(1934 දී සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ ඉතාලි ජාතික Luigi Pirandello (1867 – 1936) ලේඛකයාගේ “ War” කෙටිකතාවේ පරිවර්තනයයි)
lපරිවර්තනය – ධීතිකා නීලනයනා හේරත්
රෝමයේ සිට රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රියෙන් පැමිණි මගීන් හට, සල්මෝනාව හරහා යන පරණ තාලයේ කුඩා දුම්රිය එනතෙක් පසුදා පහන් වන තුරු ෆැබිරියානෝ කුඩා දුම්රියපොළේ රැඳී සිටින්නට සිදු විය.
අවමංගල ඇඳුමෙන් සැරසුණු, සිත් ගන්නා හැඩයක් නොමැති විසල් සිරුරින් යුතු වූ කතක්, රාත්‍රියේදී මගීන් පස් දෙනෙකු රැගෙන ආ දුමින් පිරුණු වාතාශ්‍රය අඩු දුම්රිය මැදිරියක් වෙතට ඇදුණාය. දීප්තිමත් වූත්, ලජ්ජාශීලී වූත්, නොසන්සුන් කුඩා දෑසකට උරුමකම් කියූ, සිහින් දුබල, සුදුමැලි වූ වතැති කුඩා මිනිසකු වූ ඇයගේ ස්වාමිපුරුෂයා, කෙඳිරිගාමින් ද, සිය පයිප්පයෙන් දුම්රොටු පිටකරමින් ද, ඇය පිටුපසින් ඇදුණේය.
අවසන අසුන් ගැනීමෙන් ඉක්බිති සිය බිරියට මැදිරියේ ඉඩකඩ සලසා දුන් මගීන්ට හෙතෙම, විනීත ලෙස ස්තූති කළේය. පසුව ගැහැනිය දෙසට හැරී ඇයගේ කබායේ කරපටිය සැකසීමට උත්සාහයක යෙදෙමින් හේ විනීතව විමසුවේය. “ ප්‍රශ්නයක් නෑ නේද මැණිකේ? ”
පිළිතුරු දීම වෙනුවට ඇය ගේ මුහුණ සඟවන පරිද්දෙන් ඕ කරපටිය නැවත ඉහළට ඔසවා ගත්තී ය.
“ නින්දිත ලෝකෙක හැටි ” දුක්බර සිනහවකින් යුතු වූ ස්වාමිපුරුෂයා මතුළේය.
යුද පිටිය කරා පියනඟන්නට යෙදුණු, ඇයගේ එකම දරුවා ගැන සොවින් තැවෙන අසරණ මව පිළිබඳව යමක් විස්තර කිරීම සුදුසු යැයි සිතූ මිනිසා ඒ සම්බන්ධව සිය මගී සගයින් ඉදිරියේ කරුණු ගෙන හැර තැබුවේය. ඔහු පුතු විසි වියේ පසු වූ තරුණයෙකි. සල්මෝනා හි පිහිටි තම ගෙදර පවා කඩා දමමින්, පුතුගේ අධ්‍යාපනය වෙනුවෙන් රෝමය වෙත පැමිණෙන්නට යෙදුණු ඔවුන් සිය පූර්ණ දිවියම කැප කළේ ඔහු වෙනුවෙනි. ඉනික්බිති, යුද හමුදාවට බැඳුණ ද, අවම වශයෙන් මාස හයකට යුද පෙරමුණට නොයන බවට සහතික වූ ඔහු, හදිසියේ ම තව දින තුනකින් එහි වාර්තා කිරීමට සිදු වී ඇති බැව් මාපියන් වෙත දන්වන ලදී. ඔහුගෙන් සමුගැනීම සිදු කරනු වස් මව්පිය යුවළ ඔහු කරා යන ගමනයි මේ.
ස්වාමියා ගෙන හැර පෑ, විස්තරයට සමාන එකම ඉරණමකට මුහුණ පෑ බහුතරයක් ගැවසි ඒ මැදිරියේ කිසිවකුගෙන් දයානුකම්පාවේ බින්දු මාත්‍රයක් හෝ නොලැබෙන බැව් හැඟී ගිය ගැහැනිය, විසල් කබාය තුළ ඇඹරෙමින් ද, නළියමින් ද, වරෙක වන සීපාවකු මෙන් කෝපයෙන් ද පිපුරුණාය. ඔවුනතරින් සුවිශේෂී අවධානයෙන් පසු වූ එකකු සිය හඬ අවදි කළේය. “ ඔහේ දෙයියන්ට පින් දෙන්ට ඕන, මොකද ඔහේ ගේ පුතා පෙරමුණට යන්නේ මේ දැනුයි. මගේ පුතාට යුද්ධෙ පටන් ගත්ත පළමුවැනි දවසෙම යුද පිටියට යන්න වුණා. එයා දෙපාරක්ම තුවාල වෙලා ආපහු ඇවිත් ආයෙමත් පෙරමුණට ගියා. ”
“ඇයි මගේ ? ” මගේ පුතාලා දෙන්නෙකුයි, බෑනලා තුන් දෙනෙකුයිත් ඉන්නේ පෙරමුණේ. ”
“ වෙන්ට ඇති, ඒත් මේ අපට ඉන්න එකම පුතා ” එඩි හඬකින් යුතුව ස්වාමි පුරුෂයා පැවසීය.
“ ඉතිං මොකක්ද ඒකෙ වෙනස? වැඩිපුර අවධානය යොමුකරලා ඔහේට පුළුවන් ඔහේ ගේ එකම පුතා නරක් කරගන්ට, ඒත් ඔහේට තව පුත්තු හිටියනං, ඔහේ එතකොට මේ පුතාට ආදරේ කරන්නේ කොච්චරක් ද? ඊට වැඩිය ආදරයක් දැන් මෙයා එකම පුතා වුණා ය කියලා කරන්නේ නැහැ. මව්පියන්ගේ ආදරේ කියන එක මේ පාන් පෙති කපනවා වගේ කෑලි වලට කපලා ළමයින් අතරේ සම සමව බෙදන්ට පුළුවන් දෙයක් නෙවෙයි. පියකු හැම දරුවකුටම එක විදියට ආදරෙයි, එක්කෙනෙක් වුණත්, දහයක් වුණත්, ඒක එහෙමයි. මම මගේ ළමයින් දෙන්නෙක් වෙනුවෙන් විඳවනව කියන්නේ, විඳවිල්ලෙන් බාගයක් එක ළමයෙක් වෙනුවෙනුත් අනිත් බාගෙ අනිත් එකා වෙනුවෙනුත් කියන එක නෙමෙයි නෙ, ඒ එක එකෙක් වෙනුවෙන් මා දෙගුණයක් විඳවනවය කියන එකයි මට කියන්ට තියෙන්නේ……..”
“ ඇත්ත……..ඇත්ත……..” අපහසුතාවට පත් ස්වාමිපුරුෂයා සුසුම් හෙළීය. “ ඒත් හිතමු යුද පිටියට ගිය පුත්තු දෙන්නෙක් හිටපු පියකුට එක පුතෙක් නැති වුණත්, (අනේ හීනෙකින් වත් ඔහෙට එහෙම වෙන්න නම් එපා) සැනසෙන්නට තව පුතෙක් හරි ඉන්නවනේ………..අනිත් කෙනා …….”
“ ඔව්” අනෙකා ඊට උරණ වූ ස්වරයෙන් හඬ අවදි කළේය. “ ඒ තාත්තව සනසන්නට එක පුතකු ඉතිරි වෙනවා විතරක් නෙවෙයි, ඒ පුතා වෙනුවෙන් තාත්තට ජීවත් වෙන්ටත් සිද්ධ වෙනවා. ඒත් එක පුතකු ඉන්න පියකුගේ තත්ත්වය ඊට වෙනස්, පුතා මළොත් තාත්තටත් පුළුවන් ඒ එක්කම අවසන් ගමන් ගිහිල්ලා, එයාගෙ දුකට නැවතීමේ තිත තියන්ට. ඔය දෙකෙන් කොයි එකද වැඩිය නරක ? ඔහෙට හිතෙන්නෙ නැද්ද මගේ තත්ත්වය ඔහේට වැඩිය භයානකයි කියලා”
“ විකාර” අඳුරු ලේ පැහැයට හුරු දෑසැති, රතු මූණැති, තරබාරු වූ තවත් මගියකු බාධා කළේය.
ඔහු හති දමමින් සිටියේ ය. ඔහුගේ ඉදිරියට නෙරූ දෑස්, ඔහුගේ දුබල සිරුරේ අණසකට නතු නොවූ ඔහු සතු ජීව ශක්තියේ අභ්‍යන්තරික ප්‍රකම්පනය උසිගන්වන්නාක් බඳු විය.
“විකාර” ඉදිරිපස දත් දෙකක් රහිත වූ හෙතෙම එබැව් සඟවන්නට මෙන් සිය අතින් මුව වසා ගැනීමේ ප්‍රයත්නයක යෙදෙමින් පුනරුච්චාරණය කළේය. “ විකාර,අපට ප්‍රයෝජන ගන්ට ද අප ළමයින් හැදුවෙ ?”
අනෙකුත් මගීහු ඔහු දෙස බලාපොරොත්තු සිඳුණු දෑසින් නෙත් යොමා සිටියහ. පළමු දිනයේ ම පෙරමුණට ගිය පුතු ගේ පියා සුසුම් හෙලීය. “ ඔහේ හරි, අපේ ළමයි අපට අයිති නැහැ. උන් අයිති රටට………”
“සමයං” තරබාරු මගියා හරස් කැපුවේය. “ එතකොට අපි මේ ළමයින් හැදුවේ රට ගැන හිතලා ! අපේ ළමයි අපට ලැබුනෙ ……..හොඳයි, අපේ ළමයි අපට ලැබුණෙ උන් අපට ලැබෙන්ට ඕන හන්දා, උන් උපදින්නේ අපෙන් ජීවිතය අරගෙන. ඔන්න ඕකයි ඇත්ත. අප උන්ට අයිතියි. අපට උන් අයිති නැහැ. අවුරුදු විස්සේදී අප හිටියේ කොතනද, ඒගොල්ලන්ට අවුරුදු විස්ස ලබනකොට ඒගොල්ල ඉන්නෙත් එතැනයි. අපටත් අම්මා, තාත්තා හිටියා. ඒත් ඒ එක්කම තව දේවලුත් තිබුණා……….කෙල්ලන්, සිගරැට්, මායාවල්, අලුත් බැඳීම් ……….ඒත් එක්කම අම්මා තාත්තා එපා කිව්වත්, අවුරුදු විස්ස වෙද්දී රට වෙනුවෙන් කැප වෙන්ටත් අප ලකලෑස්ති වෙලා හිටියා. දැන් මේ අපේ වයසෙදීත් අපේ හිත්වල රට වෙනුවෙන් තියෙන කැක්කුම තාමත් ප්‍රබලයි, ඇත්තෙන් ම දරුවන්ට තියෙන ආදරේට වැඩිය ප්‍රබලයි, හා හොඳයි. පුළුවන්කමක් තියේ නම්, තමුන්ගෙ පුතා යුද පිටියේ ඉන්නේ කොතන ද අන්න ඒ තැන සන්තෝසෙන් භාර ගන්ට අකමැති කවුරුවත් මෙතන ඉන්නවද?”
නිහැඬියාවක් පැතිරුණි, ඔහු කී දේ අනුමත කරන පරිද්දෙන් සියල්ලෝම හිස වැනූහ.
“ ඇයි?” තරබාරු මිනිසා නොකඩවා සිය කතාව කරගෙන ගියේය. “ අපේ ළමයින්ට අවුරුදු විස්ස වෙනකොට ඒ ගොල්ලන්ගෙ හැඟීම් ගැන අපි හිතන්ට ඕන නැද්ද? ඒ ගොල්ලන්ගෙ හිත්වල අපට තියන ආදරයට වඩා රට ගැන දැනෙන හැඟීම ස්වාභාවික දෙයක් නෙමෙයිද? (මා ඇත්තෙන්ම මේ කතා කරන්නේ ගරු කටයුතු ළමයි ගැන) ජීවිතේ තිත්ත, නීරසකම, නින්දිතකම, මායාවල්වල අමිහිර කියන එක විඳවන්නෙ නැතුව, මිනිහකු තරුණ වයසෙදිම සතුටින් මැරෙනවා නම්……….ඒ මිනිහා වෙනුවෙන් අප තවත් යදින්නෙ මොනවද? හැම මිනිහකුම අඬන එක නවත්තන්නට ඕන, හැම මිනිහකුම හිනාවෙන්ට ඕන, හරියට මා වගේ………..නැත්නම් අඩු තරමින් දෙයියන්නාන්සෙට ස්තූති කරන්න ඕන. හරියට මා කරනවා වගේ – මොකද මගේ පුතා මැරෙන්ට කලින් මට පණිවිඩයක් එවලා තිබුණා, කෙනෙකුට මැරෙන්ට පුළුවන් හොදම තෘප්තිමත්ම විදිය මොකක්ද ඔහුගේ ජීවිතය අවසන් වෙන්නෙත් ඒ විදියට නිසා සතුටෙන් මැරෙන්ට පුළුවන්ය කියලා. ඔහේලට පේනවා මා අවමඟුල් ඇඳුමවත් ඇඟට දාගත්තේ නැහැ, ඒ අන්න ඒ නිසයි………….”
එය අන්‍යයන්ට ඒත්තු යන පරිද්දෙන් හේ සිය ළා දුඹුරු කබාය සෙලවූයේය. ගිලිහුණු දත්වලට ඉහළින් පිහිටි ඔහුගේ අඳුරු රතු පැහැ උඩු තොල වෙව්ලමින් තිබුණි. සජල දෑස් චලනයෙන් තොර විය, ඉනික්බිති උස් ස්වරයකින් මතු වූ ඉකියක් බඳු වූ සිනහවකින් ඔහුගේ කතාව අවසන් විය.
“සහතික ඇත්ත…….සහතික ඇත්ත……..” සියල්ලෝ එකඟ වූහ.
පසුගිය තුන් මාසය පුරා සිය හදවත වෙලා ගත් දරුණු ශෝකය සමනය කරනු වස් ස්වාමිපුරුෂයා ගේ ද, මිතුරන් ගේ ද ඔවදන් තුළ කිසිදු සැනසීමක් සොයා ගත නොහැකි වූ ගැහැනිය, මරණයට නොව, හුදෙක් අන්තරායකාරී දිවිපැවැත්මකට සිය පුතු යොමුවීමෙන් පවා උපදින ශෝකය, මවක විසින් දැරිය යුත්තේ කෙසේද යන්න පසක් කරගනු වස් එකම එක සැනසුම් වදනක් සොයමින් කබාය තුළ ගුළි වී, මැදිරියේ මුල්ලකට වී නිහඬවම සියල්ල අසා සිටියාය. සිය ස්වාමිපුරුෂයා හා මිතුරන් පැවසූ කිසිදු වදනක ඇය සෙවූ සැනසිල්ල නොතිබුණි. ඇයගේ හැඟීම් බෙදාගනු වස් කිසිවකු නොමැති බව සිතත් ම එය ඇයගේ ශෝකය වඩ වඩා තීව්‍ර කළේය.
එහෙත් මොහොතකට පෙර හඬ අවදි කළ මගියාගේ වදන් කනවැකුණු ගැහැනිය අතිශයින් විස්මයට පත් වූවාය. ගැටලුව වූ කලි, අන්‍යයන්ට තමා තේරුම් ගැනීමට නොහැකි වීම නොව පුතුන්ගේ තාවකාලික වෙන්වීම පමණක් නොව, සදාකල් වියෝව ද, නිහඬවම දරා ගත් උත්තම මව්වරුන් සහ පියවරුන් සතු ආධ්‍යාත්මීය ශ්‍රේෂ්ඨත්වය තමා සතුව නොමැතිවීම බැව් ගැහැනිය ක්‍ෂණිකව පසක් කර ගත්තාය.
ඇය හිස එසවූවාය. කිසිදු තැවුලක් නොමැතිව සිය මාතෘ භූමිය වෙනුවෙන් විරුවකු ලෙස තම දිවිය පුද දුන්, තරබාරු මිනිසාගේ පුතු පිළිබඳව ඔහු පවසන දෙයට වඩා අවධාරණයෙන් ඇහුම්කන් දෙනු වස් ඕ තව තවත් ඉදිරියට නැඹුරු වූවාය. කිසිදින සිහිනෙන් හෝ නොදුටු නව ලොවක් වෙත ඇය පා තබන බවක් ඇයට හැඟුණි, සිය දරුවාගේ මරණය අකම්පිතව උසුලා සිටින මේ ගෞරවනීය පියා වෙත අනෙකුත් මගීන් සිය හෘදයාගම උණුසුම් සුබ පැතුම් පිරිනමන අයුරු ඕ සොම්නසින් බලා සිටියාය.
ඉනික්බිති, ක්‍ෂණිකව ම සිහිනයකින් අවදි වූ පරිදි, ඕ මෙතුවක් පැවසූ කිසිවක් නෑසුණු අයකු සේ, වියපත් මිනිසා දෙසට හැරී සිය මුව විවර කළාය.
“එතකොට…………..ඔයාගේ පුතා……………ඔයාගේ පුතා…………ඇත්තටම මැරුණද?”
සියල්ලෝ ඇය දෙස දෑස් දල්වා බලා සිටියහ. ගැහැනිය දෙස බලනු වස් සිය අඳුරු විසල් සජල දෑස් ඇය වෙත යොමු කළ වියපත් මිනිසා ද, ඇය වෙත සිය දෑස් විහිදා බලා සිටියේය. ඉනික්බිති හේ පිළිතුරු දෙන්නට වෑයම් කළේය. එහෙත් ඔහුගේ මුවින් පිටවූ වදන් එකිනෙක පැටලුණි. තත්පර, විනාඩි ගත වී ගියේය. ඔහුගේ දෑස් ඇය මත ම රැඳී තිබුණි. ඉක්බිති ක්ෂණිකව අවස්ථාවෝචිත නොවූත්, මුග්ධ වූත් එකී පැනය ඔහුගේ පුතු මිය ගොස් ඇති බව ඔහුගෙන් සදහටම වියෝවී ඇති බව ඔහුට පසක් කළේය. ඔහුගේ මුහුණ කුඩා වී ගියේය, එය වේදනාවෙන් හැකිළුණි. ශෝකයෙන් ඇඹරුණි, සංවේගයෙන් විකෘති වුණි. ඉක්බිති ක්ෂණිකව සිය සාක්කුවෙන් ඇදගත් ලේන්සුව දෑසට තද කර ගත් මහලු මිනිසා සියල්ලන් විමතියට පත් කරමින්, හද කකියවන අනුවේදනීය වැලපුමක පුපුරා වැටීම දෝංකාර නංවමින් මහ හඬින් හඬා වැටුණේය.
ඔබගේ කෙටිකතා නිර්මාණ අප වෙත යොමු කරන්න
කෙටිකතාව
“සිළුමිණ” ලේක්හවුස්, කොළඹ.
හෝ
editor.silumina@lakehouse.lk
විදත් ලිපිනයට යොමු කරන්න