Home » ඩෙල්ෆ්ට් දූපතට රැකියා අවස්ථා විවර වූ නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය

ඩෙල්ෆ්ට් දූපතට රැකියා අවස්ථා විවර වූ නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

ශ්‍රී ලංකාවට අයත් දූපත් අතුරින් ගොඩබිමට වඩාත් දුරින්ම පිහිටි, ජනතාව ජීවන්වන දූපත ලෙස සැලකෙන්නේ ඩෙල්ෆ්ට් දූපතයි. අතීතයේ සිටම මෙහි ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මුහුදු ප්‍රවාහන සේවා සපයන නාවික හමුදාව විශාල මෙහෙයක් ඉටු කරන ලදී. එම දූපතේ දිවි ගෙවන ජනතාවගේ ආරක්ෂාව මෙන්ම ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වා ගැනීම සඳහාද නාවික හමුදාව විශේෂ දායකත්වයක් දක්වයි.

යුද සමයේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට ජනතාවට සිදු වූ අතර, තම දිවි නොතකා නාවික හමුදාවේ නිලධාරීන් හා සෙබළුන් ඒ ජනතාව වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කළහ. වර්තාමනයේ වුවද ඩෙල්ෆ්ට් දූපත්වාසීන්ගේ හදිසි රෝගී තත්වයන් සඳහා ගිලන් යාත්‍රාවක් නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපත වෙත අනුයුක්ත කර ඇති අතර, දූපතේ ජන ජීවිතය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මුහුදු ප්‍රවාහන පහසුකම්, විදුලි බලය සඳහා අවශ්‍ය ඉන්ධන සහ පිරිසිදු පානීය ජලය ලබාදීමට ද නාවික හමුදාව දායක වෙයි.

සුවිශේෂී ජනාවාසයක් ලෙස සැලකිය හැකි ඩෙල්ෆ්ට් දූපතේ 4500කට අධික ජනගහනයක් දිවි ගෙවති. ඒ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක් දූපතේම රැකියාවන්හි නිරත වෙති. තවත් පිරිසක් මුහුදු රැකියාව ලෙස සැලකෙන ධීවර කර්මාන්තයේ නියැළුණහ. එහෙත් යුද සමයේ නිසි අධ්‍යාපනයක් ලබන්නට නොහැකි වූ බොහෝ තරුණියෝ කිසිත් කරකියා ගත නොහැකිව අසරණ වූහ. ඔවුන්ට ආදායම් මාර්ගයක් සොයා ගැනීමට නම් දූපතෙන් ගොඩබිමට යාමට සිදුවිය. එහෙත් නිසි අධ්‍යාපනයක් පවා නොලබා යාපනය අර්ධද්වීපයේ රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. ඇඟලුම් කර්මාන්ත ශාලාවකට හෝ යාමට නම් ඔවුන්ට දකුණට එන්නට සිදු විය. එයටද භාෂා ප්‍රශ්නය හරස් විය.

එවන් පසුබිමක සිටි මේ තරුණියක්ට නාවික හමුදාවෙන් රිදී රේඛාවක් දිස්වූයේ 2011 වසරේදීය. ඒ 2011 වසරේ සැප්තැම්බර් මස 14 වැනිදා නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය නමින් ඩෙල්ෆ්ට් දූපතේ ස්ථාපිත කිරීමය. ඒ හරහා නාවික හමුදා පුද්ගලයන් සඳහා අවශ්‍ය සියලුම වර්ගයේ නිල ඇඳුම් නාවික හමුදාව තුළම නිෂ්පාදනය කිරීම ප්‍රධාන අරමුණක් විය. එමෙන්ම අප පෙර කී ඩෙල්ෆ්ට් දූපතේ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරලීම එහි තවත් අරමුණක් විය.

ඒ ආරංචියත් සමඟම නාවික හමුදාවේ ඩෙල්ෆ්ට් කඳවුරට ඉල්ලුම්පත් ගලා එන්නට විය. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් අවශ්‍ය තරුණියන් තෝරා ගන්නා ලදී. එම සියලු තරුණියන් දූපතේම පදිංචි අය වූහ .

මේ මැහුම් මධ්‍යස්ථානය දිවයිනේ වෙනත් ඇඟලුම් කම්හල් හෝ මැහුම් මධ්‍යස්ථාන මෙන් හෝ පැය 24 සේවා මුර සඳහා සම්බන්ධ විය යුතු නොවේ. එම තරුණියන්ගේ සේවා කාලය පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වාය. සියලු තරුණියන්ට පා ගමනින් පැමිණිය හැකිය. එය ඔවුන්ට විශාල පහසුවකි. එමෙන්ම එම තරුණියන්ට වෙනත් ඇඟලුම් හෝ මැහුම් මධ්‍යස්ථානවලින් නොලැබෙන පහසුකම් රැසක්ම මේ හරහා ලැබී ඇත. එමෙන්ම වෙනත් ස්ථානවලට වඩා සතුටින් තෘප්තිමත්ව සිය කාර්යයන් සිදු කළ හැකිය.

විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලේ දායකත්වය ඔවුන්ට ලබා දී ඇත. එමෙන්ම සේවා දීමනා, පැමිණීමේ දීමනා, නිෂ්පාදන දීමනා ඇතුළුව සුරක්ෂිත රැකියා පරිසරයක හොඳ වැටුපක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. ඊට අමතරව, නාවික හමුදාවේ ප්‍රතිපාදන මත වාර්ෂික විනෝද චාරිකාවක් සංවිධානය කිරීම, නිල ඇඳුමක් ලබාදීම මෙන්ම ඔවුන්ගේ පවුලේ අවමඟුල් අවස්ථාවකදී නාවික හමුදාව අවශ්‍ය සහාය ලබාදීම වැනි වරප්‍රසාද රැසක් ඔවුන්ට හිමි වෙයි.

විශේෂයෙන්ම විනයගරුකව රැකියා කරනු ලබන ස්ථානයක් ලෙස මේ නාවික හමුදා මැහුම් මධ්‍යස්ථානය පෙන්වා දිය හැකිය. එම තත්ත්වය නිසා දිනපතා දූපතෙන් බැහැර ප්‍රදේශයක රැකියාවක් සඳහා යාමේ අවශ්‍යතාවයද ඔවුන්ට පැන නොනඟී. එමනිසා ඒ සඳහා වැයවන නැව් ගමන් ගාස්තු හා බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන ගාස්තුද විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. එපමණක් නොව, ඔවුන්ගේ පවුලේ ආර්ථිකය නඟා සිටුවීමටද විශාල දායකත්වයක් ඒ හරහා ලැබී ඇත. දෙමවුපියන්ට හෝ දරුවන්ට ඕනෑම හදිසි අවස්ථාවකදී මැහුම් මධ්‍යස්ථානයට පැමිණීමේ හැකියාව තිබීමද මේ අතර සුවිශේෂීය. ඒ සියල්ලටම වඩා නාවික හමුදාවේ රැකියාවක් යන ඉහළ පිළිගැනීමද මේ තරුණියන්ට ලැබී ඇති නිසා අභිමානයෙන් යුතු රැකියාවක උරුමය ඔවුනට හිමිව ඇත.

එසේම මේ මැහුම් මධ්‍යස්ථානය හරහා නාවික හමුදාවට ලැබී ඇති වරප්‍රසාදයද සුවිශේෂීය. නාවික හමුදාවට අවශ්‍ය පරිදි නිල ඇඳුම් ගුණාත්මක බවින් ඉහළ හා ප්‍රමිතියෙන් ඉහළ මට්ටමකින් යුතුව නිල ඇඳුම් මසා නිමකර ගැනීමේ හැකියාව ලැබීම ඒ අතුරින් සුවිශේෂීය. ගුණාත්මක භාවයකින් යුතුව නිල ඇඳුම් නිසි වේලාවට මසා නිම කර ගැනීමට මෙන්ම, ඒ සඳහා බාහිර පාර්ශ්වයන්ට ලබා දීමට සිදුවන විශාල මුදලක් නාවික හමුදාව තුළම ඉතිරි කරගැනීමට හැකියාව ලැබීමද සුවිශේෂීය.

නාවික මැහුම් මධ්‍යස්ථානය හරහා දූපත්වාසීන්ගේ ආර්ථිකයට විශාල ශක්තියක් ගෙන දෙනවා පමණක් නොව, පශ්චාත් යුද සමයේ සංහිඳියාව වෙනුවෙන්ද විශාල දායකත්වයක් ගෙනදීමට සමත් වී ඇත.

නාවික හමුදාව විසින් අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ලබා දෙන නිසා ප්‍රමිතිය ඉහළින්ම රඳවා ගන්නට හැකියාව ලැබී ඇති අතර සියල තරුණියන් විසින් නාවික හමුදාව විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම නිසා අපතේ යාම වළක්වා ගැනීම මෙන්ම කඩිනමින් නිල ඇඳුම් මසා නිම කිරීමේ හැකියාවද ලැබී ඇත. බාහිර පාර්ශ්වයන්ට අලෙවි කිරීම සඳහා නොව නාවික හමුදාවේ පරිහරණය පිණිස පමණක්ම මෙ ඇඳුම් මැසීම සිදුකරන හෙයින් නාවික හමුදා නිලධාරීන් විසින් නිරතුරුවම අධීක්ෂණය කරමින් උපදෙස් ලබා දෙමින් එම තරුණියන් සමඟ සුහදව කටයුතු කිරීම නිසා සංහිඳියාව තවත් වැඩි වී තිබේ.

වෙනත් පාර්ශ්වයන්ට ඇණවුම් ලබා දී නාවික හමුදා නිල ඇඳුම් මසා නිම කර ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදුවීමත් ඒ වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා වෙනම කාර්යයක් සිදු කරන්නට වීමත් යන කටයුතු සියල්ලම වෙනුවෙන් වැය කෙරෙන කාලය හා ධනයද නාවික හමුදාවට මේ වන විට ඉතිරිව තිබේ.

ඩෙල්ෆ්ට් දූපතේ මේ මැහුම් මධ්‍යස්ථානයට අමතරව , පූනෑව, වැලිසර, බූස්ස සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශයන්හි නාවික හමුදාව විසින් මැහුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නට තීරණය කරන්නේ මේ සාර්ථකත්වය නිසාමය.

ඩෙල්ෆ්ට් දූපතේ නාවික මැහුම් මධ්‍යස්ථානයට බාහිර දූපත්වලින්ද රැකියා අවස්ථා සඳහා ඉල්ලුම්ලත් ලැබුණද නාවික හමුදාව විසින් මේ මැහුම් මධ්‍යස්ථානය ඩෙල්ෆ්ට් දූපතේ තරුණියන් උදෙසාම සීමා කර ඇත. ඒ එම දූපතේ තරුණියන්ට දූපතෙන් පිටතට නොගොස් තම පවුල් සංස්ථාව රැක ගැනීමට ලබා දෙන වරප්‍රසාදයක් ලෙසිනි. යුද සමයෙ සිට සියලු කටයුතු වෙනුවෙන් නාවික හමුදාව ඩෙල්ෆ්ට් දූපත්වාසීන්ට ලබා දුන් සහයෝගය මේ මැහුම් මධ්‍යස්ථානය නිසා තවත් වැඩි වූ අතර ඒ හරහා පුද්ගලයන් 160කගේ පමණ ජීවන බර වෙනුවෙන් ලැබෙන්නා වූ සහයෝගය සුළු පටු නොවේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division