Home » ලොව යුද ගිනි යළි නොමවේවා

ලොව යුද ගිනි යළි නොමවේවා

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

1947 වර්ෂයේ මාර්තු මාසයය. දෙවන ලෝක යුද්ධය අවසන් වී තිබුණි. මහාචාර්ය ඇල්බට් අයින්ස්ටයින් සිය සම්භාවනීය මිතුරු සමාජය සමඟ රාත්‍රියක් ගත කරමින් සිටියේය. භෝජන මේසය මතට ගෙනෙන තෙක් බලා සිටි ඔවුන්, සාකච්ඡාව සඳහා ලක් කරන ලද්දේ විද්‍යාව, දේශපාලනය ආදී මාතෘකාය. අයිස්ටයින්ගේ මිතුරකු ඔහුගෙන් එහිදී විමසා සිටියේ තුන්වෙනි ලෝක යුද්ධයේ ස්වභාවය කෙසේ වනු ඇතිද කියාය. විශේෂයෙන්ම න්‍යෂ්ටික අවි නිපදවා, අත්හදා බලමින් තිබූ එම කාලයේ, ඊළඟ ලෝක යුද්ධය ඇඟේ හයිය හෝ හිතේ සවිය අනුව නොව ‘තාක්ෂණික – තාක්ෂණික’ යන මාදිලියෙන් සිදුවන බවට සියලු අනාවැකි පළවී තිබුණි. මේ තාක්ෂණික හැඩරුව පිළිබඳව අයිස්ටයින්ගෙන් අසා ගැනීම ප්‍රශ්න නඟනා මිතුරාගේ අදහස විය. මඳක් දැහැන්ගත වූ අයින්ස්ටයින් “තුන්වෙනි ලෝක යුද්ධයේ ස්වභාවය සඳහන් කරන්නට මට හැකියාවක් නැහැ මිත්‍රයා… ඒත් මම සිවුවැනි ලෝක යුද්ධය පිළිබඳව ඔබට අනාවැකියක් කියන්නම්…” මිතුරා තුෂ්නිම්භූත වූවේ, දෙවැනි ලෝක යුද්ධය අවසන්ව, වසර දෙකකට වැඩි කාලයක් නොවීය. තෙවන ලෝක යුද්ධයක් පිළිබඳ සේයාවක් තවම නැත. එසේ වෙද්දී අයින්ස්ටයින් සිවුවැනි ලෝක යුද්ධය පිළිබඳව අනාවැකි ප්‍රකාශ කරන්්නේ කෙසේද? මිත්‍ර සමාජයම සලිත විය. “එය නිසැක ලෙසම පොලු, මුගුරු සහ ගල්වලින් සිදුවනු ඇත.”

ගිම්හානයේ පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උලෙළ ලෝක අවධානයෙන් ගිලිහී යන සේයාවක් පසුගිය අඟහරුවාදා මතු විය. ජය පරාජය සමව දරා ගැනීම සඳහා මිනිස් මනස පුරුදු පුහුණු කරන ක්‍රීඩාව අතරේ මැදපෙරදිග මතු වූ ගිනි බෝලය, තුන් වෙනි ලෝක යුද්ධයේ සංඥා දල්වා ඇත්තේය. එවැනි යුද්ධයක් නොමවේවා යන්න අපේ පැතුම වන්නේය.

පසුගිය ජූනි මාසයේ සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුචිච් ප්‍රකාශ කළේ, මේ වසරේ සැප්තැම්බර් 18 වන විට තුන්වෙනි ලෝක යුද්ධය ඇවිළී යෑමට හැකි බවය. රුසියාව සහ බටහිර රටවල් අතර ගැටුමේ අවසාන ඉම, එය වනු ඇතැයි සර්බියන් ජනාධිපතිවරයා කියා සිටින්නේය. මේ සියල්ල හඟවන්නේ ලෝකය ගමන් කරන දිශාවේ අවුලය.

වලාකුළක් ගෙන හිරු මුවා කර, මැදපෙරදිග කාලගුණ ගිනියම සිසිල් කළ හැක්කේ නමුදු, ඉරානය සහ පලස්තීනය සමඟ එකවර සටන් කරමින් ඊශ්‍රායලය සිදු කරන යුද්ධය කවර කඩතුරාවකින් හෝ වසා දැමිය නොහැකි තත්ත්වයක් දැන් වර්ධනය වී ඇත්තේය. ඉරානය, සිරියාව, ලෙබනනය, යේමනය සහ ගාසා තීරය එක් කඳවුරකට ගොනුවී ඊශ්‍රායලය සමඟ සටන් වැදීම සඳහා තීරණය කළහොත් මැදපෙරදිග අනිකුත් රටවල් ද සිය කඳවුරු වෙත ගාල් වෙනු ඇත්තේය. මේ වනාහි කිලෝමීටර් ගණනක් ඔබ්බෙන් වූ සතුරුකම අඟලකට කිට්ටුවීමකි. දැන් ඇත්තේ ගැටෙනවාද නැද්ද යන සන්දිස්ථානයට එය පැමිණෙන්නේ කවදාද යන ප්‍රශ්නයය. මානව සංහතිය පුරා මේ ආකාරයෙන් ලේ ගලා ගෙන ගියේය. මිනිසා ශිෂ්ටාචාරයේ ඉහළට පැමිණියේ වුව ද ඔහු සතුව ඇති සියලු තාක්ෂණ විධි, මනුෂ්‍ය ගති පරයමින් යුද්ධය සඳහා ප්‍රියතාව දක්වන මිලේච්ඡයා අවදි වන්නේය.

පැමිණ ඇත්තේ එවන් මොහොතකි.

රටක් ලෙස ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ඔළුව උස්සන මොහොතකය. බංකොලොත්භාවයෙන් පීඩා විඳි කාලය නිමා කර ගත්තා පමණි. මේ අතරට යුද උපද්‍රවයක් පැමිණියහොත් අප මුහුණ දෙන්නේ සුළුපටු කරදරයකට නොවේ. ඉරානය යනු භුමි ප්‍රමාණයෙන් ලොව දහ අටවෙනි රටය. එහි ජනතාව සඳහා තේ විකිණීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන අදායමකි. ඉරානය, ඉරාකය සහ පලස්තීනයට සිය තේ නිෂ්පාදනයෙන් 50%ක් ශ්‍රී ලංකාව සපයන්නේය. තවත් 20%ක් යවන්නේ රුසියාවටය. අර්බුද පහත් වන්නේම මේ ස්ථාන බලා හෙයින් කොයි කවුරු යුද වැදුණ ද අපට සිදුවන හානිය දරුණුය.

අපට ධනය ගෙන එන විදෙස් ශ්‍රමිකයන් ගණනාවක් සිටින්නේ මැදපෙරදිග කලාපයේය. රට විරුවන් ගෙන එන සල්ලි මල්ල දෙස පමණක් නොව ඔවුනගේ ජිවිත දෙස ද අප බැලිය යුත්තේය. මැදපෙරදිග ගිනි ඇවිළෙනවා යැයි ආරංචි වන විටම, මේ ආකාරයේ භයංකාරයක් අපට මැවී එන්නේය. යුද්ධයේ පළමු උණ්ඩයෙන්ම මනුෂ්‍යත්වය මිය යන්නේය. ඒ පිළිබඳව අප කම්පා වන්නා සේම, මෙවන් අහක යන ගිනි අපට පත්තු වෙන ආකාරය පිළිබඳව ද සිහියක් තිබිය යුත්තේය.

ශ්‍රී ලංකාව වසරේ ලොකුම බිල ගෙවන්නේ තෙල් සඳහාය. අපගේ ආනයන වියදමෙන් හතරෙන් එකක් තෙල් ගෙන්වීම සඳහා වැය වන්නේය. මැදපෙරදිග යුදමය තත්ත්වයක් මතු වුවහොත් මේ බිල සීමාව පන්නා ඉහළ යනවා ඇත. නිෂ්පාදනය අඩාළ වීම, නැව් ආදී සැපයුම් සේවා පමා වීම හේතුවෙන් බඩු හිඟය ද මතුවිය හැක්කේය. ඒ ආකාරයේ අකරතැබ්බයක් මේ මොහොතේ ඇතිවූ විට, ශ්‍රී ලංකාව දැන් අත්විඳින ආර්ථික සැනසුම පහව යන්නේය.

ආර්ථික ආරක්ෂණය යනු මුදල් අතිරික්තය හෝ ඉතුරුව පමණක් නොවේ. එන තත්ත්වය සඳහා මුහුණදීමට කල්තියා සැලසුම් නිර්මාණය කර ගැනීමය. සංචාරක කර්මාන්තය ආදිය ද මේ හේතුවෙන් අඩාළ විය හැකි බැවින්, ඒ ගැන කල්තියා කල්පනා කිරීම සහ සැලසුම් යෙදීම අද දවසේ අපගේ කාර්යය වන්නේය.

අපහසුතා ආදිය ඉවසා ගෙන රටක් ලෙස කල්පනා කිරීම වැදගත් වන්නේ මේ හෙයිනි. රජය මේ සුදානම වෙනුවෙන් ප්‍රධාන කමිටු තුනක් පත් කර තිබේ. ලැබෙන හැම දත්තයක් කෙරෙහිම අවධානය යොමු කරමින්, රට උදෙසා සැලසුම් සකස් කිරීම එම කමිටු වෙත භාර දී තිබේ.

ශ්‍රී ලංකාව ලෙස ඒ ආකාරයට කල්පනා කරන අතරේ ලෝකවාසීන් ලෙස යුද ගිනි නොමවේවා යන පැතුම සහ ඒ සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග අප ගත යුත්තේය. ජපානයේ සාමය උදෙසා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන දායක වූවා සේ, ඉන්දු – චීන යුද්ධය නැවැත්වීම සඳහා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රියා කළා සේ බෞද්ධ හර පද්ධතිය සහිත මේ ජාතිය, ලෝකය යුද බිය නොමැති කලාපයක් කිරීම සඳහා තම හැකියාව උපරිමයෙන් ලබාදිය යුතුය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division