මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කළ පංච මහා වාදයන්ගෙන් ප්රමුඛස්ථානයක් ගන්නේ පාණදුර නගරයේ පැවති වාදයයි. මෙම වාදය සඳහා උපකාර කළ අය බොහෝ පිරිසක් වූහ. ඒ අය අතරින් හික්කඩුවේ ශ්‍රී සුමංගල, වැලිගම ශ්‍රී සුමංගල ඇතුළු ස්වාමීන් වහන්සේලා සහ ගිහි පිරිස අතර කොරනේලිස් පෙරේරා, කරුණාරත්න අප්පුහාමි හා පී. ජෙරමියස් දියෙස් යන අයවලුන් වෙති. ජෙරමියස් දියෙස් යනු මෙහි අප කතානායකයාගේ පියාණන්ය.
1886 පෙබරවාරි මස 11 වෙනි දින සියලු යස ඉසිරින් පිරි ධනවත් පවුලක සිව්වැනියා ලෙස පාණදුර නගරය තම ජන්මභූමිය කරගෙන පින්වත් කුමාරයෙක් උපන්නේය. ජෙරමියස් දියෙස් හා සෙලෙස්තිනා රොඩ්රිගෝ යන දෙපළ මවුපියෝ වූහ. ඒ දරුවා නමින් ආතර් වී. දියෙස් වේ. යස ඉසුරින් නොඅඩුව වැඩුණු මේ දරුවා පස්වැනි වියේදී එකල පාණදුරේ තිබූ උසස්ම පාසල වූ ශාන්ත ජෝන්ස් විද්‍යාලයට ඇතුළත් කරන ලදි. ඉන් අනතුරුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කළේය.
මෙසේ වැඩිදුර අධ්‍යාපනය හදාරද්දී තමන්ගේ මවුපියන්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් මෙහෙයවනු ලැබූ පාණදුරාවාදයට දුන් දායකත්වය හා මූලිකත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. මේ පිළිබඳව තව තවත් කරුණු සෙවීමට උනන්දු වූ මෙම තරුණයාට ජාතික අනුරාගය මුසු වූ නිදහස් සිතුවිලි තව තවත් වර්ධනය වන්නට විය.
උඩරට ගිවිසුම අත්සන් කර සිංහල ද්වීපය ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් වී, යටත් වී පුරා අවුරුදු සියයක් පිරීම නිමිත්තෙන් 1915දී පැවැත්වූ පෙරහරකට මුස්ලිම් ජාතිකයන් පිරිසක් විසින් ඊට විරෝධය පළකිරීම නිසා දෙපිරිස අතර නොසන්සුන්තාවක් ඇති වී එය විශාල කෝලාහලයක් බවට පත් විය. ඉංග්‍රීසි පාලකයන් විසින් ඒ පිළිබඳව සිංහල පිරිස වෙත වරද පටවා, රට තුළ අනිසි කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කරන්නේ යැයි කියා අපේ සිංහල පිරිසක් අත්අඩංගුවට ගත්හ. ඒ අය අතර ආතර් දියෙස් ද විය. මේ පිළිබඳව නඩු අසා ආතර් දියෙස් වෙඩි තබා ඝාතනය කිරීමට නියම වුණි. එවිට ඔහුගේ මව විසින් ඉන්දියාවේ සිට ගෙන්වන ලද නීති උපදේශකයකු මාර්ගයෙන් අභියාචනයක් ගොනු කර මරණ දඬුවම රුපියල් ලක්ෂයක දඩයකට සීමා කර ගැනීමට සමත් වූවාය.
මේ සිදුවීමෙන් පසුව අමද්‍යප ව්‍යාපාර ආදී ජාතික කටයුතුවලින් අයින් වී තමන්ගේ ව්‍යාපාර කරගෙන යන ලෙසට මෑණියන් කොපමණ ඉල්ලා සිටියත්, ඇවිටිලි කළත් ඔහු ඒවා තඹ දොයිතුවකට ගනන් ගත්තේ නැත. සිරෙන් නිදහස් වූ එතුමා කෙළින්ම ගියේ කන්ද උඩරට රාජධානියේ මහනුවරදී සිංහලයේ අන්තිම රජතුමා ඉංග්‍රීසින් විසින් අල්ලාගනු තැබූ ස්ථානයටය. එදා එහි ගිය ඔහු එම රජතුමා සිහිවීම සඳහා ස්මාරකයක් ද තනවා ජාතිය නිදහස් කර ගන්නා තුරු මෙම සටන අත් නොහරින බවට දිවුරා පොරොන්දු විය.
රට පුරා ගමක් පාසා අමද්‍යප රැස්වීම් පැවැත්වීමට සංවිධානය කිරීමට ආතර් දියෙස් විශාල වශයෙන් මුදල් වැය කළේය. මත්පැන්වල ආදීනව රට පුරා මහජනතාවට කියා දීමට වෙහෙස මහන්සි වී උත්සුකව ක්‍රියා කළේය.
මෙතුමා අමද්‍යප ව්‍යාපාරය පිළිබඳව කොතරම් උනන්දුවෙන් ක්‍රියා කළේ ද යන්නට හොඳම උදාහරණය වන්නේ 1927 නොවැම්බර් 23 වෙනිදා මහත්මා ගාන්ධිතුමා පාණදුර නගරයට පැමිණි අවස්ථාවේ ‘ආතර් දියෙස්’ ලංකාවේ අමද්‍යප ව්‍යාපාරයේ පියා වශයෙන් හඳුන්වාදීමය. නිදහස ලැබීමෙන් පසුව ද සුරාව නීති මඟින් තහනම් කරන ලෙස ඉල්ලා, තමන්ගේ හොඳම මිත්‍රයා වූ එවකට අගමැති ඩී. ඇස්. සේනානායකගෙන් ඉල්ලා සිටියත්, එතුමා ඊට කන් නුදුන් නිසා ඔහුට අවලාද කර ලිපියක් ලියා ඔහු සමඟ මිතුරු දම් අත්හැර අමනාප වූ බවට ද වැඩිදුරටත් දැක්වේ.
ජාතික නිදහස ලබා ගැනීමෙන් පමණක් රට ස්වයංපෝෂිත නොවන බව වටහා ගත් එතුමා රට, ආහාර පාන අතින් සශ්‍රීක වනතුරු නිදහසේ නියම පල ප්‍රයෝජන ලබාගත නොහැකි බව ද රටට පෙන්වා දුන්නේය. එනිසා කොස්, පොල්, දෙල් වැනි ආහාර ද්‍රව්‍ය වගා කරන ලෙසට රට වැසියාට පුන පුනා උපදෙස් දුන්නේය. ඒ සඳහාම රටවැසියා උනන්දු කළේය. තමා මුණගැසීමට එන හැම දෙනාටම එතුමා තෑග්ගක් වශයෙන් දුන්නේ කොස් ඇට දෙක තුනක්ය. එනිසාම එතුමා කොස් මාමා නමින් පටබැඳිව ප්‍රචලිත විය.
එපමණකුදු නොව තම මවුපියන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, අම්බලන්ගොඩ ධර්මාශෝක, පාණදුර ශ්‍රී සුමංගල හා කොළඹ බම්බලපිටියේ පිහිටි විශාඛා විද්‍යාලය (1927 දී බාලිකාවන් සඳහා අලුතෙන්ම ආරම්භ කළේය.) ආදී විද්‍යාල රැසක අඩුපාඩු බලමින් ඒවා නිසිකලට නඩත්තු කිරීමට කටයුතු යෙදීය.
අද වර්තමානයේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා රජය ගන්න උත්සාහය ගැන සලකා බැලීමේදී “කොස් මාමා” යැයි විරුදාවලිය ලත් ආර්. වී. දියෙස් මහතා විසින් මීට අවුරුදු 91කට පෙර එනම් 1933 මැයි මස 14 වෙනි ඉරිදා “සිළුමිණ” පත්‍රයට “කොස් වැවීමේ ව්‍යාපාරය” නමින් ලියන ලද ලිපියක කොටසක්, අදට ද බොහෝ දුරට ගැළපෙන හෙයින් මෙසේ මෙහිලා සටහන් කරමි.
“කොස් පිටිවලින් පාන් පුලුස්සා ගත හැකිය. මදුලු රසායන ශාස්ත්‍රානුකූලව පිළියෙල කොට හුළං නොවදින සේ ටින්වල අසුරා පිටරට යැවිය හැකිය. පාන් සාදා ගැනීමට හා මුට්ට කතක්කුවේ කොස්පිටි පිටරට පැටවීමට ප්‍රථම බඩගින්නේ පෙළෙන දුප්පත් සහෝදර, සහෝදරියන්ගේ බඩගිනි නිවා ගැනීමට සෑහෙන තරම් කොස් ගස් ඇති කර ගත යුතුය.”
1930 ජූනි මස 30 වෙනි දින ‘කොස් රෝපණය” කරන දිනයේ මෙන් නියම කොට ළමයින්, පාඨශාලාචාර්ය මහතුන් ඇතුළු බොහෝ භවතුන් එම කටයුත්තේ යෙදුණ බව කාටත් මතක ඇත.
සෑම අවුරුද්දක් පාසාම මෙම දිනය ඒ සඳහා නියම කර ගත යුතු යැයි මම කල්පනා කරමි. එවිට දැන් අවුරුදු පතා මරුමුවට පත් කරන ගස් වෙනුවට අලුත් ගස් ද අවුරුදු 50ක් හෝ 60ක් තිස්සේ දුර දිග නොබලා පැරණියන් විසින් සිටුවා තිබුණ, මරුමුවට පත් කර තිබෙන ගස් වෙනුවට අලුත් කොස් ගස් ද ඇති වන්නේය.
“සිළුමිණ” පත්‍රය 1933 මැයි 14 ඉරිදා මෙතුමාගේ මූලිකත්ව ඉදිරිපත් විමෙන් සිදුවූ තවත් සුවිශේෂ කාරණයක් ගැන මෙහිලා සඳහන් නොකරම බැරිය.
කොළඹ නගරයේ සිට ගාලු පාරේ මාතර දෙසට ගමන් කරන ඕනෑම කෙනකුට මොරටුව පාලම පසුකර යාමේදී, පරණ පාරත්, අලුත් පාරත් හමුවන තුංමං හන්දිය වූ බුදු පිළිමය පිළිබඳ විශේෂ වූ පුවතයි. මෙම ඉඩම තුන් මුලස් වූ ඉඩමක් වූ බැවින් ආතර් මහතා, තම හිත මිත්‍ර මහාචාර්ය ගුණපාල මලලසේකරට බුදු පිළිමයක් සෑදීම සඳහා මෙම ඉඩම සුදුසු දැයි බලන ලෙස කීය. ඒ තුන්මුලස් ඉඩම ගැන ඉතා විමසිල්ලෙන් විමසා බැලූ මහාචාර්යතුමා ඒ ඉඩම ඊට සුදුසු බවත්, පිරමීඩ ආකාරයට බුදු පිළිමය තැනිය යුතු බවටත් ඔහු යෝජනා කළේය. ඉන්පසු ඒ කාර්ය සඳහා අවශ්‍ය නැකත් දින ආදිය ද මහාචාර්යතුමා විසින්ම සකස් කරන ලදි. එම බුදු පිළිමයේ වැඩ නිමකර එය 1960 මැයි මස 11 වෙනි වෙසක් පොහෝ දින විවෘත කරන ලදි.
මලලසේකර මහාචාර්යතුමා විසින් සකස් කරන ලද එම නැකැත්වල බල මහිමය නිසා එම පිළිම වහන්සේ උඩින් කිසිම කුරුල්ලකු පියාඹා නොයන බවත්, ඒ නිසාම ඒ පිළිමයට ඒ සතුන්ගේ වසුරු නොවැටෙන බවටත් බොහෝ දෙනාගේ පිළිගැනීම හා විශ්වාසය ද වූයේය.
නිදහස් නිවහල් රටක් සමාජයක් බිහි කිරීම සඳහා තම රට තුළ ආහාර භෝග වගා කිරීම, ආහාර ද්‍රව්‍යවලින් රට සරුසාර විය යුතු බවත් ඒ සඳහා ආහාර භෝග වර්ග වගා කිරීම ප්‍රධානතම අවශ්‍යතාවක් බව ඉටා ගත් එතුමා හැකි සෑම අවස්ථාවකම රට වැසියාට ඇට වර්ග බෙදා දීමට කටයුතු කළේය.
අප රට වැසියන් බොහෝ දෙනා ‘බත් ගස’ ලෙස හඳුන්වන ‘කොස් ගස’ ගැන විශේෂ අවධානයක් යොමු කළ මෙතුමා වැඩි වශයෙන්ම බෙදා දුන්නේ කොස් ඇටය. ඒ නිසාම එතුමාව ‘කොස් මාමා’ යන නාමයෙන් සුප්‍රසිද්ධව සිට අවුරුදු 75ක් පමණ ආයු වළඳා මීට අවුරුදු 64කට පමණ පෙර 1960 ජූලි මස 31 වෙනි දින අප ජාතියෙන් සමුගත්තේය.
ටෙනිසන් චන්ද්‍රපාල සිල්වා