ජීවිතයේ අවිනිශ්චිතතාව පිළිබඳ නිදසුන් ඕනෑ තරම් ඇත. හිතන්න….හොඳින් ඇවිද යන ඔබ ඊළඟ නිමේෂයේ ඇද වැටීමක්, රිය අනතුරක් වැනි හදිසි අනතුරකට ලක්වුවහොත්?… එහි අවසානය මරණයෙන් කෙළවර නොවුණත් යළි කිසිදාක දෙපයින් ඇවිද යා නොහැකි ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් ඔබේ සිහින සහ ඉලක්කවලට සිදු වන්නේ කුමක්ද? රෝද පුටුවකට, ගිලන් යහනකට සීමා වූ ජීවිතය එතැනින්ම නතර වූ බවක් ඔබට හැඟෙනු ඇත. මෙරට ජනගහනයෙන් ලක්ෂ 17ක් පමණ වන ආබාධ සහිත පුද්ගලයන් අතරට ඔබ ද එක් වනු ඇත.
එහෙත් දියුණු විදෙස් රටවල ආබාධිත දරුවන් සහ තරුණ තරුණියන් රෝද පුටුවල හිඳගෙන පවා සිය ජීවිතයේ ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට තරම් වාසනාවන්තය. ඊට හේතුව එම රටවල ආබාධිත උපකරණ නිෂ්පාදන වන්නේ විශේෂඥ දැනුම සහ තාක්ෂණය යටතේ එක් එක් පුද්ගලයාගේ ආබාධිත බව සඳහාම විශේෂිත වූ ආකාරයට වන නිසාය.
අවාසනාවකට මෙන් මෙරට අප බහුලව දකින්නේ වැඩිහිටි ආබාධිතයන් සඳහා පිටරටින් ගෙන්වන ලද රෝද පුටු සහ ඇඳන්ය. වියපත් බව නිසා ඇවිදීමට අපහසු වැඩිහිටියන් මෙන්ම උපතින් විවිධ ආබාධවලට ලක්වූ කුඩා දරුවන්ටත් හදිසි අනතුරුවලට ලක්වීමෙන් ආබාධිත වූ තරුණ තරුණියන්ටත් භාවිත කිරීමට ඇත්තේ එම රෝද පුටු ය. සිය ආබාධිත බවට නොගැළපෙන සිරුරට කිසිදු සුවපහසුවක් නැති එම රෝද පුටු භාවිත කරන තරුණ තරුණියන් සහ කුඩා දරුවන්ගේ මානසික තත්ත්වය පිරිහී ඔවුන් ජීවිතය එපා වන තත්ත්වයට පත්වීම පුදුමයට කරුණක් නොවේ.
එම තත්ත්වය මනාව අවබෝධ කරගනිමින් ලංකාවේ මුල් වරට එක් එක් පුද්ගලයාගේ ආබාධිත බව සඳහාම නිෂ්පාදිත ආබාධිත උපකරණ හඳුන්වා දුන් ව්‍යවසායකයකු අපට හමු විය. ඔහු භෞත චිකිත්සක සමීර චන්දිමාල් පොන්සුගේ (43) ය. අනුරාධපුරයේ උපන් ඔහු අනුරාධපුර නිවත්තක චේතිය මහා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියේ විද්‍යා අංශයෙනි. ව්‍යාපාරිකයකු සහ ගුරුවරියක වූ මවුපියන්ගේ පැතුම වූයේ සිය පුතුන් තිදෙනාගෙන් වැඩිමහල් පුතු වෛද්‍යවරයකු වනු දැකීමය.
” අම්මගෙ තාත්තාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න වෛද්‍ය පීඨයට ඇතුළු වුණත් ඒ වෙද්දිත් මම භෞත චිකිත්සක පාඨමාලාව හදාරමින් හිටියෙ. සරසවි අධ්‍යාපනය අතරමඟ නතර කරලා මම ඒ පාඨමාලාව අවසන් කරලා භෞතික විකිත්සකවරයෙක් විදිහට රාගම ශික්ෂණ රෝහලේ සේවයට එක් වුණා. ඊට පස්සේ කොළඹ රිජ්වේ ළමා රෝහලට සම්බන්ධ වෙලා අවුරුදු 10ක් පමණ එහි සේවය කළා. භෞතික චිකිත්සකවරයෙක් විදිහට පුහුණුව ලබන කාලේදි මම දැකපු දෙයක් තමයි ඇවිද්දවන්න පුළුවන් ආබාධිත දරුවන් හමු වුණත් ඔවුන්ව ඇවිද්ද වන්නෙ අත්දෙකෙන් අල්ලගෙන. ඉන්දවන්න, හිටවන්න පුළුවන් ආබාධිත දරුවන් වෙනුවෙන් පාවිච්චි කළේ කිසිම තාක්ෂණික දැනුමක් නැතිව. කවුරු හරි බාස් කෙනෙක් හදපු ලෑලි පුටුවක්, යකඩ පුටුවක්. ඒ නිසාම මම නිවැරදි තාක්ෂණයෙන් යුතු ආබාධිත උපකරණ හදන හැටි හෙව්වා. ලංකාවේ එහෙම ඒවා තිබුණෙ නැහැ. ලෝකයේ තිබුණේ ඉතාම මිල අධික උපකරණ. ඒ නිසා මම හිතුවා මේ වගේ උපකරණ හදන්න උත්සාහ කරලා බලනවා කියලා. ”
එය පහසු කාර්යයක් නොවූ බව භෞත චිකිත්සක සමීර චන්දිමාල් කීවේය.
“මම මේ උපකරණ හදන්න පටන් ගත්තේ භෞතික චිකිත්සාව හදාරන ශිෂ්‍යයෙක් විදිහට ඉන්න කාලෙදි.. ඒ කාලේ මට බෝඩිම් දෙක තුනකින්ම යන්න කිව්වා මේ වැඩ කරනකොට සද්දෙ වැඩි නිසා. ඒ කාලේ භෞතික විද්‍යා දැනුම හැර උපකරණ ගැන ලොකු දැනුමක් තිබුණෙ නැති නිසා හදපු ඒවා සාර්ථක වුණා අඩුයි. ගෙනිච්ච උපකරණ ආපහු ගෙනත් දීලා ගිය අවස්ථාත් තිබුණා. මීට අවුරුදු හතකට විතර කලින් මම අංශභාගය හැදුණු අම්මා කෙනෙකුට වෝකර් එකක් හැදුවා. එයාගෙ පුතා මට කතා කරලා කිව්වා, “මේ වගේ යකඩ ගොඩවල් හදලා මිනිස්සුන් විකුණනවට තමුසෙට හෙණ ගහනවා” කියලා. මම කල්පනා කළා මේ මනුස්සයා මොකක්ද මේ කිව්වෙ කියලා. ඒ වගේම වෝකර් එකක් නැවත හදලා මම ඒක දිහා බලාගෙන කල්පනා කරද්දි මට හිතුණා, ඇත්තටම හෙණ ගහනවා තමයි නේද කියලා. මම මාසයක් විතර යනකම් කිසිම උපකරණයක් හැදුවෙ නැහැ. මම එදා හිතාගත්තා මීට පස්සේ ගුණාත්මක උපකරණයක් හැර මම කිසිම උපකරණයක් කාටවත් විකුණන්නෙ නැහැ කියලා. ඊළඟට මම ඒ වෝකර් එක පුළුවන් උපරිම ගුණාත්මක තත්ත්වයෙන් හදලා ඒ මහත්මයට ඒකේ පින්තූරයක් යැව්වා, ඔබතුමා ළඟ තියෙන උපකරණය මට එවන්න, මම මේක එවන්නම් කියලා. එතකොට ඔහු කිව්වා, “අන්න එහෙම තමයි ඔයාට හදන්න බැරිනම් පිටරටින් කොටස් ගෙන්නලා එකලස් කරලා හරි මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න”කියලා. එයා හිතුවේ නෑ ඒක මම හදපු එකක් කියලා. එයා එදා කියපු හෙණ ගහන කතාව තමයි අද මගේ ව්‍යාපාරයට සාර්ථකත්වය ගෙනාවේ. දැන් මම හදන උපකරණයක් දකින බොහෝ දෙනෙක් හිතන්නෙවත් නැහැ ඒක ලංකාවේ හදපු එකක් කියලා. මගේ උපකරණවල තත්ත්වය ඉහළ නංවන්න මුල් වුණු ඒ මහත්මයාට මම හැමදාම ණය ගැතියි වගේම මගෙ ජීවිතේ තියෙන තුරු මගේ නිෂ්පාදනවල අංක එක විදිහට සලකන්නෙ තත්ත්වයයි, ගුණාත්මක භාවයයි. ”
එසේ ඇරඹි ගමන එක් එක් පුද්ගලයා වෙනුවෙන්ම විශේෂිත වූ ආබාධිත උපකරණ නිෂ්පාදනය කිරීම මෙරටට හඳුන්වා දීමේ ප්‍රමුඛයා වීමේ භාග්‍යය සමීර චන්දිමාල් ට හිමිකර දුන්නේය.
“2022 සංඛ්‍යාලේඛන අනුව ලංකාවේ ආබාධිත දරුවො ලක්ෂ 5ක් ඉන්නවා. සාමාන්‍යයෙන් ආබාධිත දරුවො දහ දෙනෙක් ගත්තොත් ඒ දහදෙනා දහ විදිහක්. නමුත් අපේ රටේ හැම ආබාධිත පුද්ගලයාටම පාවිච්චි කරන්න තියෙන්නේ රෝද පුටුව විතරයි. ඒවා වෙනස් වෙන්නෙ ප්‍රමාණය අනුව විතරයි. ඒවා පාවිච්චි කරන දරුවාට කිසිම සුව පහසුවක් නැහැ. මම කළේ ඒ ඒ රෝගියගේ ආබාධිත තත්ත්වය අධ්‍යයනය කරලා ඔහුගේ ශරීර මිමිවලට අනුව ඔහුට අවශ්‍ය උපකරණය නිර්මාණය කිරීමයි. මම අන්තර්ජාලයෙන් කොපි කරලා උපකරණ නිර්මාණය කරන්නෙ නැහැ. මිනිස්සුන්ගෙන් බැණුම් අහලා, වැරදි වැරදී හරි මමම නිර්මාණය කරපු උපකරණයි නිෂ්පාදනය කරන්නෙ. මේ දක්වා කිසිම ඉංජිනේරුවකුගේ සහාය අපේ ආයතනය ලබාගෙන නැහැ.
මුල් කාලයේ මම ග්‍රයින්ඩින් මැෂින් එකක් අල්ලන්නවත් දන්නෙ නැහැ. අවශ්‍ය දේවල් වෙල්ඩින් කරගන්න ගියාම අපි ඕවා කරන්නෙ නෑ කියලා හරවලා එවපු අය හිටියා. ඒ හින්දා වෙල්ඩින් ප්ලාන්ට් එකක් අරගෙන වෙල්ඩින් කරන්න පුරුදු වුණා. මම මේ උපකරණ හදන්න පටන් ගත්තේ 2012දී. මම හදන හැම උපකරණයකම මහන කොටස කරන්නේ මගෙ බිරිය. රජයේ රැකියාවක් කළ ඇය ඉන් ඉවත් වුණේ මට උදව් කරන්නයි. ඊට කලින් ඇයත් මහන මැෂිමක් අල්ලලාවත් තිබූ කෙනෙක් නෙවෙයි. නමුත් අද දක්වා උපකරණවල මහන කොටස ඉතාම පිළිවෙළට ඇය කරනවා. ඒ කාලේ මට යාළුවෝ විහිළු කළේ, උඹ කම්මල්කාරයෙක් වෙන්න තිබුණේ කියලා.
ඒ අයම දැන් මට කියනවා උඹ ඉන්න තිබුණේ නාසා එක වගේ තැනක කියලා. ව්‍යාපාරය පටන් අරගෙන අවුරුදු හයක් විතර ගියාමයි සාර්ථකත්වයට ළඟා වුණේ. මේ වෙද්දි දේශීය සමාගම්වලින් වගේම පිටරටවලින් පවා කතා කරනවා. ඇණවුම් දෙනවා, ආයෝජනය කරන්න කැමතියි කියනවා. ඒ හැමෝම බලාපොරොත්තු වෙන්නේ මම හදන උපකරණ එයාලා විකුණන්නයි. නමුත් මට අලෙවි ප්‍රවර්ධනයක් අවශ්‍ය නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ නිෂ්පාදනවල තත්ත්ව ප්‍රවර්ධනයක්. ”
ඔහුගේ ඒ සංකල්පය පිළිබඳ අපි වැඩිදුරටත් විමසුවෙමු.
“මුලිනුත් කිව්වා වගේ එක් එක් පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය එකිනෙකට වෙනස්. මම උපකරණ සීයක් හදලා විකුණුවට වැඩක් නැහැ ඒවා පාවිව්ච් කරන හැම දෙනාටම ගැළපෙන්නෙ නැත්නම්. මගේ උපකරණ පාවිච්චි කරන ළමයින් ජීවිතේ සතුටින් විඳිනවා දැකලා ලැබෙන සතුට උපකරණ ගොඩක් විකුණුවට ලැබෙන්නෙ නැහැ. කවදාවත් හිටගෙන ඇවිදලා නැති ළමයෙක් ඇවිදිද්දි ඒ සතුට කියන්න මට වචන නැහැ. වැරදි උපකරණයක් හදලා දුන්නොත් ඒ දරුවගේ ආබාධිත බව තවත් වැඩි වෙනවා. එයින් ඔහු මානසික වැටීමකට වගේම වියදම් කළ මුදලත් අපරාධයක්. ඒ වගේම එක් දරුවෙක් වෙනුවෙන් මම හදන උපකරණය ඔහුට අවුරුදු 7-8ක් පාවිච්චි කළ හැකියි. උපකරණයක් හදන්න එන කෙනෙක්ගෙන් මම අත්තිකාරම් මුදලක් ගන්නේ නැහැ. රෝගියා ගෙන්වලා ආබාධිත තත්ත්වය ගැන අවබෝධයක් අරගෙන ශරීර මිමි අරගෙන මම උපකරණය හැදුවට පස්සේ රෝගියාට එය හොඳටම සුව පහසුයි නම් විතරයි මම එය විකුණන්නේ. මාසයක් ඇතුළත මම හදන්නේ උපකරණ 5ක් පමණ සංඛ්‍යාවක් පමණයි. මම යොදා ගන්නේ සියයට සියයක් දේශීය අමුද්‍රව්‍ය. දැනට 4 දෙනෙක් මගෙ යටතේ සේවය කරනවා. මේ ව්‍යාපාරය පුළුල් කළ යුත්තේ මම මුලින් කී සීමාව තුළයි. ඒ කියන්නෙ උපකරණ තොග පිටින් හදලා විකුණලා වැඩක් නැහැ. ඒ ඒ රෝගියාගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන ආකාරයේ උපකරණ හැදීමයි කළ යුත්තේ.”
මේ වන විට භෞත චිකිත්සක සමීර විසින් විවිධ වර්ගයේ ආබාධිත උපකරණ වර්ග 20ක් පමණ නිපදවා ඇති අතර, ඒ අතර ආබාධිත දරුවන් වෙනුවෙන් විශේෂ රෝද පුටු, දරුවන් ඇවිදවීමේ සහ සිටුවා තැබීමේ උපකරණ සහ අනතුරුවලට ලක්වීමෙන් ආබාධිත තත්ත්වට පත්වූ තරුණ තරුණියන් ඇවිද වීමට, සිටුවීමට හැකි උපකරණ වේ. ශ්‍රී ලංකා ආබාධිත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් 2023දී මුල්වරට රෝද පුටුව හඳුන්වා දෙනු ලැබුවේ ද ඔහු විසිනි. 2018 වසරේ සිට මේ දක්වා දරුවන් 250කට වැඩි සංඛ්‍යාවකට ආබාධිත උපකරණ නිපදවා ඇති භෞත චිකිත්සක සමීර ආබාධිත බවට පත්වන දරුවන් සහ තරුණ ප්‍රජාව සම්බන්ධ සමාජ වගකීම ද සිහිපත් කළේය.
“දරුවෙක් ආබාධිත වූ පමණින් ඔහු කොන්කර පැත්තකට කර තැබීමත් තරුණයෙක් තරුණියක් ආබාධිත තත්ත්වයට පත්වුණාම එතැනින් ඔහුගේ ජීවිතේ අවසන් කියලා සිතීමත් වැරදි ආකල්පයක්. ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න, ඒ ආබාධිත බවම අවස්ථාවක් කරගත හැකියි. ඒ සඳහා ඒ ඒ ආබාධිත තත්ත්වය වෙනුවෙන්ම සකස් කළ උපකරණ තිබෙනවා කියන පණිවිඩය සමාජගත කළ යුතුයි. මගෙ ළඟට ආව එක් දරුවෙක්ගෙ ඉනෙන් පහළ ආබාධිතයි. ඉනෙන් උඩ හොඳටම නීරෝගියි. ඔහු මට කිව්වා කොහොම හරි හිටගෙන බෝල ගහන්න පුළුවන් උපකරණයක් හදලා දෙන්න කියලා. මම හැදුව ඒ උපකරණය දැකලා ඒ දරුවා සතුටට ඇඬුවා. ඉනෙන් පහළ පණ නැති අවුරුදු 5ක් විතර වයස තවත් දරුවෙක් එයාට හදපු රෝද පුටුව දැකලා ඇඬුවා. ඇයි කියලා ඇහුවාම එයා කිව්වා අද ඉඳන් මට පුළුවන් අම්මා උයද්දි එයා පිටිපස්සට වෙලා ඉන්න කියලා. ඒ අම්මා එච්චරකල් ගෙදර වැඩ කරලා තියෙන්නේ දරුවා සාලේ පැදුරක තියලයි. ඒ වගේ දරුවන්ගේ සතුට දැකලා මම විඳින සතුට වෙන කිසිම රැකියාවකින් ගන්න බැහැ. සමහර ව්‍යාපාරිකයො මට යෝජනා කරනවා, මගේ උපකරණවල තත්ත්වය බාල කරලා මිල අඩු කරන්න කියලා. තවත් අවුරුදු දෙකකින් මේ උපකරණවල තත්ත්වය ජර්මන්, ඔස්ට්‍රේලියානු උපකරණවල ගුණාත්මක තත්ත්වයට ගන්නවා මිසක් මිල අඩු කරන්න හිතාගෙන තත්ත්වය කිසිසේත්ම බාල කරන්නෙ නැහැ. වයස අවුරුද්දෙ ඉඳලා දරුවන් වෙනුවෙන් මම මේ උපකරණ හදනවා. පිරටින් ගෙන්වන රෝද පුටු සහ ඇඳවල් වගේ තරගකාරී උපකරණ මම නිපදවන්නෙ නැහැ. මගේ උපකරණයක් කොපි කළාට වැඩක් නැහැ. ඒක ගැළපෙන්නේ එක රෝගියාටයි.” සාර්ථකත්වය කරා ආ ගමනේදී හමුවූ අභියෝග ගැනත් අපි ඔහු විමසීමු.
“2015දී රාගම රෝහලේ වැඩ කරද්දි මම රැකියාව දාලා ආවා. විශ්‍රාම වැටුපක් තියෙන රජයේ වැදගත් රස්සාවක් කරපු ගෙදර ලොකු පුතා මජන් කිට් එක ඇඳගෙන වෙල්ඩින් කාරයෙක් වගේ උපකරණ එක්ක ඔට්ටු වෙනවට අම්මා, තාත්තා කැමති වුණේ නැහැ. තාත්තා බැණලා මාව එක්ක ගිහින් ආයෙ රස්සාවට බැන්දුවා. 2017දී මම ආයෙත් රැකියාවෙන් ඉවත් වූ බව තාත්තට කිව්වේ අවුරුදු 4කින් විතර. ඒ සැරේ අමම්යි තාත්තායි විරුද්ධ වුණේ නැහැ, එයාලා කිව්වේ ඕක හරියට කරගෙන යන්න කියලා. අපට තාක්ෂණික දැනුම ලබාගන්න තැනක් නැහැ. අමුද්‍රව්‍ය මිල වැඩියි. ඒ වගේම ආබාධිත දරුවන් වෙනුවෙන් මේ වගේ උපකරණ තියෙනවා කියලා සමාජය දැනුම්වත් නැහැ. රජයෙන් උදව් ලැබෙනවා නම් මේ ව්‍යාපාරය අපනයන මට්ටමට ගන්න පුළුවන්. මම කියන්නේ ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ පහසුකම් ඇති ස්ථානයක්, සම්පත් ටික දෙන්න. අපි මේක පිටරටට අලෙවි කරමු. ලංකාවේ ඉන්න අලුත් විදිහට හිතන ව්‍යවසායකයන් ටික පිටරටට අලෙවි කළොත් රටට විදේශ විනිමය ගේන්න පුළුවන්
මීට අවුරුදු පහ හයකට කලින් මට ලැබුණේ ගල්මුල්. මම මුලින්ම හදාගෙන ගිය උපකරණය දැකලා මා එක්ක සේවය කරපු භෞත චිකිත්සකයන් හැමෝම මාව අධෛර්යය කරද්දි අපේ ප්‍රධානියා ජාලිය උඩුවැල්ල සර් තමයි මට ධෛර්යය දුන්නේ. එදා සර් මට මාර ශක්තියක් වුණා. සර් නැත්නම් එදාම මම ඒක අතෑරලා දාලා. අදටත් අලුත් උපකරණයක් හැදුවාම මම කියන්නේ ජාලිය සර් නැත්නම් මේකත් නෑ කියලයි. ඒ වගේම මගේ මවුපියන්, බිරිය තක්ෂිලා(35), දුව ඔමායා(9) සහ මගේ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය ආදරෙන් සිහිපත් කරනවා. බිරියගේ අයියා වෛද්‍ය ලීලාරත්න මගේ නිෂ්පාදන සඳහා මූල්‍ය සහයෝගය දක්වනවා.”
භෞත චිකිත්සක සමීර චන්දිමාල් පොන්සුගේ පවසන්නේ අලුත් විදිහට හිතන තරුණ ව්‍යවසායකයන්ට ලෝකය දිනීම අසීරු නොවන බවය.
“මම දැන් හිතනවා ලෝකයේ නිවැරැදිම තීන්දුව ගත්ත මිනිහා මමයි. වෛද්‍යවරයෙක් වෙන හීනය, රැකියාව අතෑරලා මේ ව්‍යාපාරයට යොමු වෙලා මම ගත්තේ ජීවිතයේ හොඳම සහ අවදානම්ම තීරණය. මම රැකියාව අතෑරියේ මිනිස්සු මම විකුණපු උපකරණ හොඳ නෑ කියලා ආයෙත් ගෙනත් දෙන කාලෙක. ඒත් මට මේක අතාරින්න හිතුනේ නැහැ. යුද්දෙට ගිය සෙබළෙක් මැරෙන්න බලාගෙන හරි ඉස්සරහටම යනවා වගේ මම හදන සේරම උපකරණ ආපහු ගෙනත් දුන්නත් හරියටම හදලා මිසක් නවත්තන්නෙ නෑ කියලා හිතාගෙන ආව ගමනක් මේ. වාසනාවකට වගේ මගේ බිරියත් මා එක්ක ඒ අදහසේම හිටියා. කොච්චර සාර්ථක උපකරණයක් හැදුවත් අදටත් මම හොයන්නෙ ඒ උපකරණයේ හරි තැන නෙවෙයි වැරදි තැන.”
ඡායාරූප- දුෂ්මන්ත මායාදුන්න
සුරේකා නිල්මිණි ඉලංකෝන්ජ