පවුලක්, මිතුරෙක්, කොන්දේසි විරහිත ආදරයක්….. මිනිසකුට මේ සියල්ල එකට ලබා දිය හැක්කේ සුනඛයකුට යැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. බොහෝ දෙනකු සුරතලයට සුනඛයන් ඇති කිරීමට ප්‍රධාන හේතුව එය විය හැකිය. සුනඛයකු සතු දඟකාර බව, සුරතලය සහ විශේෂ දක්ෂතා නිසා සුළු මොහොතක් තුළ සුනඛයකු ඇති නොකරන අයකුට පවා ඒ සුනඛයා ගැන සුවිශේෂී ආදරයක් ඇති විය හැක්කේ ද ඒ නිසාය. මේ සටහන එවැනි සුවිශේෂී සුනඛයකු ගැනය.
මෝස්තර නිරූපණය කළ හැක්කේ මිනිසුන්ට පමණක් ද? පින්කම් කළ හැක්කේ මිනිසුන්ට පමණක් ද? මිනිස්සුන්ටත් වඩා හොඳින් ඒ දේවල් කරන අපූරු සුනඛ සුරතලකු වන ‘ඉතාන් බෝයි’ මේ වන විට මුහුණපොත සහ සමාජ මාධ්‍යජාලා තුළ ඉතා ජනප්‍රිය චරිතයකි.
Purebreed shihtzu වර්ගයට අයත් වන ඉතාන් සුනඛ සුරතලා මෙරටට පැමිණ ඇත්තේ මාස හතරක් තරම් කුඩා වියේදීය. මේ වන විට ඉතාන් වඩාත් ජනප්‍රියව ඇත්තේ නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමෙනි. ‘ඉතාන් බෝයි’ නමින් බොහෝ දෙනකුගේ ආදරය දිනා සිටින මේ සුනඛයාගේ හිමිකරු රසාංග සිල්වා කොළඹ, පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉතාන් ගැන කතා කළේ දැඩි සෙනෙහසකිනි.
“කාලයක් තිස්සේ මම සුරතලයට සුනඛයන් ඇති දැඩි කරනවා. ඒ අතර විවිධ වර්ගයේ සුරතලුන් ඉන්නවා. Shihtzu කියන වර්ගයේ Purebreed සුනඛයකු හදන්න ආසාවක් තිබුණ නිසාමයි මම ඉතාන්ව රුසියාවෙන් ලංකාවට ගෙන්වා ගත්තෙ. ඉතාන් ඉපදිලා තියෙන්නේ 2021 ජනවාරි 15 වැනිදා රුසියාවෙදි. එයා ලංකාවට ආවේ 2021 මැයි 28 වැනිදා. ඒ කියන්නේ මාස හතර සම්පූර්ණ වුණාට පස්සෙයි. සුනඛයන් විදේශ රටකින් ගේද්දි එවැනි නීතිරීති තියෙනවා. ආවට ගියාට කරන්න බැහැ. ඒ වගේම තමයි සුනඛයන් අභිජනනය කිරීමත් ආවට ගියාට කළ යුතු දෙයක් නොවෙයි. බොහෝ දෙනෙක් සුනඛයකුට වයස අවුරුද්දක් වූ විට අභිජනනය සඳහා යොමු කළත් මම නම් මගේ ළඟ සිටින සුරතලුන් ඒ සඳහා යොමු කරන්නේ වයස අවුරුදු එකහමාරක් දෙකක් පමණ ගත වූ පසුවයි. ඉතාන් වගේම මගෙ ළඟ සිටින හැම සුරතලෙක්ම මට මගේ දුවලා පුතාලා වගෙයි. ඒ නිසා එයාලට නරකක් වෙන දෙයක් මම කරන්නෙ නැහැ. ”
ඒ ආදරය නිසාම රසාංග ඇතිදැඩි කරන සුනඛ සුරතලුන්ට ඔහු අමතන්නේ පුතා, දෝණි ආදී හුරතල් නම්වලිනි. දැනට ඔහු ළඟ සුනඛ සුරතලුන් 11 දෙනකු පමණ සිටින අතර, ඒ අතර රුසියාවෙන් ගෙන්වන ලද සුරතලුන් තිදෙනෙකු ද වේ. එහෙත් ඒ සියලු දෙනාටම වඩා ඉතාන් බෝයි සුරතල් සහ දඟකාර බව රසාංග කීවේය.
“එයා හරිම හුරතලෙක්. මම කැව්වෙ නැත්තන් කෑම කන්නෙ නෑ. ඒ වගේම මට හරිම ආදරෙයි. ඒ සේරටම වැඩිය මගෙ ඉතාන් කොල්ලගේ විශේෂත්වය තමයි ෆෙටෝවලට පෙනී ඉන්න තියෙන ආශාව සහ ඒවාට පෙනී ඉන්න විදිහ.
ඉතාන් මගෙ ළඟට ආව දවසේ ඉඳන්ම මගේ වැඩේ එයාගේ ලස්සන ෆොටෝ මුහුණුපොතට දාන එක. ඒ හින්දද මන්දා මෙයත් ඒකටම පුරුදු වෙලා ඉන්නෙ. ඒත් මගෙ ළඟ ඉන්න වෙන කිසිම සුරතලෙක් ඉතාන් වගේ ලස්සනට ඡායාරූපවලට පෙනී ඉන්නෙ නැහැ. ඒ ගැන උනන්දුවකුත් නෑ. ඉතාන්ට ප්රීෂූට්වලට පෙනී ඉන්න අවස්ථාව ලැබුණේ මම මුහුණුපොතේ දාපු ෆොටෝ දැකලා. මේ වෙද්දි අපි ජනප්‍රිය ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. ඒ ගොඩක් අය කියන්නේ ඉතාන් වගේ ලස්සනට සමහර නිරූපණ ශිල්පීන්වත් ඡායාරූපවලට මුහුණ දෙන්නෙ නෑ කියලයි. මම හිතන්නේ මේක ඉතාන්ගේ පෙර සසර පුරුද්දක් වෙන්න ඇති. ”
මේ වන විට වයස අවුරුදු තුනහමාරක් වයසැති ඉතාන්, දකින ඕනෑම අයකුගේ සිත් ඇද ගන්නා සුන්දර දඟකාර සුනඛයෙකි. විශේෂයෙන් මුහුණත් සිරුරත් වසාගත් කඩා හැලෙන සේද ලෝම ඉතාන්ට එක් කර ඇත්තේ අපූරු සුන්දරත්වයකි. ඒ සුන්දරත්වය පවත්වාගෙන යෑම, නඩත්තු කිරීම සඳහා විශාල වෙහෙසක්, කැපකිරීමක් කරන ඉතාන්ගේ හිමිකරු ඒ ගැන මෙසේ කීවේය.
“ඉතාන් ලංකාවට ගෙනාව දවසෙ ඉඳලම අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට නීරෝගිව, ලස්සනට එයාව හදාගන්න මට ගොඩක් මහන්සි වෙන්න සිදු වුණා. ඉතාන්ගේ කෑමබීම, බෙහෙත් වගේම එයාගේ ලෝම නීරෝගිව ලස්සනට තියාගන්න පාවිච්චි කරන ෂැම්පු, කන්ඩිෂනර් ගොඩක් මිල අධිකයි. ඒ වගේම එයාගේ හැම දෙයක්ම කරන්නෙ මගෙ අතින්මයි.
දවස් තුනකට සැරයක් නාවනවා. නාවලා ඒ සාත්තු සප්පායම් ටික කරන්න පැය දෙකක් විතර යනවා. ඉතාන් නාන්න හරිම කැමතියි. මම බේසමක කට මට්ටමට වතුර පුරවලා එයාව ඒකට දැම්ම බේසමේ ගැට්ටට ඔළුව තියාගෙන පාඩුවේ ඉන්නවා. නාලා ඉවර වුණාම ලෝම හොඳට තෙත මාත්තු කරන්න ඕනේ. නැත්නම් දිලීර හැදිලා ලෝම සවුත්තු වෙනවා.”එසේ කී රසාංග සිල්වා සුනඛ සුරතලුන්ට ආදරය කරන කාටත් වැදගත් වන උපදෙස් කිහිපයක් ද දීමට අමතක නොකළේය.
“බොහෝ දෙනෙක් කරන වැරැද්දක් කන්ඩිෂනර් කළාට පස්සේ නැවත සුනඛයා නෑවීම. ෂැම්පු කර නෑවූ සුනඛයාව කන්ඩිෂනර් කළාට පස්සේ නැවත නාවන්න අවශ්‍ය නැහැ. කන්ඩිෂනර් කළ යුතු නිවැරදි ක්‍රමය වන්නේ තෝරාගත් conditioner වර්ගයෙන් මේස හැඳි දෙකකට පිරිසිදු පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දක් එක්කර බේසමකට දමා එයට උණු වතුර එකතු කිරීමයි. වතුරේ උණුසුම කුඩා දරුවෙක් නාවන රස්නයට විය යුතුයි. ඊට පසු සියල්ල හොඳින් මිශ්‍ර වන තුරු වතුර අතින් කලතන්න. ඒ වතුරෙන් නාවාගත් සුරතලාගේ ලෝම තුවායකින් හොඳින් තෙත මාත්තු කර පසුව හෙයාර් ඩ්‍රයර් එකක් ආධරයෙන් වේලාගත යුතුයි.” දඟකාර, සුරතල් ඉතාන් නාන විට කරන අපූරු පුරුද්දක් ගැන ද රසාංග අපට කීවේය. ” නාන වෙලාවට ඉතාන් බෝයි අහන්න ආස සින්දු දෙකක් තියෙනවා. ඒ, සමිතා මුදුන්කොටුව කියන “පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින් ” සින්දුව සහ සශිකා නිසංසලාගේ “ඔබ මා හමුවුන දා දෑත් දරා” සින්දුවයි. නාන වෙලාවට සින්දු දෙක මාරු කර කර දාන්න බැරි නිසා මම එක සැරේට එක සින්දුවක් දාලා, අපි නාලා සමිත අක්කව බලන්න යමු, නැත්තම් සශිකා අක්කව බලන්න යමු කිය කිය තමයි එයාගේ වැඩ කරන්නේ. මම එයාගෙ ලෝම හොඳට පිහදාලා ලස්සන කොණ්ඩයක් එහෙම දානකම් එයා කිසිම දැඟලිල්ලක් නැතිව ඉන්නවා. නාවලා ඉවර වුණාට පස්සේ මම එයාව පොඩි රවුමක් එක්ක යනවා. හැමදාම බොරු කියලා එයා නළවන නිසා මම ඇත්තටම ආසාවෙන් ඉන්නේ ඉතාන් බෝයිට දවසක අපේ ආදරණීය ගායන ශිල්පිනියන් වන සමිතා සහ සශිකා මුණගස්වන්න.”
ඉතාන්ගේ හිමිකරු අපූරු මානුෂීය ගුණයෙන් යුතු පුද්ගලයෙකි. ඔහු ඉතාන්ගේ නීරෝගි බව සහ සුවපහසුව ගැන සිතන තරමටම ඉතාන්ගේ අාධ්‍යාත්මික ජීවිතය ගැන ද සිතන අයෙකි. ප්රීෂූට්වලට පෙනී සිටීම වෙනුවෙන් ඉතාන්ට ලැබෙන මුදල් රසාංග සිල්වා මුළුමනින් වැය කරන්නේ පුණ්‍ය කටයුතු සඳහාය.
මෑතකදී ආණමඩුව ප්‍රදේශයේ ආබාධිත කාන්තාවක් වෙනුවෙන් රෝද පුටුවක් ඉල්ලා සමාජ මාධ්‍යයක පළ කළ දැන්වීමක් දුටු රසාංග රුපියල් 43,000ක් වැය කොට හොඳම රෝද පුටුවක් පරිත්‍යාග කළේ ඉතාන් ඡායාරූපවලට පෙනී සිටීමෙන් ඉපැයූ මුදල්වලිනි. එමෙන්ම දෘශ්‍යාබාධිතයන් වෙනුවෙන් ඇස් කණ්ණාඩි පහක් ද ඉතාන් ඉපැයූ මුදල්වලින් පරිත්‍යාග කර ඇත. එසේ පින්කම් කිරීමට හේතු වූ කරුණු ගැන ද අප රසාංගගෙන් විමසුවෙමු. “මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ පෙර කුසල් නිසා කියල විශ්වාස කළත් බොහෝ විට අපි කෙනෙක් වෙනුවෙන් පින්කම් කරන්නේ ඔහු මියගියාමයි. ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් අපි පින්කම් කරනවා අඩුයි. සුනඛයෙක් වෙලා ඉපදුණත් ඉතාන්ට ඉතාම හොඳ ගුණාංග පිහිටලා තියෙනවා. මම කල්පනා කළා ඉතාන්ගේ ඊළඟ භවය සැපවත් වෙන්න එයා ජීවතුන් අතර ඉන්නකොටම පින්කම් කළ යුතුයි කියලා. දැන් ඉතාන්ගේ භාරකාරයා, තාත්තා මම. මම මගේ ඉදිරි භවය සැපවත් කරගන්න පින් කරගන්නවා වගේ මගෙ දරුවෙක් වගේ ඉන්න ඉතාන් වෙනුවෙනුත් පින්කම් කිරීම මගේ යුතුකමක් කියලා විශ්වාස කරන නිසයි මේ දේවල් කරන්නෙ.”
හුරුබුහුටි දඟකාර සුනඛ සුරතලකු වුවද මේ වන විට ඉතාන් purebreed shihtzu නමැති සුනඛ පරපුර මෙරට ප්‍රචලිත කිරීමට ද දායක වී සිටින්නෙකි. දැනට මෙරට purebreed shihtzu සුනඛයන් සිටින්නේ 0.1%ක් පමණ බව ද රසාංග සිල්වා කීවේය. I love you නමැති මුහුණුපොතේ පිටුවට ඉතාන් ගැන එක් කළ වීඩියෝවක් මේ වන විට නැරඹුම් වාර 55,200 ඉක්මවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඇත.
“ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒත් ඉතාන්ට ලැබෙන ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය දරාගන්න බැරි සමහර මිනිස්සු මේ අහිංසක සතාටත් විවිධ අපහාස කරනවා.
කකුල් හතරක් තියෙන, කතාකරන්න බැරි සතෙකුට එහෙම කරන මිනිස්සු මිනිස්සුන්ට කොච්චර අපහාස කරනවා ඇද්ද කියල මට හිතෙනවා.
මිනිස්සුන්ගේ ඇසුර හිතට වේදනාකාරි නිසාම මිනිස් ඇසුරට වඩා මම ප්‍රිය කරන්නේ මේ සුරතලුන්ගේ ඇසුර. ඒ නිසා දැන් මගේ ජීවිතේම වෙලා ඉන්නේ මේ දරුවො. මම පැයකට ගෙදරින් එළියට ගිහින් ආවත් එයාලා මාව පිළිගන්නේ අවුරුද්දකින් දකිනවා වගේ ආදරේකින්, නොඉවසිල්ලකින්.
ඒ අවංක ආදරය, කෘතගුණය අද කාලේ දරුවන්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා මට හිතෙනවා. අද සමාජයේ සමහර අයගේ මනුස්සකම පිරිහිලා තියෙන විදිහ දකිද්දි මට හිතෙන්නෙ මනුස්සයා සහ සුනඛයා කියන නම් දෙක මාරු වෙන්න ඕනේ කියලයි.”
සුරේකා නිල්මිණි ඉලංකෝන්