ලාංකේය කෙටිකතාකරුවන් දස දෙනකු විසින් ලියන ලද ‘වීණාවක් රැගෙන ගිය දරුවා’ දෙමළ සාහිත්‍යය දෙමළ නොදන්නා සිංහලයන්ට රස විඳින්නට විශාල කාර්යභාරයක් ඉටු කරන පී. ජී. සරත් ආනන්දගේ කෘතියකි.
මෙහි එන පරිවර්තකගේ සටහනේ ඔහු මෙසේ සඳහන් කරයි.
‘මේ කෙටිකතා සංග්‍රහය සඳහා නිර්මාණ තෝරා ගැනීමේ දී ශ්‍රී ලාංකේය දමිළ කෙටිකතාවේ නියෝජනය හා විකාශය පිළිබඳව ද අපගේ අවධානය යොමු වූ අතර ඒ අනුව මෙරට උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමළ සමාජය වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ සමාජය, මෙරට මුස්ලිම් ප්‍රජාව පමණක් නොව විවිධ හේතු මත විදෙස්ගතව ජීවත් වන ශ්‍රී ලාංකේය දමිළ ප්‍රජාව ද නියෝජනය වන සේ මෙහි නිර්මාණ ඇතුළත් කර ඇත. එසේ ම 1960 දශකයේ සිට මෑත කාලය දක්වාම එක් එක් සාහිත්‍යකරුවන් සිය අත්දැකීම් ප්‍රතිනිර්මාණය කළ ආකාරය මේ කෙටිකතා මගින් පිළිබිඹු වේ යයි සිතමි’
ඔහු ඒ කියන කතාව සත්යයක්මැයි. මෙහි එන කතා දහයෙන් අටකම පසු බිම මේ අපේ රටයි. ඒ නිසා ඒවායේ ‘අපේ කම’ නොඅඩු ව තිබේ. ඉන් බැහැර වනුයේ පළමුවන කතාව වන ‘කන්‍යා අරණ’ සහ අවසන් කතාව වන ‘ලස්සනම දවස’ යන දෙකයි. කන්‍යා අරණ ස්ථානගත වී ඇත්තේ තමිල්නාඩුවේ වුවත් එය අපේ ඈයන්ගේ කතාවකි. ‘ලස්සනම දවස’ ඊට වෙනස් ය. ලන්ඩනයේ පවතින සිරිත් විරිත්වලට ඉන්දියානුවන් මුහුණ දෙන අමිහිරි ආකාරය එහි එයි.
ඉහත දැක්වූ කන්‍යා අරණ වතුකරයේ දෙමළ ප්‍රජාවේ සාමාජිකයකුව සිටි මල්ලිකෛ සී. කුමාර් (1944 – 2020) නම් ලේඛකයාගේ නිර්මාණයකි. මෙරට පැවැති අවාසනාවන්ත වාර්ගික යුද සමයේ විමුක්තිය පතා සිය ‘මව්බිම’ වන තමිල්නාඩුවට පළා ගිය වතු දෙමළ ජන කණ්ඩායමක් මුහුණ දෙන ඛෙදනීය ඉරණම මේ කතාවේ කියැවෙයි.
දෙවන කෙටිකතාව ‘වීණාවක් රැගෙන ගිය දරුවා’ දීපචෙල්වන්ගේ නිර්මාණයකි. දීපචෙල්වන් යනු දෙමළ බසින් ලියන ප්‍රකට නිර්මාණකරුවෙකි, ගත් කතුවරයෙකි. ස්මාරක ශිලාවත නමින් සිංහලට පරිවර්තනය වි ඇති ‘නාඩුගල්’ නම් නවකතාවේ කර්තෘ ඔහු ය.
බීබීසී සිංහල සේවයේ මාධ්‍යකරුවකු වන රෝහිත් ගුණරත්න බීබීසී මැදිරියේ සිටිමින් යුද්ධයේ අවසන් දවස්වල වීඩියෝ නරඹයි. මහත් කම්පාවෙන් ඒ්වා දෙස බලා සිටින ඔහු පළා යන්නන් අතර වීණාවක් ප්‍රවේසමෙන් රැගෙන යන දරුවකු දකියි. රෝහිත් ඒ දරුවා සොයා ලංකාවට පැමිණෙයි. දරුවා අනාථයකු බව ඒකාන්ත බැවින් ඔහු එංගලන්තයට කැටුව යාම ඔහුගේ අභිප්‍රාය වෙයි. එහෙත් අවාසනාවන්ත අයුරින් එය වැලැකෙයි.
තුන්වන කෙටිකතාව රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි නවකතාකරුවකු වන ආර්. එම්. නෞෂාඩ්ගේ නිර්මාණයකි. යුද්ධයෙන් ආබාධිත වූවන්ට දෙන වන්දියක් ලබා ගන්නට පැමිණෙන පුද්ගලයකුට රජයේ කාර්යාලවල දී මුහුණ දෙන්නට සිදුවන විවිධ ගැහැට මේ කතාවේ මුඛ්‍ය තේමාවයි.
යාපනයේ උපන් දැනට ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ලබා සිටින සයන්තන් කදීර් ප්‍රකට දෙමළ නවකතාකරුවෙකි. මෙහි ඇතුළත් ‘අවසන් ගෞරවය’ නම් කෙටිකතාව ඔහු විසින් ලියන ලදුව අන්තර්ජාලයේ පළ වූ ‘ඉරුදි වනක්කම්’ නමැති කෙටිකතාවේ පරිවර්තනයයි. කුරිරු යුද්ධයට මැදිවන අහිංසක දරුවන්ගේ ඉරණම පිළිබඳ සංවේගදායී අත්දැකීමක් පදනම් කැර ගනිමින් මේ කෙටිකතාව නිර්මාණය වී තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන ලේඛක ආර්. රාජේස්කන්නන් ‘දුක හිතුණා රත්තරනේ’ නම් මෙහි පස් වැනියට පළවන කෙටිකතාවේ නිර්මාතෘ ය. දක්ෂ නමුත් දිළිඳු කුඩා පාසැල් දැරියකට සිය ගුරුන් අතින් සිදුවන අසාධාරණයක් වටා මේ කතාව ගෙතෙයි.
මෙහි ඇතුළත සය වන නිර්මාණය ‘වීදි පරඬැල්’ නමි. යාචක ස්ත්‍රියක් කේන්ද්‍ර කැර ගනිමින් නිර්මාණය වී ඇති මේ කෙටිකතාවේ යාචක ජීවිතයේ ඛෙදය කියැවෙයි. ළදරු මළ සිරුරක් ඔක්කේ හොවාගෙන තේ උගුරක්වත් නැතිව මුදලාලි කෙනෙකු වෙනුවෙන් සිඟා කන ගැහැනියකගේ දවසක කතාව මෙහි එයි. එහි නිර්මාතෘ එම්. රිෂාන් සෙරිෆ් ය. වෘත්තියෙන් ඉංජිනේරුවකු වන ඔහු වඩාත් ප්රකටව සිටින්නේ සිංහල සාහිත්‍ය කෘති දෙමළට පරිවර්තනය කිරීම ගැන ය.
හත්වන නිර්මාණය ‘කඩදාසි ප්‍රජාව’ නම් ය. ලියාපදිංචි පුරවැසියකු වන සුප්පෛයාට සියලු සුදුසකම් තිබුණත් ඔහුට රැකියාව නොලැබේ. හේතුව ඔහුගේ ලියාපදිංචි සහතිකය නොමැති වීමයි. මේ තත්ත්වය මේ වනවිට නොමැති වූවත් මේ කතාව ලියන 1963 වසරේ එය ක්‍රියාත්මක වැ පැවැතිණි. එය පදනම් කැර ගනිමින් මේ නිර්මාණය ඉදිරිපත් කරන මු. සිවලිංගන් රාජ්‍ය සම්මානලාභී ගත් කතුවරයෙකි.
අට වන නිර්මාණය ‘ගච්චාමි’ ය.
වියට්නාමයේ දී රසායනික ද්‍රව්‍යයක් භාවිතයෙන් සිය කොන්දේ අන්දවා ගන්නා ලද බුදු රුවක් නිසා ෆ්රංස ජාතික කාන්තාවක් ලංකාවේ දී මුහුණ දෙන ගැටලුවක් මේ කතාවේ තේමාව වෙයි. එහි නිර්මාතෘ වන සෝබාශක්ති යාපනයේ උපන්නෙකි. දැනට ෆ්රංසයේ ජීවත් වෙයි. නවකතා, කෙටිකතා, නාට්‍ය හා තිර රචනා රචකයෙකි.
තමාට වඩා වයසින් වැඩි විවාහකයකුට පෙම් කරන පාසැල් ගුරුවරියකගේ ජීවිතයෙන් අංශුවක් ඉදිරිපත් කරන කතාවකි ‘අශෝක උයන් අතරේ’. මෙහි එන අනෙක් කෙටිකතාවලට වඩා වෙනස් ආකෘතියකින් ලියැවී ඇති මෙය ඒ තරුණියගේ ස්වයං කථනයයි. මෙහි නිර්මාතෘ උමා වරදරාජන් කවියකු, කෙටිකතාකරුවකු හා නවකතාකරුවකු ලෙස දෙමළ පාඨකයන් අතර පසිඳු ලේඛකයෙකි.
අවසාන දසවන කතාව වන ‘ලස්සනම දවස’ ලියන අලගු සුබ්‍රමානියම් (1910 – 1971) ඉංගිරිසි බසින් ලියන සාර්ථක ලේඛකයකු ලෙස ප්‍රකට වැ සිටියේ ය. මෙරට එංගලන්තයේ බැරිස්ටර් විභාගය සමත් වී මෙරට ශ්‍රෙෂ්ඨාධිකරණයේ අධිනීතිඥයකු ලෙස නඩුවලට පෙනී සිටි ඔහු අවුරුදු හැට එකක් තරම් වූ කෙටි ජීවිත කාලය තුළ සාහිත්‍යයට අපමණ සේවාවක් කළ අයකු ලෙස සැලකේ. ඉංගිරිසි බසින් රචිත ඔහුගේ The Big Girl & Other Stories නම් කෙටිකතා එකතුවේ ඇතුළත් Professional Mourners නම් කෙටිකතාව අදත් සාකච්ඡාවට බඳුන් වනු දැකිය හැකි ය.
ලන්ඩනයේ වෙසෙතත් ‘ලස්සන දවසක් වේවා!’යි සුබ පැතීම ගණනකට නොගන්නා ඉන්දියානුවකු දවසක් තුළ මුහුණ දෙන සිදුවීම් කිහිපයක් මෙහි එයි. එලෙස සුබ පැතිය යුතු බව ඇත්තකි. එහෙත් නිසිආකාරව එය කරන්නට නොදන්නේ නම් ඔබ ලොකු අමාරුවක වැටෙනු ඇත.
මේ කෙටිකතා එකතුව අතට ගත්තේ එහි එන කතා සියල්ල අභාග්‍යසම්පන්න යුද්ධය වටා ගෙතුණු ඒවා වන්නට ඇතැයි සිතා ය. එහෙත් මුල් කෙටිකතා හතර හැරුණුවිට අනෙක් කතා සාමාන්‍ය ජන ජිවිතයේ විවිධ පැති අපට ඉදිරිපත් කරයි. ඒවා බහුතරය දකුණේ අප නොදකින දෑ ය.