එදා මෙදා තුර ලාංකේය දේශපාලන වේදිකාවන්හි වංචාව, දූෂණය සහ නාස්තිය ඉතා සුලබ වදන් පෙළක් විය. පසුගිය දශක තුනක පමණ කාලයක් පුරා මෙරට පැවැති ජාතික මැතිවරණ සියල්ලකම පාහේ ප්රමුඛ පෙළේ දේශපාලන සටන් පාඨයක් වූයේ දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදැකීමයි. 1994 ජනාධිපතිවරණයේදී ගාලු මුවදොර පිටියට රැස්කොට දඬුවම් දීමේ සිට 2015 වසරේ යහපාලන රජය බලයට ගෙන ඒම දක්වා පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම සටන් පාඨ අතර ප්‍රමුඛස්ථානයට පත් වූයේ දූෂණයට එරෙහි වීමයි. දූෂණ විරෝධය කරපින්නාගෙන ජනාධිපතිවරුන් කිහිප දෙනකුම බලයට පත් වුව ද, රජයයන් කිහිපයක්ම පිහිටුවනු ලැබූව ද, සත්‍ය වශයෙන්ම දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස වුවත් රනිල් වික්‍රමසිංහ බලයට පත්වන තුරුම සිටිය යුතු විය.
ශ්‍රී ලංකාවේ පළමු වරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය මඟින් අල්ලස් හා දූෂණ විරෝධී නීතිය ශක්තිමත් කළේ 2015දී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟිනි. ඉන්පසුව 20 වැනි සංශෝධනය මඟින් එම නීතිය දුර්වල වූවත්, 2022 වසරේ බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාලන ක්‍රමය උසස් කරමින් ද, දූෂණය ඉවත් කරමින් ද, රාජ්‍ය මූල්‍ය හා ණය තිරසරභාවය නැවත ස්ථාපිත කිරීම හා ආර්ථිකය පරිවර්තනය කිරීම සිය ප්රමුඛ වගකීම කර ගනිමින්, 21වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් එය යළි බලාත්මක කිරීමට කටයුතු කළේය.
ඉන් නොනැවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය විසින් 2023 මාර්තු මාසයේදී පාලන විනිශ්චය තක්සේරුවක් (Governance Diagnostic Assessment) සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා සිටියේය. එමඟින් පාලන ක්‍රමය උසස් කිරීම සඳහා ද, දූෂණ විරෝධී පියවර වැඩිදියුණු කිරීම සඳහා ද ශ්‍රී ලංකා රජය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කර තිබූ අතර එම නිර්දේශ ද සලකා බලමින් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
මීට සමගාමීව දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ සහ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායේ ප්‍රමිතීන්ට අනුකූලව වත්කම් අය කර ගැනීම සඳහා පුළුල් බලතල සහිත අපරාධවලින් උපයා ගත් දේපළ පිළිබඳ පනත් කෙටුම්පත (Proceeds of Crime Bill) ද මේ වන විට කෙටුම්පත් කෙරෙමින් පවතී.
මෙම පසුබිම තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලන විනිශ්චය තක්සේරුවෙහි තාක්ෂණික සහාය පිළිබඳ වාර්තාවෙහි දක්වා ඇති දූෂණ විරෝධය සඳහා වන නෛතික, සංවිධානාත්මක සහ ක්‍රමෝපායක රාමුවට අනුකූලව දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා පසුගියදා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
සැබැවින්ම එය මෙරට දූෂණය පිටු දැකීම වෙනුවෙන් ගනු ලැබූ ඓතිහාසික එළැඹුමක් බවට විවාදයක් නැත. දූෂණය පිටුදැකීම වෙනුවෙන් එතරම්ම ශක්තිමත් යන්ත්‍රණයක් ඒ තුළ අන්තර්ගතව තිබේ. එහි පළමුවැන්න ලෙස 2023 වසරේ සම්මත කරගන්නා ලද දූෂණ විරෝධී පනත පූර්ණ වශයෙන් බලාත්මක කිරීම ඇතුළත් කර තිබේ. ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම, මාස හයකට වරක් එකී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ක්‍රියාකාරී සැලැස්මට අවශ්‍ය ප්‍රමාණවත් අය වැය ප්‍රතිපාදන ලබාදීම සඳහා ද අවශ්‍ය විධිවිධාන මීට අන්තර්ගත වේ.
2025 – 2029 කාලරාමුව සඳහා පැහැදිලිව ජාතික දූෂණ විරෝධී සැලැස්මක් නිර්මාණය කිරීම ද මෙකී න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබේ. තවද විගණකාධිපතිවරයා සතු නීතිමය බලතල තවදුරටත් පුළුල් කරමින් 2018 අංක 19 දරන ජාතික විගණන පනත සංශෝධනය කිරීම ද මෙම ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් වේ. එම සංශෝධනයන්ට ප්‍රශ්න ගත විගණනයන්හි සම්පූර්ණ වාර්තාවන් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ප්‍රථම එමඟින් අනාවරණය කරගනු ලබන වංචා සහ දූෂණ පිළිබඳ සිදුකළ හැකි අපරාධමය විමර්ශනය සඳහා, නීතිය බලාත්මක කිරීමේ ආයතන සමඟ මූලික හෝ වෙනත් සොයා ගැනීම් හෝ මාරු කර ගැනීමට විගණකාධිපතිවරයා වෙත අවසර ලබාදීමට යෝජනා කර තිබේ. එමෙන්ම අධීක්ෂණය සහ වගවීම පිළිබඳ නිසි වගකීම් ඉටුකිරීමට අපොහොසත් වන ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් ඊට අදාළ අධිභාරය අය කරගැනීම සඳහා විගණකාධිපතිවරයා වෙත බලය පැවරීම ද මේකී ජාතික න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇත.
ඵලදායී හා විනිවිදභාවයෙන් යුතු වත්කම් ප්රකාශනයන් සහ ළබැඳියාවන් අතර ගැටුම් පිළිබඳ කාර්ය ක්‍රමයක් ස්ථාපිත කිරීමට ද මේකී ජාතික න්‍යාය පත්‍රය මඟින් යෝජනා කර තිබේ. ළබැඳියාවන් අතර ගැටුම් සම්බන්ධයෙන් නීති (Conflict-of-Interest Rules) සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වත්කම් ප්‍රකාශ කිරීම පිළිබඳව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා ඊට අදාළ රෙගුලාසි බලාත්මක කිරීම, ළබැඳියාවන් අතර ගැටුම් යන්න නිර්වචනය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, ළබැඳියාවන් අතර ගැටුමක් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සැපයීම, ඒවා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් නිලධාරීන්ට දඬුවම් පැමිණවීම සහ මීට අදාළ කාර්ය සාධනය සම්බන්ධයෙන් වාර්තා කිරීම ද ඇතුළත් කර ඇති බව දක්නට ඇත.
එමෙන්ම දූෂණ විරෝධී පනතට අනුකූලව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා මෙකී වත්කම් ප්‍රකාශන නම් කරන ලද වෙබ් අඩවියක ප්‍රකාශයට පත් කිරීමට ද අවශ්‍ය විධි විධාන සලසා ඇති අතර වැඩපිළිවෙළෙහි අර්ධ වාර්ෂික හා වාර්ෂික ප්රතිසමාලෝචන සිදු කළ යුතු බව ද නියම කර තිබේ.
ඇතැම් සිහින මුදල් අමාත්‍යවරුන් කළු සල්ලි සුදු කරමින් ඒවා රටේ ජාතික සංවර්ධනයෙහි ආයෝජනය කිරීමට හැකියාව සැලසෙන පරිදි නීති ගෙන එන බව පවසද්දී අපරාධ සහ මුදල් විශුද්ධිකරණය මඟින් උපයා ගත් ධනය නැවත අයකර ගැනීම සඳහා ජාතික ක්‍රමෝපාය හා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. මේ සඳහා අල්ලස් කොමිසම වෙත ලබාදී ඇති නව බලතල අනුව නිසි අයුරින් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය සහාය ලබාදීම මෙන්ම නව විමර්ශන මඟින් නිසි ලෙස නඩු පැවරීම සහ වරදකරුවන් කිරීම පිළිබඳවත්, දේශපාලනික වශයෙන් අනාවෘත වූ පුද්ගලයන් (Politically Exposed Persons) හඳුනා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ද ඇතුළත් කර තිබේ.
දූෂණ නඩු සම්බන්ධ විමර්ශන හා ඊට නඩු පැවරීමට අදාළ කටයුතු ශක්තිමත් කිරීමට ද මෙම ජාතික න්‍යාය පත්‍රය මඟින් කටයුතු සලසා ඇත. සමාගමක අර්ථලාභී අයිතිය පිළිබඳ තොරතුරු සැපයීමට සහාය පළ කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමටත් විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා පොදු අර්ථලාභීන්ගේ ලේඛනයක් ස්ථාපිත කිරීමත් මීට අන්තර්ගත වේ.
රාජ්‍ය ප්‍රසම්පාදනයේ විනිවිදභාවය සහතික කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් (Public Procurement Law) බලාත්මක කිරීමත්, රුපියල් බිලියනයට වැඩි රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්රාත්තුවල තොරතුරු ප්‍රකාශයට පත් කිරීමත් දූෂණ විරෝධය පිළිබඳ ජාතිය න්‍යාය පත්‍රයේ සඳහන් වේ.
බදු නිදහස් කිරීමේ වටිනාකම් පිළිබඳ ඇස්තමේන්තුවක් සහිතව බදු නිදහස් කිරීම් ලබන සියලුම සමාගම් ප්‍රසිද්ධ කිරීම, ආයෝජන ප්‍රවර්ධන කොන්දේසි පිරිවැයකරණය හා යෝජනා ඇගැයීම සඳහා නිසි ක්‍රියාවලියක් සකස් කරන තුරු ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත තාවකාලිකව අත්හිටුවීම, පුහුණ හා ස්වාධීන කාර්ය මණ්ඩලයක් ඇතිකිරීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ රජයට ආදායම් ලබාදෙන දෙපාර්තමේන්තු තුළ කෙටිකාලීන දූෂණ විරෝධී පියවර ගැනීම වැනි සාධනීය පියවර ද මීට ඇතුළත් ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සෘජු කළමනාකරණය අවසන් කරනු ලබන සේවක අර්ථ සාධක අරමුදල සඳහා නව කළමනාකරණ කටයුතු ස්ථාපිත කිරීම, විධායක හා අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තෝරා ගැනීම වැඩිදියුණු කිරීම මඟින් රජයේ හිමිකාරීත්වය සහිත බැංකු සඳහා සංස්ථාපිත පාලනයන් ශක්තිමත් කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාව බලාත්මක කිරීම ආදී ප්‍රතිසංස්කරණ ද මෙම න්‍යාය පත්‍රයට ඇතුළත් වේ.
දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම ශක්තිමත් කිරීම සම්බන්ධ විධිවිධාන ද ඇතුළත් කර තිබේ.
එමෙන්ම වත්මන් දූෂණ විරෝධී ප්රයත්නයන්හි ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් 2024 මැයි මස 29 වැනි දින නිකුත් කරන ලද විස්තීරණ අරමුදල් පහසුකමෙහි දෙවන සමාලෝචනය මඟින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ද සැලකිල්ලට ගනිමින් මෙරට සමස්ත දූෂණ විරෝධී රාමුව ශක්තිමත් කිරීමට මෙම න්‍යාය පත්‍රය මඟින් වැඩපිළිවෙළක් යෝජනා කර ඇත. ඒ සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව බලාත්මක කිරීම, රාජ්‍ය ආදායම් පරිපාලනය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය වත්කම් අධීක්ෂණය හා කළමනාකරණය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම යන අංශ ද ඇතුළත් වේ.
නිසි ආකාරයෙන් දූෂණය හඳුනා නොගැනීම, නඩු නොපැවරීම සහ නඩු පවරන ලද පුද්ගලයන් වරදකරුවන් බවට පත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කාලයක් තිස්සේ චෝදනා නැඟී ඇති බව ප්රත්යක්ෂ වී ඇති කරුණකි. ඒ සඳහා පරිපාලනමය හා නීතිමය වශයෙන් පවතින දුර්වලතා ද හේතු වී තිබිණ. මේ සන්දර්භය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය අල්ලස හා දූෂණය පිටුදැකීම පිණිස පවතින දේශීය යන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සුදුසුම වැඩපිළිවෙළ බව ජනතාව තේරුම් ගත යුතු කාලය එළැඹී තිබේ. දූෂණය, වංචාව සහ නාස්තියට විරුද්ධව කටයුතු කරනු ලබන යම් ප්රගතිශීලී බලවේගයක් ඇත්නම් මෙම දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අකුල් හෙළීමකින් තොරව සහය දැක්විය යුතුය. එසේම මේ සමඟ සැබෑ දූෂණ විරෝධීන් යනු කවුද යන්න වචනයෙන් නොව භාවිතයෙන් ඔප්පු කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත්ව තිබේ.
දේශපාලන ලියුම්කරු