– පොඩි හාමුදුරුවො කියන නාමය පටබැඳීම පිටුපසත් අපූරු කතාවක්
– ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ගංගාරාමයේ සියලු දේවාල ඉබි යතුරු දමා වසා දමලා
ලංකාවේ ‘නුවර’ කියූ විට නුවර කිහිපයක් මතකයට ආවත් කවුරුත් නුවර කියන්නේ මහනුවරටය.
ලංකාවේ ‘පොඩි හාමුදුරුවෝ’ කීවාම ඕනම ගම්පළාතක පන්සලක පොඩි හාමුදුරුවරු ගැන මතක් වුණත් ලංකාවේ නම් දැරූ එකම ‘පොඩි හාමුදුරුවෝ’ කියූ විට කාගේත් මතකයට එන්නේ ගංගාරාමයේ ගල්බොඩ ඥානිස්සර හිමියන්ය.
ගල්බොඩ ඥානිස්සර හිමි තරම් මෙරට දේශපාලනඥයන් සමීපව ඇසුරු කළ හිමි නමක් මෙරට ඉතිහාසයේ වැඩ සිටියේ නම් ඒ හේන්පිටගෙදර ඤාණිස්සර හිමි හෝ මෑත යුගය තෙක් වැඩ විසූ මාදුළුවාවේ සෝභිත හිමි විය යුතුය.
1943 දෙසැම්බර් 14 දින මාතර ගල්බොඩ උපන් උන්වහන්සේ පැවිදි වූයේ වයස අවුරුදු දහයේදීය. ඒ වන විට උන්වහන්සේ කපුදුව ඉස්කෝලේ හතරවන කැලැසිය දක්වා අධ්‍යාපනය හදරා තිබුණි.
මේ එදා පොඩි හාමුදුරුවන් තමන් පැවිදි වූ අතීතය සිහි කළ ආකාරයයි.
මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපාධිය සමත් වුණා. ඒ කාලයේ මට ඕනෑ වුණේ ආචාර්ය උපාධි ගහගන්න නොවේ. ඇස් පේන්නේ නැති නායක හාමුදුරුවෝ රැක බලා ගන්නයි මම මහන්සි වුණේ. මට පන්සල භාර වුයේ අඩු වයසේදී. එවැනි වයසකදී විශාල වගකීමක් ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්.
ඥානිස්සර හිමියන් පසුගිය සිකුරාදා අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියෙහි පසු විය. එහෙත් කොතරම් වයෝවෘද්ධ වුවත් උන්වහන්සේට කවුරුත් ආමන්ත්‍රණය කළේ පොඩි හාමුදුරුවෝ කියා ය.
තමන්ට ‘පොඩි හාමුදුරුවෝ’ නාමය පටබැඳීම ගැන ඥානිස්සර හිමියන් වරක් ප්‍රකාශ කළේ මා එවකට සේවය ලංකාදීපේ පින්කමකදීය.
මගේ නායක හාමුදුරුවන්ගේ ඇස් නොපෙනී ගියේ එක් දහස් නවසීය හැට එකේදී. එතකොට මට වයස අවුරුදු දාසයයි. නායක හාමුදුරුවෝ ගිලන් වුණාම මම අවුරුදු දාසයේ ඉඳන්ම පන්සලේ පරිපාලන වගකීම භාර ගත්තා. ඒ විතරක් නොවේ පිරිත් පින්කම්, දානමාන කටයුතු, සමාජ සේවා වැඩ කරන ගමන් මගේ අධ්‍යාපන කටයුතු කර ගන්නටත් මට සිද්ධ වුණා. ඒ අතරතුරේදී ඇස් පේන්නේ නැති නායක හාමුදුරුවොත් රැක බලා ගත්තා. ඉතින් අපේ නායක හාමුදුරුවෝ ජීවතුන් අතර සිටියදී මම ගංගාරාමාධිපති කියලා හඳුන්වා ගන්න පුළුවන්ද? මට එහෙම කියා ගන්න අවශ්‍ය වුණේ නෑ. නායක හාමුදුරුවෝ සිටින නිසා මම පන්සලේ පොඩි හාමුදුරුවෝ වුණා. නායක හාමුදුරුවෝ අපවත් වුණේ එක්දහස් නවසිය අසූ හතරේදී. ඊට පස්සේ තමයි මම විහාරාධිපති ධූරයට පත් වුණේ. නමුත් හැම දෙනාම මට පරණ විදියටම “පොඩි හාමුදුරුවෝ” කියලා කතා කළා. අද වුණත් බොහෝ දෙනෙක් මගේ නම ගල්බොඩ ඥානිස්සර කියලා දන්නේ නෑ. හැබැයි පොඩි හාමුදුරුවෝ කීවා නම් මුළු රටම දන්නවා.
ගල්බොඩ ඥානිස්සර හිමියන් ගංගාරාමය කියූ සැණින් අපේ මතකයට එන්නේ ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මැතිතුමාගේ පරම්පරාව, ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පරම්පරාව, හා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන්ගේ පරම්පරා තුනය.
මෙහි ඉතිහාසය සොයා ගිය විට පෙනී යන්නේ හෙලේනා විජයවර්ධන ළමාතැනීට හා පිලිප් විජයවර්ධන මුහන්දිරම්තුමාට දරුවන් හත් දෙනකු සිට ඇති බවය. ඒ දරුවන්ගෙන් එක් අයකු වූයේ ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධනය. ඩී.ආර්. විජයවර්ධනගේ පුත්‍රයා වන්නේ වත්මන් විජය පුවත්පත් සමාගමේ නිර්මාතෘ රංජිත් විජයවර්ධනයි. ඩී.ආර්. විජේවර්ධනගේ දියණියගේ පුත්‍රයකු වන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ය.
බලය ඇතුව සිටියත් බලය නැතුව සිටියත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ සමීපතම හිතවතකු වූයේ පොඩි හාමුදුරුවන්ය. 2011 දී කිසිම මාධ්‍යයකට දැනුම් නොදී පොඩි හාමුදුරුවෝ එජාප නායක රනිල් වික්‍රමසිංහයන්ට බෝධි පූජාවක් පවත්වා කතාවක්ද පැවැත්වීය.
‘රනිල් වික්‍රමසිංහ වැනි ලෝක දැනුම, ආර්ථික දැනුම, දේශපාලන දැනුම තිබෙන නායකයෙක් පක්ෂයෙන් හැලුණොත් එක්සත් ජාතික පක්ෂයට සිදුවන විනාශය කවුරු කවුරුත් තේරුම් ගත යුතුයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ සියලු දෙනාගේම පක්ෂයක්. ඒ නිසා සියලු දෙනාගේ අදහස් විමසිය යුතුය.
එදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා නාහිමි නමකට කිව්වා හාමුදුරුවනේ මම බුදු බණ දන්නේ නැහැ. මට බුදු බණ කියලා දෙන්න; හාමුදුරුවන්ට දේශපාලනය දැනගන්න වුවමනා නම් මම කියලා දෙන්නම් කියලා. මේ අවස්ථාවේ දී එම කියමන මට මතක් වෙනවා.
පක්ෂයක් තුළ කවුරු හරි මතවාදයක් ගොඩනඟා ගන්නවා නම් එය උපායක්. ඊට වඩා එය ත්‍රස්තවාදයක්. එදා රනිල් හාමු අගමැති වෙලා පන්සලට ආපු වෙලාවේ මම කිව්වේ රනිල් හාමුගෙ නම නොවේ. සජිත් ප්‍රේමදාස මහතාගේ නමයි. එසේ කළේ ඔවුන්ට යමක් තේරුම් ගන්නයි. හැබැයි තේරුම් ගත්තාද දන්නේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහත්තයා ආගමික වතාවත් ගුණ ධර්ම දන්නා හොඳ කෙනෙක්. එතුමාගේ මිත්තනිය හෙලේනා විජයවර්ධන මැතිනිය තමයි කැලණිය විහාරය ප්‍රතිසංස්කරණය කළේ. රනිල් මහත්තයා අද එහි දායක සභාවේ සභාපති. එතුමා සංඝයාට ගරු කරන කෙනෙක්. මෙවැනි නායකයකු එක්සත් ජාතික පක්ෂයට ලැබීම මහත් භාග්‍යයක්‘
පොඩි හාමුදුරුවන් මෙරට දේශපාලන ඉතිහාසය තුළ සදා අනුස්මරණීය චරිතයක් වනු නියතය. 1972 දී ලංකාව ජනරජයක් වූ අවස්ථාවේ උන්වහන්සේ විසිනව වැනි වියේ පසු විය. 1972 දී ලංකාවේ ජනරජයක් කළ මොහොතේ උත්සවය පවත්වන තැනක් තිබී නැත. ඒ කාලයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තිබුණේ නැහැ. අන්තිමට උත්සවය පවත්වා තිබුණේ රාජකීය විදුහලේ නව රඟහලේ. උත්සවය නව රඟහලේ තියලා ආශීර්වාද කිරීමේ උත්සවයට කෑම දී ඇත්තේ ජනාධිපති විලියම් ගොපල්ලවගේ නිල නිවෙස වූ රජ ගෙදරයි. අස්ගිරි, මල්වතු මහා නාහිමිවරු, බලන්ගොඩ ආනන්ද මෛත්‍රී මහානාහිමි, විද්‍යෝදය විද්‍යාලංකාර පරිවේණාධිපතිවරු ඇතුළු සම්භාවනීය පිරිසක් උත්සව සභාවේ වැඩ සිට ඇත. නමුත් විලියම් ගොපල්ලව ජනාධිපතිතුමා රජගෙදරදී පන්සිල් දීලා අවවාද අනුශාසනා කරන්න ආරාධනා කළේ අඩු වයසේ සිටි පොඩි හාමුදුරුවන්ටය. ඒ වෙලාවේ පොඩි හාමුදුරුවෝ බණ්ඩාරනායක මැතිනියට අවවාද තුනක් දී ඇත.
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ කොළඹ මුලින්ම කළු කොඩි දැම්මේ ගංගාරාමයේය. ජේ. ආර්. ඉන්දියාවේ උගුලකට හසුවූ බව පොඩි හාමුදුරුවන් නිතරම කියූ කතාවකි.
‘ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරන්න පෙර ජේ.ආර්. තුන් වතාවක් ඉන්දියාවට ගියා. එදාම ගිහින් එදාම නැවත ආවා. ඒ තුන් වතාවේදීම මමයි කැලණි පන්සලේ වත්තල සීලරත්න හාමුදුරුවොයි තමයි පිරිත් කියලා ආශීර්වාද කරලා අවවාද කරලා යැව්වේ. කෙසේ නමුදු හතර වැනි වතාවෙත් ජනාධිපතිතුමා ඉන්දියාවට ගියා. ගිය වෙලාවේ ඔහු ඉන්දියාවේ ගැටයකට හසුවුණා.
ජේ.ආර්. හතරවැනි වතාවේ ඉන්දියාවට ගිය වේලාවේදි තමයි බංග්ලාදේශයට මහ ජලගැලීමක් ආවේ. ඒ වේලාවේ රජිව් ගාන්ධි ජේ.ආර්. ගෙන් ඇහුවා “සර් ජල ගැලීම බලන්න බංග්ලාදේශයේ යමුද කියලා” ජේ.ආර්. රජිව් කියපු දේ කළා. එදා බංග්ලාදේශයට ගොස් ආපසු ලංකාවට එන්න ජනාධිපතිට බැරි වුණා. එදා රෑ ඔහු සිටියේ ඉන්දියාවේ. කොහොමහරි ජේ.ආර්. එදා රෑ ඉන්දියාවේ ගැටයකට අහු වුණා. ඒ නිසා තමයි ඔහු යටත් වෙලා ගිවිසුම අත්සන් කළේ. එහෙම නැතිව ඔහු කවදාවත් ලංකාවට ඉන්දියන් හමුදාවට එන්න කියලා අත්සන් කරන්නේ නැහැ.
ජේ.ආර්. ගැටයකට අහු වූ බව මම හොඳටම දන්නවා. මොකද මමනේ එයාට හැමදාමත් පිරිත් කියලා ඉන්දියාවට පිටත් කළේ. ජේ. ආර්.ගේ හැඟීම් මම හොඳටම දන්නවා‘
ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළ දින පොඩි හාමුදුරුවන් පන්සලේ ඇති සියලු දේවාල ඉබි යතුරු දමා වැහුවේ මින් පස්සේ දෙවියන්ට පහනක්වත් පත්තු කරන්නේ නැතැයි තමන් වහන්සේටම කියා ගනිමිනි. එහෙත් එදා නාවික සෙබළා විජිත රෝහණ විජයමුණි රජිව් ගාන්ධිට පහර දුන් බව ඇසූ සැණින් පොඩි හාමුදුරුවන් දේවාලය ඇර පහන් පත්තු කිරීම ආරම්භ කරන ලදි.
මාදුළුවාවේ සෝභිත හිමියන්ව පොඩි හාමුදුරුවන් විසින් මරණයෙන් බේරාගත් ඉතිහාසය අද බොහෝ දෙනා නොදනිති. ඉන්දු ලංකා ගිවිසුම එරෙහිව පෙළපාළි ගිය ප්‍රධාන හිමි නමක් වූයේ මාදුළුවාවේ සෝභිත හිමියෝය. එදා පිරිසක් උන්වහන්සේ මහාබෝධියේ හිරකරලා ගිනි තියන්න යන බවට ආරංචියක් ‘පොඩි’ හාමුදුරුවන්ට ලැබුණි. අර කට්ටිය හැදුවේ සෝභිත හාමුදුරුවන්ට ගිනි තියලා උන්වහන්සේ ගිනි තබාගෙන මැරුණා කියලා ප්‍රචාරය කරන්නටය. පොඩි හාමුදුරුවන් අගමැති ප්‍රේමදාසට දුරකතනයෙන් කතා කොට සිද්ධිය සැල කරන ලදි. ඉන්පසු අගමැතිවරයා නියෝජ්‍ය පොලිස්පති ගුණතිලක සමඟ කණ්ඩායමක් යවා සෝභිත හාමුදුරුවෝ එළියට ගන්නට පියවර ගන්නා ලදි.
ගංගාරාමයේ ගල්බොඩ ඥානිස්සර හිමියන් නොවන්නට රණසිංහ ප්‍රේමදාස මෙරට දෙවැනි විධායක ජනාධිපති ධුරයට පත්වන්නේ නැත. ජනාධිපතිවරයාට පෙර දින ජවිපෙය විසින් ඡන්දය දාන පුද්ගලයන් ඝාතනය කරන බවට තහනමක් පැනවීය. ජවිපෙ ඝාතන නියෝගයෙන් සාමාන්‍ය ජනතාව බියට පත්වී පසු දින ඡන්දය දැමීමෙන් වැළකී නිවෙස්වල සිටීමට තීරණය කොට තිබුණි. ජේ.වී.පී. නියෝග කන වැකුණු ප්‍රේමදාස වහාම පිරිසක් ගංගාරාමයට එවන ලදි.
අපි මොකද කළේ. ජවිපෙන් ගහනවා වගේ පෝස්ටරයක් හැදුවා. ඒ පෝස්ටරය ලීවේ ගංගාරාමයේ. “ජවිපෙ. තහනම ඉවත් කළා. ඡන්ද පොළට ගොස් ඡන්දය දෙන්න. මීට ජනතා විමුක්ති පෙරමුණ” කියලා. මම ඒ පෝස්ටරය කෝටි ගණනක් ගැහුවා. උදේ එළිය වෙලා මිනිස්සු බලන විට මුළු රට පුරාම තිබුණේ ඡන්දය දෙන්න කියලා. ජවිපෙ න් ගහපු පෝස්ටරයක්. මේක දැක්කාම මිනිස්සු බය නැතිව ගිහින් ඡන්දය දුන්නා.”යි පොඩි හාමුදුරුවන් මේ සිද්ධිය මතක් කළ අවස්ථා එමටය. ‘ජනසවිය‘ සංකල්පය නව ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට ලබා දුන්නේ පොඩි හාමුදුරුවන් විසිනි. ප්‍රේමදාස ජනපති වීමෙන් පසු මුලින්ම ආවේ ගංගාරාමයටය. ගංගාරාමයේදී ප්‍රේමදාස ජනපති පොඩි හාමුදුරුවන්ට පවසා ඇත්තේ අපූරු කතාවකි.
‘මෙච්චර වෙළෙඳ ආර්ථිකයක් තිබුණු රටේ දැන් මහ බැංකුවේ තියෙන්නේ ලක්ෂ පනහයි. අමෙරිකාවෙන් පිටි සහනාධාරයක් අරන් පිටි ටික විකුණලා තමයි ඔහු වැඩ පටන් ගත්තේ. ජනසවියට මුලින්ම ආධාරය දුන්නෙත් ගංගාරාමයෙන්. අන්තිමට ප්‍රේමදාස කීවා මට මහ බැංකුව ඕනේ නෑ ජනසවිය අරමුදල හොඳටම ඇති කියලා‘
අද ශ්‍රීලනිපය කැඩී සීසීකඩ ගොස් ඇත. වරක් බණ්ඩාරනායක මැතිනිය සිටි අසූව දශකයේ ටී.බී. ඉලංගරත්න සහ මෛත්‍රීපාල සේනානායක පක්ෂයෙන් වෙන්වී ගොස් මැතිනියට නඩුවක් පවරන ලදි. අද මෙන්ම එදා ද ශ්‍රීලනිපය බෙදා ගැනීමට නඩුවලින් අඩුවක් නැත. නඩුවෙන් දිනන්න බණ්ඩාරනායක මැතිනිය භාරයක් වුණේ ගංගාරාමයටය. නඩුව ජයගත් බණ්ඩාරනායක මැතිනිය බාරය ඔප්පු කරන්නට ගංගාරාමයට එවන ලද්දේ තම බෑනා වූ ශ්‍රීලනිප උපසභාපති විජය කුමාරතුංග හා දියණිය වන චන්ද්‍රිකාය.
“විජය ගංගාරාමයට එනකොට පහනක් පත්තු කරන්න දන්නෙ නෑ. එයා බුද්ධාගමේ නෙමෙයි‘ පොඩි හාමුදුරුවන් පැවසුවේ විජය කුමාරතුංග සිර භාරයෙන් නිදහස් කරගත් හැටි යන හෙඩිමෙන් මා එවකට සේවය කළ ලංකාදීපයට ලිපියක් ලිවීමට ගිය විටය. විජයට දේශපාලනයට එන්න ඕන වුණාම බුද්ධාගම ඉගෙන ගන්න ඕන වුණා. විජය ඒක රංජිත් විජයවර්ධනට කීවාම ඔහු තමයි විජයට කීවේ ගංගාරාමයට ගිහින් බුද්ධාගම ඉගෙන ගන්න කියලා. ඒ දවස්වල විජයයි, චන්ද්‍රිකායි, ඕසි අබේගුණසේකරයි රෑ දොළහ එක වෙනකම් ගංගාරාමයේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් පොඩි හාමුදුරුවනුත් අතර වයස් පරතරය ඉතා සුළු එකකි. මහින්ද රාජපක්ෂ පොඩි කාලේ අංක ගණිතය, ඉංග්‍රීසි සහ බුද්ධාගම ඉගෙන ගන්නට ආවේ පොඩි හාමුදුරුවන් උගත් පිරිවෙනටය.
ළමයි ලෙස එකල පිරිවෙනේ මහින්ද රාජපක්ෂත් පොඩි හාමුදුරුවනුත් සෙල්ලම් කළ ඉතිහාසය පොඩි හාමුදුරුවන් හමුවන්නට ගිය වේලාවට සිහි කරන සිද්ධියකි. මහින්ද රාජපක්ෂ මුලින්ම නීතිඥයකු ලෙස අලුත්කඩේ උසාවියට ගිය දිනයේ ‘පෑන’ අරන් ගොස් තිබුණේ පොඩි හාමුදුරුවන්ගෙන් ආශීර්වාද ලබා ගැනීමෙන් පසු ගංගාරාමයෙනි.
බන්ධනාගාරගතව සිටි විජය කුමාරතුංග නිදහස් කර ගැනීමට මුල්වී ඇත්තේ පොඩි හාමුදුරුවන්ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලගේ මවගේ මල්ලි වන්නේ ධර්මසිරිය. අසූදෙක ජනාධිපතිවරණය අවස්ථාවේ හාල් කූපන්පත අච්චු ගැසුවේ ධර්මසිරිය.
‘ඒ ආයෙමත් සහල් සලාකය දෙනවා කියලා ජනතාවට හැඟීමක් ඇති කරවන්න. ඒකට ජේ.ආර්; විජය කුමාරතුංගයි ධර්මසිරියි රිමාන්ඩ් කළා. විජය කියන්නේ රංජිත් විජයවර්ධන මහත්තයාගේ හොඳ යාළුවෙක්. ඔහු විජය බලන්න ගිහින් මට ඇවිත් කීවා “ස්වාමීන් වහන්ස විජය රිමාන්ඩ් කරලා තියනවා එයාගේ කාමරයට සැර බල්බ් එකක් දාලා නිදිය ගන්නවත් බෑ කියලා.” ඒ කතාව අහපු මම ජේ.ආර්. ට ඒ ෙවලේම කෝල් කරලා ඇහුවා ජේ.ආර්. හාමු හිරේ ගිය අයට බුදියන්න තහනම් ද කියලා.” ඇයි පොඩි හාමුදුරුවෝ එහෙම අහන්නේ කියලා ජේ.ආර්. ඇහුවා. විජය ඉන්න කාමරයට සැර බල්බ් එකක් දාලා එයා බුදිය ගන්නේ කොහොමද? විජය නිදහස් කරන්න කියලා මම කිව්වා. ජනපතිවරයා කොහොම හරි පස්සේ විජයයි, ධර්මසිරියි නිදහස් කළා.
එහෙත් පොඩි හාමුදුරුවන් චන්ද්‍රිකා ගැන නිතර කියූ කතාවක් නම් චන්ද්‍රිකා දෙවරක් ජනාධිපති වුණත් කිසිදින තමන්ට දුරකතන ඇමතුමක්වත් ලබා නොදුන් බවය.
පොඩි හාමුදුරුවන්ගේ නායක හිමියන් පුස්කොළ පොත් ලිවීමේ විශේෂඥ දැනුමක් ඇති හිමි නමක් ය. මෙය දුටු ස්කොට්ලන්තයේ පොලොක් නමැති විදේශිකයකු ප්‍රින්ටින් මැෂිමක් ගංගාරාමයට පරිත්‍යාග කරන ලදි. ජිනරතන කාර්මික විද්‍යාලය ලෙස පසුව ව්‍යාප්ත වූයේ එයයි. ලංකාවේ ඇති විශාලම පුස්කොළ පොත් එකතුව පැවතියේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් සතුවය. ජිනරතන කාර්මික විද්‍යාලයට අමතරව පොඩි හාමුදුරුවන් කළ සේවාව ලියන්නට ගියහොත් වෙනම ලිපියක් ලියන්නට සිදුවනු නියතය. ලිපිය අවසානයට පොඩි හාමුදුරුවන්ගේ ජන්ම දිනයට පාතේගම ඤාණිස්සර හිමි ලියූ සටහනක් එක් කරමි.
‘ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සිංහල සංස්කෘතික හාමුදුරුවරු නමක් ලෙස දැක්වීම වඩාත් උචිතය. එසේ සඳහන් කරන්නේ සිංහල සංස්කෘතික හාමුදුරුවරු වර්තමානයේ දකින්නට ලැබෙන්නේ හාවා හඳ දකින්නා වාගේ නිසාය.
අද සිටින බොහෝ භික්ෂුන් වහන්සේ ඇවැතුමෙන් පැවතුමෙන් කෙසේ වෙතත් කතාවෙන් බහෙන් හා ක්‍රියාදාමවලින් නම් බුද්ධ කාලයේ සිට පැවැත එන්නෝය. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ඒ වර්ගයේ භික්ෂුවක් හැටියට සැලකීමට වඩා බුදු දහමත් සිංහල සංස්කෘතියත් මැනවින් කලතා ගළපා ගත් හාමුදුරුවරු නමක් හැටියට සැලකීම වඩාත් වටනේය.
මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධාගම ශ්‍රී ලංකාවට රැගෙන විත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා බුදු දහම ගළපා මැනවින් දෙසූහ. පසුකාලීනව සිංහල බුද්ධාගම ලෙස වැඩුණේ ඒ සංකල්පයයි. ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වැඩි ඉන්නේ ද ඒ මාවතේය.
වජිර ලියනගේ