බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටි ජනාධිපතිවරණයට දින නියම වෙලා. වසර ගණනාවක පළපුරුදු ඇමැතිවරයෙක්, දේශපාලනඥයෙක් හැටියට මෙවර ජනාධිපතිවරණය දකින්නෙ කොහොමද?
ඇත්තෙන්ම මේක තීරණාත්මක අවස්ථාවක්, ජනාධිපතිවරණයේදී තීන්දු කරන්න යන්නේ අපේ රටේ අනාගතය. අගාධයෙන් ගොඩ යන්නට ගොඩ යා යුතු මාර්ගය ගැන ජනතාව තීන්දුවක් දිය යුතුයි. අවුරුදු දෙකකට කලින් මේ රටේ බහුතර ජනතාව පක්ෂ පාට භේදවලින් තොරව වෙනසක් ඉල්ලලා වීදි බැස්සා. ඒ වෙනස, පරිවර්තනය ලැබුණෙ නෑ. නමුත් හිටපු පාලකයාට ගෙදර යන්න වුණා.
තවමත් ජනතාව ඒ වෙනස බලාපොරොත්තු වෙනවා. පළාත් පාලන ඡන්දයෙදි ඒ වෙනස කරන්න ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් සල්ලි නැහැ කියන ප්රශ්නය උඩ ඒ අවස්ථාව උදා වුණේ නැහැ. ප්රජාතන්ත්රවාදී අයිතිය අහිමි වුණා. දැන් ජනාධිපතිවරණය ඇවිත් තියෙන්නේ. මේ අවස්ථාව උදා වුණේ දුෂ්කර අරගලයකින්. මේ අවස්ථාව අහිමි කරන්නත් ගොඩක් උත්සාහ ගත් බව අපට පෙනුණා. ජනාධිපතිතුමාගේ සමීපතමයන් කළ ප්‍රකාශවලින් වගේම අධිකරණයට යාම තුළින් ඒ බව පැහැදිලි වුණා. මේ නිසා ජනතාව තමන් ඉදිරියේ ඇති අවස්ථා නැත්නම් සුදුසුම මාර්ගය අනුව කටයුතු කළ යුතු වෙනවා.
ඒ අවස්ථා නැත්තම් මාර්ග මොනවාද කියල පැහැදිලි කළොත්?
මෙවර ජනාධිපතිවරණයෙදි ජනතාව ඉදිරියේ ප්‍රධාන වශයෙන් මාර්ග 3ක් තියෙනවා.
එකක් තමයි රට අගාධයට පත් කරපු කණ්ඩායම ජනාධිපතිතුමාගේ පෞරුෂත්වය උලුප්පා දක්වා ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනවා. ඒ ඔස්සේ ගමන් කරනවාද කියන එක ජනතාව කල්පනා කළ යුතු වෙනවා.
දෙවැන්න ජාතික ජන බලවේගය. ඒ මාක්ස්වාදී පක්ෂයක්, ඒ අය මාක්ස්වාදී ප්රතිපත්තිවලින් රට ගොඩ ගන්න පුළුවන් කියල කියනවා. ඒ පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වාම කිව්වා ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්තියි එකයි කියලා. මුළු ලෝකෙම අසාර්ථක බව ඔප්පු වෙච්ච ඔප්පු කරපු ප්‍රතිපත්ති ඔස්සේ තමයි ඒ අය ගමන් කරන්නෙ. අවුරුදු 40 ගණනක සමාජවාදය නැෙඟනහිර යුරෝපය, පෝලන්තය චෙකොස්ලොවේකියාව, හංගේරියාව, බල්ගේරියාව, යුගෝස්ලෝවියාව වැනි රටවලින් ඉවත් වෙලා. ඒ අය දැන ගත්තා ඒ ගමනින් විරැකියාව වැඩිවුණ බව, දුප්පත්තකම වැඩිවුණ බව. ඒ නිසා ඒ පාලකයො ගෙදර යවල ක්‍රමය වෙනස් කළා.
අද ඉන්දියාව, චීනය, වියට්නාමය වගේ රටවල් ඒ මතවලින් බැහැරවෙලා තියෙන බව අපට පේනවා. ඒ නිසා ඒ මාර්ගය ඉතාම අසාර්ථකයි. ජනතාව එයත් තේරුම් ගනීවි.
3 වැනි මාර්ගය තමයි සමගි ජන බලවේගයේ අපි පෙන්වා දෙන මාර්ගය. අපි මේ දේශපාලනයේ අලුත් බලවේගයක්. අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයේ කළ අරගලයකින් පටන් ගත් පක්ෂයක්. අද ජර්මනිය, ස්කැන්ඩිනේවියාව, මැලේසියාව වැනි රටවල් දියුණුවුණු ආකාරය ඔස්සේ ඒ රටවල් ගමන් ගත් අඩි පාරේ තමයි අප ගමන් කළ යුත්තේ. ඒ නිසා අප පෙන්වා දෙන රටේ ආර්ථික අර්බුදය දුරුකරන ගමන් මාර්ගයේ යන්නට ජනතාව කටයුතු කරන බව අපට විශ්වාසයි. කෘත්‍රිම රැලිවලින් ඉවත් වෙලා ජනතාව බුද්ධිමත්ව ගත යුතු තීන්දුව වෙලාවට ගනීවි.
ජනතාවගේ පීඩනය වැඩියි, ආර්ථිකය වැටිලා ජනතාවගේ ප්‍රතිචාරය සාම්ප්‍රදායික පක්ෂවලින් මිදෙන්න ඉඩ තියෙනවා නේද?
ජනතාවගේ පීඩනය වැඩියි කියන කරුණ ඇත්ත. ඒක තමයි යථාර්ථය. නමුත් මේ රටේ තියෙන්නේ ඔක්කොම සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ. විශේෂ වෙනසක් නැහැ. ආර්ථිකය ඔසවලා තබන්න හැකි ශක්තිමත්ම කණ්ඩායම තෝරාගැනීම තමයි ජනතාව කළ යුත්තෙ. අලුතින් පක්ෂයක් නිර්මාණය කරල ජනතාව දිනන එක ප්‍රායෝගික නැහැයි කියලයි මම හිතන්නෙ.
ඒ වගේම කියන්න ඕන අපේ පක්ෂය සාම්ප්‍රදායික පක්ෂයක්ම නෙමෙයි. අපේ පක්ෂය අලුත් පක්ෂයක්. ඒ වගේම අලුත් ප්‍රතිපත්ති තියෙන පක්ෂයක්. මේ පක්ෂවලින් මිදිලා තෝරගන්න අවකාශයක් නැහැ. ඒකයි මම කිව්වෙ මේ අවස්ථාවෙ තියෙන්නෙ ශක්තිමත්ම ආර්ථීකය ගොඩ නැංවිය හැකි පක්ෂය නැත්නම් අපේක්ෂකයා තෝරා ගැනීමයි ජනතාව කළ යුත්තේ.
දේශපාලනඥයන් තමන්ගේ මතය වරින්වර වෙනස් කරනවා. ඔබගේ මතය, ප්‍රතිපත්ති වෙනස් වෙයිද?
අපි හැමදාම ප්‍රතිපත්තිමය දේශපාලනය කරපු අය, එක්සත් ජාතික පක්ෂය උරුම ගමනින් බැහැර වෙලා අන්ත දක්ෂිණාංශික ප්‍රතිපත්ති ඇති පක්ෂයක් ලෙස කටයුතු කරනකොට පක්ෂයේ නොවන ප්‍රතිපත්ති අනුගමනය කරනකොට අපි ඒකට විරුද්ධව කටයුතු කළා. අරගල කළා. මන්ත්‍රීවරු රැසක් පක්ෂය දාල ගියා. පක්ෂයේ ප්‍රතිපත්ති රකින්න ගිහින් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් මාව 3 පාරක් ඉවත් කළා. ජ්‍යෙෂ්ඨ සභාපතිකමින් ඉවත් කළා. නමුත් පක්ෂය තුළ ඉඳගෙන පක්ෂය රැකගන්න කටයුතු කළා. අවසානයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතික තීරණය කළා නව දේශපාලන මණ්ඩලයක් පටන් ගත යුතු බවට, එහි සභාපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කළ යුතු බවට. අපි ඒ අරගලය ජයගත්තා. පාර්ලිමේන්තු මැතිවරණයේදී නව පක්ෂයක් ලෙස අපි කිසිම අලුත් දේශපාලන පක්ෂයක් ලබා ගන්න බැරි තත්ත්වයක් අපි ලබාගත්ත. අපි ආසන 54ක් හිමිකරගත්තා.
ජනාධිපතිවරයා අද බලයෙ ඉන්නෙ පොහොට්ටුවෙ මන්ත්‍රීවරුන් නිසා. මන්ත්‍රීවරු 10ක් ජනාධිපතිත් එක්ක ඉන්න එනවා, 15ක් එනවා කිව්වා. කෝ ගිය කෙනෙක් නෑනෙ.
පොලිස්පතිවරයාගේ ප්රශ්නය මේ වන විට ජනාධිපතිවරණයත් එක්කම කියවෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නේ කෙසේද? පොලිස්පතිවරයෙක් නොමැතිවීමෙන් බලපෑමක් ඇති වෙනවාද?
පොලිස්පතිතුමාගේ ප්රශ්නය ජනාධිපතිවරණයත් එක්ක පටලවා ගන්න හදන්නේ ජනාධිපතිවරයායි. ඒක පැහැදිලියි. ව්‍යස්ථාදායක සභාව හා කථානායකවරයා දුන්න අර්ථ නිරූපණ වැරදියි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තියෙනවා. ජනතාවගේ බුද්ධිය අවතක්සේරු කරන තත්ත්වයක් මේ පේන්න තියෙන්නෙ.
පැරැණි සාම්ප්‍රදායික සෙල්ලමේම ඉන්න තත්ත්වයක් මේ පේන්නෙ. විවිධ බලපෑම් කරල ජනාධිපතිවරණය කල් දාන්න උත්සාහ කරන බවක් පේනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 92ක් ජනාධිපතිවරයාගේ සහායට ඇවිත් මෙය ලොකු බලපෑමක් එල්ල කරන්නක් නේද?
අමුතුවෙන් ජනාධිපතිවරයාගේ සහායට මැති ඇමැතිවරු 92ක් ආව කියන කතාවක් නැහැ. රනිල් වික්‍රමසිංහයන් ජනාධිපතිධුරයට පත් කරන්න කටයුතු කරපු අයමනෙ ඔය ඉන්නෙ.
අධිපතිවාදී පාලනයක් ගෙනියන්න සහාය දෙන ‘ඔන්ලයින් පනතට‘ ත්‍රස්ත විරෝධී පනත ගේන්න අත උස්සපු අයම තමයි මේ පිටිපස්සෙන් ඉන්නෙ. ඒ අය තවදුරටත් තමන්ගෙ දූෂණ වහගන්න, පැවැත්ම ආරක්ෂා කරගන්න තමයි කටයුතු කරන්නෙ. තමන්ගෙ ගැලවුම්කාරයා ලෙස ජනාධිපතිවරයා තියාගන්න කරන උත්සාහයක් මේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුත් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්න යයිද?
මම කලින් කිව්ව වගේ අවුරුදු දෙකක් තිස්සේම කිව්වනෙ සජබෙන් 15ක් එනවා 25ක් එනවා කියල, කෝ කවුද ගියේ. ඡන්දයක් කිට්ටු වෙනකොට එහාට මෙහාට එක්කෙනෙක් දෙන්නෙක් පනින එක ඉතිහාසය පුරාම අපි දැකල තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණත් සමගි ජන බලවේගයේ කිසි කෙනෙක් ගියේ නෑනෙ.
ජනතා විමුක්ති පෙරමුණට කලින් නොතිබුණු පිළිගැනීමක් ඇති බව පෙනෙන්න තිබෙනවා. එය ඔබ දකින්නේ කෙසේද?
ජනතා විමුක්ති පෙරමුණු අද ජාතික ජන බලවේගය නමින් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වර්ධනය ගැන අපි ඇත්තෙන්ම සතුටු වෙනවා. පොහොට්ටුව ගැන කලකිරුණු ඡන්ද ඒ පක්ෂයටත් යනව, අපටත් ලැබෙනවා. සන්නද්ධ අරගලයෙන් ඈත් වෙලා ප්රජාතන්ත්රවාදි ප්රවාහයට එකතු වෙලා වර්ධනයක් ලැබීම මෙරට ප්රජාතන්ත්රවාදය තුළ වැදගත් සුබ ලකුණක්. ඒ හඬ ප්රජාතන්ත්රවාදයේ තිබීම හොඳ ප්‍රවණතාවක්.
සජිත් – නාමල් රහස් සාකච්ඡාවක් කළ බව පුවත්පතක වාර්තා කර තිබුණා. එය ඇත්තක්ද? මොනවද මේ සාකච්ඡා කර ඇත්තේ.
මම දන්න තරමින් එහෙම සාකච්ඡාවක් කරල නැහැ. ප්රජාතන්ත්රවාදී පක්ෂයක් විදිහට ඒ විදිහට සාකච්ඡාවකට යනව නම් පක්ෂයත් එක්ක කතා කරල තමයි යන්නේ. ඒ ජනතාවාදී නායකයො බලයට පත්වීම වළක්වන්න ගජමිතුරු, ධනපති බලවේග උත්සාහ කරනවා. ඒ වගේ වෙලාවට මේ වගේ ප්රවෘත්ති පළ කරනවා ජනතාව බුද්ධිමත් නිසි දේවල් තෝරා ගන්න.
නමුත් රට පැවති තත්ත්වයෙන් මේ වන විට මිදිල තියෙනව නේද? ජනතාවට සහන ලැබෙනවා.
තාම අපි ජාත්‍යන්තර ණය ගෙවීම ආරම්භ කරලත් නැහැ. එහෙම තත්ත්වයක් තියෙන්නෙ. ඒ නිසා ඇත්තටම සහන දෙනවාද එහෙම දෙන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. බඩු මිල අඩු කරල කරන උප්පරවැට්ටිවලින් මිනිස්සු ආකර්ෂණය කර ගන්න උප්පරවැට්ටි මේ. ඡන්දෙන් පස්සෙ තවත් බඩු මිල වැඩි කරන්න වෙයි. ජනතාව මේ තත්ත්වය තේරුම් ගනියි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා වෙනස් කරන බව ඔබ පක්ෂයේ අය පවසා සිටියා. අන්තර්ජාතික ගිවිසුම්වලට එවැන්නක් කරන්න පුළුවන්ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විපක්ෂ නායකතුමා එක්කත් සාකච්ඡා කළානෙ. ඒ අවස්ථාවෙදි අපේ යෝජනා ඉදිරිපත් කළා. ඒ අය අපත් එක්කත් සාකච්ඡා කළේ නිකම් නෙමෙයිනෙ. අලුත් ජනාධිපතිවරයකුට අලුත් ජනවරමකට හැකියාවක් ලැබේවි. මේ එකඟතා වෙනස් කරල දෙපාර්ශ්වයටම එකඟ විය හැකි රටට වැඩිවාසිදායක එකඟතාවන්ට එන්න. හැම බදාදා දවසකම අපේ ආර්ථික කණ්ඩායම සාකච්ඡා කරල අපේ ආර්ථික දැක්ම ප්‍රකාශ කරනවා.