මෑත කාලයේ වැඩිපුරම කතාබහට ලක්වූ හමාස් සංවිධානයේ නායක ඉස්මායිල් හනියා ඉරානයේදී ඝාතනයට ලක්විය. ගාසා තීරයේ යුද ගිනිදැල් පැතිරීමට හේතු වූයේ ඔහුගේ සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ඔක්තෝබර් 7 ප්‍රහාරය බැවින් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ඊශ්‍රායලයට ය. හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිළිනොගන්නා ඇෆ්ගනිස්තානය, ඇල්ජීරියා, ඉරානය, රුසියාව, නෝර්වේ, චීනය, තුර්කිය, ඊජිප්තුව, සිරියාව සහ බ්‍රසීලය ඉස්මායිල් හනියාගේ ඝාතනය හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. මැලේසියාව, කටාර් රාජ්‍යය, පලස්තීන පාලනාධිකාරිය මෙන්ම හෙස්බුල්ලා සංවිධානය හා යේමනයේ හවුති සංවිධානයත් ඒ අතර වේ.
ඔස්ට්‍රේලියාව සහ ගාසා තීරයේ සාමය සඳහා මැදිහත්කරුවන කටාර් රාජ්‍යය මේ ඝාතනයත් සමඟ මැදපෙරදිග කලාපයේ සිදුවිය හැකි යුදමය උණුසුම පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු කර ඇති අතර, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් එම ඝාතනයට අමෙරිකාවේ සම්බන්ධයක් නැති බව ප්‍රකාශ කර තිබේ. මේ අතර හමාස් නායකයාගේ ඝාතනයට වග කිව යුතු බවට ඉරානය එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායලය හමාස් නායකයාගේ මරණය ත්‍රස්තවාදයෙන් ලොව පිරිසුදු කිරීමේ ප්රයත්නයක් සාර්ථක වීමක් බව නිවේදනය කර තිබේ. කෙසේ වුවද හමාස් නායකයාගේ මරණය ගාසා තීරයේ සාම ක්‍රියාදාමයට සෘජු බලපෑම් එල්ල වූ සිදුවීමක් බවට කටාර් රාජ්‍යයත්, එය දේශපාලන ඝාතනයක් බවට රුසියාවත් කරනු ලැබූ ප්‍රකාශයන් ද බැහැර කළ නොහැකිය.
ලොව ප්‍රකට තීරු ලිපි රචකයකු වන බ්‍රිතාන්‍ය ජාතික සයිමන් ටිස්ඩෝල්ට අනුව නම් හමාස් නායකයාගේ ඝාතනය මැදපෙරදිග යුද ගිනිදැල් ඇවිළීමට බලපාන සිදුවීමකි. එය තවත් තීව්ර වන්නේ සිය අගනගරය තුළදී පිටස්තර ආරාධිතයකු ඝාතනය වීමේ අපකීර්තියෙන් කෝපයට පත්ව සිටින ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනයේ උණුසුමත් සමඟ කරනු ලැබු ප්‍රසිද්ධ ප්‍රකාශයයි. සිය ආගන්තුකයා ඝාතනය කළ පාර්ශ්වයෙන් පළිගන්නා බවට ඔහු දැනටමත් පොරොන්දු වී සිටී. ඔහුගේ චෝදනාව එක එල්ලයේම ඊශ්‍රායලය ඉලක්ක කරගත්තකි. ඊශ්‍රායලය ද ඉරානය ඇතුළු මැදපෙරදිග රටවලින් එල්ල විය හැකි ඕනෑම තර්ජනයකට මුහුණදීමට සූදානම් බව ආරක්ෂක ඇමැතිවරයා පුන පුනා කියමින් සිටි.
සයිමන් ටිස්ඩෝල්ට අනුව ඔක්තෝබර් 7 ප්‍රහාරයට වගකිව යුතු හමාස් නායකයා ඝාතනයට ලක්වීම ඊශ්‍රායලය සමරනු ලැබුවද, ඉරානය ඇතුළු අරාබි රටවල සන්නද්ධ කණ්ඩායම් එය දකින්නේ ඊශ්‍රායලය යනු කෙසේ හෝ විනාශ කර දැමිය යුතු අනතුරුදායක රාජ්‍යයක් බවට තවදුරටත් ඔප්පු කර ඇති බවකි. ඉන් පැහැදිලි වන්නේ ඔහුගේ ඝාතනය ඊශ්‍රායලයේ හිසරදය යම් තරමට තුරන් කිරීමට හේතු වුවද, ගාසා තීරයේ යුද තත්ත්වය සහ මැදපෙරදිග යුදගිනිදැල් ඇවිළීමේ අවදානම ඉහළ දැමීමට හැම අතින්ම බලපෑ කාරණාවක් බවය.
එක අතකට ඝාතනයට ලක්වීම හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පෙනී සිටීමට හෝ ඔක්තෝබර් 7 ප්‍රහාරයට වන්දි ගෙවීමට තවදුරටත් ඔහුට සිදු නොවනු ඇත. අනිත් අතට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ පෙනී සිටිමින් ගාසා තීරයේ සිදු කළ යුද්ධයට තනිව පිළිතුරු සැපයීමට සිදුවනු ඒකාන්ත බව බ්‍රිතාන්‍ය ජාතික තීරු ලිපි රචකයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
එය එසේ තිබියදී හමාස් නායකයාගේ ඝාතනයත් සමඟ ගාසා තීරයේ සටන් විරාමයක් කැඳවන ලෙස සිදුවෙමින් පවතින ජාත්‍යන්තර ඉල්ලීම් ද වේගවත් වී තිබේ. මේ ඉල්ලීම් කර ඇත්තේ ඔහුගේ ඝාතනයට පළිගන්නා බවට ඉරානයේ අධ්‍යාත්මික නායකයා කළ ප්‍රකාශයේ බරපතළ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. මෑත කාලයේ දේශපාලනික වශයෙන් ඊශ්‍රායලය සමඟ අර්බුදයකට පැටලී සිටින ඉරානයට හමාස් නායකයාගේ ඝාතනය ‘ඇවිෙළන ගින්නට පිදුරු දැමුවා‘ වැනි සිදුවිමක් බැවින් ඕනෑම මොහොතක දෙරට අතර යුද්ධයක් ප්‍රකාශයට පත්වීමේ අවදානමක් ද මතුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෙබනන් නිත්‍ය නියෝජිතවරයා අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. හෙස්බුල්ලා සංවිධානය ලෙබනනයේ දේශසීමාවේ සිට ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටින බැවින් ඉරානය හා ඊශ්‍රායලය අතර යුද්ධයක් ඇවිළීම සමස්ත මැදපෙරදිග කලාපයම යුද්ධයට පැටලීමේ තත්ත්වයක් පෙන්නුම් කරන බව ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දැනටමත් ප්‍රංශය ඇතුළු යුරෝපයේ රටවල් රැසක් ද ගාසා තීරයේ සටන් විරාමය කඩිනම් කරන ලෙස අදාළ පාර්ශ්වවලින් ඉල්ලීම් කර ඇති බවත් වාර්තා වේ.
පෙනෙන හැටියට ඊශ්‍රායලයට ගාසා තීරයේ සිට හමාස් සංවිධානය විසින් එල්ල කරනු ලබන ප්රහාරයන්ට වඩා බරපතළ වී ඇත්තේ ලෙබනනයේ සිට හෙස්බුල්ලා සංවිධානයෙන් එල්ලවන ප්රහාරමාලාවය. ඊශ්‍රායල දේශසීමාවේ පිහිටි හමුදා කඳවුරක් දැනටමත් ඊශ්‍රායලයට අහිමි වී ඇත්තේ හෙස්බුල්ලා මිසයිල ප්රහාරයකිනි. ඉරානයේ මූල්‍ය සහාය ලැබෙන බවට ඊශ්‍රායලය චෝදනා කර ඇති හෙස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලයට එල්ල කරනු ලබන ප්‍රහාර වැඩි කරන බවට තර්ජනය කර ඇත්තේ පසුගිය සතියේදී එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙනි.
ඊයේ හෙස්බුල්ලා සංවිධානය තවත් අනතුරු ඇඟවීමක් සිදු කරමින් කියා සිටියේ සිය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයකු ඝාතනය කිරීමෙන් ඊශ්‍රායලය සමඟ පවතින ගැටුමට නව ප්‍රවේශයක් ලැබී ඇති බවය. හමාස් සංවිධානයේ නායකයා ඝාතනය වූයේ සිය හමුදා ප්‍රහාරයකින් බවට ඊශ්‍රායලය මෙතෙක් තහවුරු නොකළ ද, දැනටමත් එහි වගකීම ඉරානය ඇතුළු බොහෝ රටවල් ඊශ්‍රායලය වෙත පටවා අවසන් ය. එබැවින් මේ වන විට මැදපෙරදිග පවතින්නේ එක්තරා ආකාරයක සංක්‍රාන්ති කාලසීමාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. එවැනි නිහඬතාවක් පැතිරී යන කලාපයක ඕනෑම මොහොතක යුද්ධයක් ඇතිවිය හැකි බව සුළි කුණාටුවකට පෙර ඇතිවන දැඩි නිශ්ශබ්දතාවට සමාන බවට ලෝක ඉතිහාසයේ නිදසුන් එමටය.
වහාම ලෙබනනයෙන් ඉවත් වන ලෙස එරට සිටින ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව ඇතුළු රටවල් රැසක් මේ වන විට එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. ලෙබනනයේ බීරුට් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය එරට සිටින සිය පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ යුද අර්බුදයක් නිර්මාණය වීමට පෙර රටින් පිටවීම සඳහා වහාම සැලසුමක් සකස් කරගන්නා ලෙසටය. ඉන් පැහැදිලි වන්නේ මැදපෙරදිග යුද උණුසුම පෙනෙන හැටියට වඩා බරපතළ වී ඇති බවය.
මේ අතර ජෙරුසලමේ සුපිරි වෙළෙඳ සමාගම් ජාලයක ප්‍රකාශකයකු සඳහන් කර ඇත්තේ සාමාන්‍ය අලෙවියට වඩා 30% කින් අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිය ඉහළ ගොස් ඇති බවය. ටින් කළ ආහාර වර්ග, පාස්ටා, ශීත කළ මස් වර්ග හා බෝතල් කළ පානීය ජලය උණුකැවුම් මෙන් අලෙවි වෙමින් පවතින බවය. තවත් වාර්තාවක සඳහන් වන්නේ මිසයිල ප්‍රහාරවලින් බේරීමට තත්ත්පර 90ක් ඇතුළත ආරක්ෂිත ස්ථාන කරා යෑමේ හැකියාව ඊශ්‍රායල ජනතාවට ඇති බවය. දින තුනකට ප්‍රමාණවත් අයුරින් ආහාර හා පානීය ජලය ගබඩා කරගන්නා ලෙසත්, ඕනෑම මොහොතක විදුලි සැපයුම අත්හිටුවීමේදී සිදුවිය හැකි දුෂ්කරතාවන් මග හරවා ගැනීමට බැටරි සහ ‘ෆ්ලෑෂ් ලයිට්‘ මිලදී ගන්නා ලෙසත් ඊශ්‍රායල ජනතාවට උපදෙස් ලැබී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. ටෙල් අවීව් ගුවන්තොටුපොළේ ගුවන් මෙහෙයුම් ද සීමා කර ඇති අතර, දැනටමත් එයාර් ඉන්ඩියා ගුවන් සේවය ටෙල් අවීව් වෙත යන ගුවන් ගමන් අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ෆවුස් මොහොමඩ්