ජනාධිපතිවරණය වෙනුවෙන් ඉකුත් සිකුරාදා (2දා) වන විට අපේක්ෂකයන් 14 දෙනකු ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය. එසේ ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන් අතර පිළිගත් දේශපාලන පක්ෂවලට අයත් අපේක්ෂකයන් 8 දෙනෙක්, වෙනත් දේශපාලන පක්ෂවලට අයත් එක් අපේක්ෂකයකු සහ ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කළ අපේක්ෂකයන් 5 දෙනකු වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර මහත්වරුන් හා බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි එසේ ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයන්ය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් භාර ගැනීම ලබන 13 වැනිදා දක්වා සෙනසුරාදා හා ඉරිදා දින හැර උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා සිදු කෙරේ. අගෝස්තු 14 වැනිදා මධ්‍යහ්න 12ට ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබා දී තිබූ කාලය අවසන් වේ.
සුරේකා නිල්මිණි ඉලංකෝන්