැබුණේ එම පුද්ගලයා බණ්ඩාරගම, අළුබෝමුල්ල පොලිස් වසමේ ස්ථානයක සිටින බවය.
පොලිස් නිලධාරින් ක්ෂණයෙන් ඔහු සොයා ගිය ද සැකකරු එහි නොසිටියේය. එසැණින් තොරතුරක් ලැබුණේ ඔහු කැස්බෑවට පැමිණ ලූල්වල හංදියේ හෝටලයක තේ පානය කරමින් සිටින බව සඳහන් කරමිනි. පොලිස් නිලධාරින් එම ස්ථානයට යන විට සැකකරු හෝටලයෙන් එළියට විත් මාර්ගය යාබද සිටගෙන සිටියේ කිසියම් අපරාධයකට තවත් කුරුමානමක් අල්ලමින් බව පොලිස් නිලධාරින්ට තේරුම් යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත.
ක්ෂණයෙන් ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් එම ස්ථානයේදී 56 හැවිරිදි අනුර උදේශ් නමැත්තා අත්අඩංගුවට ගැනිණි. ඒ පසුගිය ජූලි 26 වැනිදා සවස 5.30ට පමණය.
අත්අඩංගුවට ගත් අනුරගේ සිරුර පරීක්ෂාවේදී ඔහු සඟවාගෙන සිටි අයිස් මිලිග්‍රෑම් 10200ක් සොයාගත් පොලිස් නිලධාරින් ඔහු කැස්බෑව පොලිසියට රැෙගනවිත් වැඩිදුර පරික්ෂා කරන්නට විය. එහිදී ඔහුගේ මුදල් පසුම්බියේ තිබී කාන්තා ජාතික හැඳුනුම්පත් 5ක්, ඒටීඑම් කාඩ්පත් 6ක්, ජංගම දුරකතන 5ක් සොයා ගැනිණි. ඊට අමතරව ඔහු සන්තකයේ අපූරු හැඳුනුම්පතක් ද තිබිණි. එය මියගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වාගේ පොලිස් නිල ඇඳුමෙන් යුත් රුව යොදා සාදවාගෙන තිබූ ව්‍යාජ පොලිස් හැඳුනුම්පතකි. එහි සඳහන්ව තිබුණේ පාණදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් පරීක්ෂක අජිත් කුමාර ද සිල්වා ලෙසිනි. 2022 පෙබරවාරි 10 වැනිදා දින යොදා තිබූ එම හැඳුනුම්පතෙහි අත්අඩංගුවට ගත හැකි අය ලෙස ගණිකාවන්, ගණිකා වෘත්තියේ යෙදෙන්නියන්, අනවසර ලැගුම්හල්, සම්බාහන වෘත්තියේ යෙදෙන්නියන්, අනියම් ඇසුරු පවත්වන්නන් හා පවත්වන්නියන් නම්කර තිබිණි.
විමර්ශන නිලධාරින් එම පොලිස් නිල ඇඳුමෙන් යුත් ඡායාරූපය දුටු සැණින් හඳුනාගත්තේ ඔහු ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ධුරය හොබවද්දී තම රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වාගේ ඡායාරූපය බවය. ප්‍රියංක ද සිල්වා කළුතර උතුර, බොරලැස්ගමුව වැනි අවට පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරයා ලෙස ද මිය යන්නට පෙර කටයුතු කළ නිලධාරියෙකි. එම ව්‍යාජ හැඳුනුම්පත නිර්මාණය කරගෙන තිබුණේ කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ව්‍යාජ හැඳුනුම්පත් නිර්මාණය කරන ස්ථානයකින් බවද පොලිස් ප්‍රශ්න කිරීමේදී අනුර පැවැසීය. අත්අඩංගුවට ගත් අනුරගේ ජංගම දුරකතන පරීක්ෂාවේදී කාන්තා ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබිණි. ඇතැම් ඡායාරූප අසභ්‍ය ඒවාය. අත්අඩංගුවට ගත් අනුර උදේශ් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි. එලෙස ඔහුගෙන් ප්‍රශ්න කරද්දී බොහෝ තොරතුරු හෙළිදරව් වන්නට විය.
අනුර ගාල්ල ප්‍රදේශයෙන් විවාහ වී සිටි අයෙකි. ඔහු තමා භාවිත කළ ජාතික හැඳුනුම්පත ලබාගෙන තිබුණේ ද ගාල්ලේ ලිපිනයටය. ඔහු යුද හමුදාවේ සේවය කළ අයෙකි. අනුර පොලිසියට කියා තිබුණේ තමන් කාලතුවක්කු බළකායේ සැරයන්වරයකු ලෙස සේවයෙන් පසු විශ්‍රාම ගිය බවය. එහෙත් පොලිසිය සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වි තිබුණේ අනුර 2006 වසරේදී යුද හමුදාවෙන් ඉවත්කර ඇති බවය. වැඩිදුරටත් ඔහු සිදුකළ අපරාධ ගැන ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ මෙවැන්නකි.
අනුර උදේශ් රැකියාවක් ලෙස කිසිවක් නොකරන අතරේ ඔහු කලක සිටම කර තිබුණේ තානායම්, තාවකාලික ලැගුම්හල්, ස්පා ආයතන ආසන්නයේ රැඳී සිටීමයි. එහිදී එම ස්ථානවල සිට එන ‘ජෝඩු‘ නැතිනම් ස්පා ආයතනවල සේවය කරන තරුණියන් ගැන අවධානයෙන් සිටින අනුර අනියම් ඇසුර පවත්වන වයස අවුරුදු 35, 40 වයසේ පසුවන අනියම් පෙම්වතුන් – පෙම්වතියන් ගැන අවධානයෙන් පසුවී එවැනි අනියම් යුවළ ලැගුම්හල්වල සිට එළියටවිත් පෙම්වතාගෙන් වෙන් ව යද්දී කාන්තාව පසුපස හඹාගොස් එම කාන්තාව අසලට ළංවී ඇය ඉතා සූක්ෂ්මව කොටුකර ගන්නා බව හෙළි විය.
ඔහු ‘තමා වලාන දූෂණ මර්දන බළකායේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අජිත් කුමාර…‘ යැයි කියමින් ව්‍යාජ හැඳුනුම්පත පෙන්වයි. අනතුරුව ඔහු එම කාන්තාවන් බිය ගන්වන්නේ නොයෙක් වහසි බස් කියන අතරේ ඔහු සතු ජංගම දුරකතනවල ඇති කාන්තා ඡායාරූප ද පෙන්වන අතරේදීය.
පසුව එලෙස ඔහුගේ බසට අවනත කරගන්නා කාන්තාවන් කැස්බෑව පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රථ රියැදුරුගේ ත්‍රීවිලරයට දමාගෙන රැගෙන යන්නේ හෝටලයක් වෙතය. එහිදී කාන්තාවගේ මුදලින්ම හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන ඇයට අතවරකොට ඈ සන්තකයේ මුදල් තිබේනම් එම මුදල් ද රැගෙන ඔහු පලා යයි.
එලෙස මෙකී පුද්ගලයා පාණදුර, මොරටුව, වාද්දුව, කළුතර, කැස්බෑව, නුගේගොඩ, කුලියාපිටිය ඇතුළු රටේ නන්දෙස පොලිස් වසම් කීපයකම මෙලෙස හැසිරීම නිසා නඩු 30කට අධික ප්‍රමාණයක් පවතින බවත් පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ. එසේම අනුර උදේශ්ට ත්‍රිරෝද රථ රියැදුරු ඉරෝෂ් සමඟ සබඳතාවක් ඇතිවී තිබුණේ වරක් කුලී රථ සපයන සේවාවකින් ත්‍රිරෝද රථය වෙන් කරවාගෙන කාන්තාවක අමාරුවේ දැමීමට යද්දී ත්‍රිරෝද රථ රියැදුරු සමඟ කුලුපග වීමෙන් පසු ඉරෝෂ් ඔහුට පවසා තිබුණේ, එවැනි ගමන් සඳහා ඔහුගේ පෞද්ගලික දුරකතනයට ඇමතුමක් දී සම්බන්ධ කරගන්නා ලෙසයි.
ඒ අනුව ඉකුත් ජනවාරි මාසයේ සිටම අනුර එවැනි ගමන් ගොස් ඇත්තේ එම ත්‍රිරෝද රථයෙන් බවත් මුලින් පොලිසිය ඉරෝෂ්ට ඇමැතුමක්ගෙන අත්අඩංගුවට ගත් දින ද ඔහු දෙහිවල ප්‍රදේශයේ රැඳී සිට ඇත්තේ ද අනුර සමඟ එවැනි ගමනකට ගොසින් බව පොලිස් විමර්ශනවලදී හෙළි විය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි මංජු වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති දිනේෂ් හෙට්ටිආරච්චි, සැරයන්වරුන් වන 75769 ජයතුංග, 61905 දිනේෂ්, කොස්තාපල්වරුන් වන 69959 සම්පත්, 93746 බාලකුමාර, 7419 ලක්ෂාන්, 91475 සංක සහ කාන්තා කොස්තාපල් 11824 මධුෂානි යන නිලධරයෝ විමර්ශනවලට එක් වූහ.
ඡායාරූප – බණ්ඩාරගම – බිමල් ජයසිංහ
අමිල මලවිසූරිය