ජනාධිපතිවරණයේදී රට ගොඩගත් නායකයා ලෙසින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතර මැති ඇමැතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න එක්වුණා. ඇයි ඔබ ඇතුළු කිහිප දෙනෙක් සහාය නොදෙන්න තීරණය කළේ.
අපි ජනාධිපතිවරයාට රටේ පළමු පුරවැසියා ලෙස පත් වෙන්න උදවු කළා. පත්වුණාට පස්සෙ රට ඉදිරියට ගෙනියන්න අපි උපකාර කළා. පාර්ලිමේන්තුවේ බහුතරය එතුමාට ලබා දී අපි ඒ ගමනට අපෙන් ලැබිය යුතු සියලු දායකත්වයන් ලබා දුන්නා. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා යම් යම් අඩුපාඩු තිබුණත් අපි රට ගැන හිතල තමයි ඒ අවස්ථාවෙ උදවු කළේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් එක්කම අපි පක්ෂයක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කළා, පක්ෂයක් විදිහට අපි කොහොමද උදවු උපකාර කරන්නෙ කියල. ඒ වගේම ඒ සම්බන්ධයෙන් එතුමාගෙ අදහස් ආදිය ගැන අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළා. ඒ පක්ෂ නායකයන් අතරේ එතනින් තමයි මේ අර්බුදය ඇති වුණේ.
පක්ෂ නායකයො එහෙම කතා කරගෙන යද්දි එතුමා අපේ පක්ෂයේ අතුරු අයත් එක්ක වෙනම සාකච්ඡා කළා. එතකොට පක්ෂයට මොකද වෙන්නෙ. අපි දෙපාර්ශ්වයේම තිබුණු යම් යම් අඩුපාඩු සාකච්ඡා කරල ඉදිරියට යන්න ගියේ. පක්ෂයක් වුණහම පක්ෂ නායකයො කතා කරල යම් තීන්දුවක් අරගෙන පක්ෂයෙ අනෙක් සාමාජිකයන්ට කියනව. ඒකනෙ සාමාන්‍ය ප්‍රතිපත්තිය. එතෙන්ට යනකල් රනිල් වික්‍රමසිංහ මහතා ඉවසුවෙ නැහැ. ඒකෙන් වුණේ පක්ෂය ඇතුළෙ ලොකු අර්බුදයක් හට ගැනීමයි.
ජනාධිපතිවරයා සමඟ නැවත සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?
හෙට වුණත් අපට නැවත සාකච්ඡා කරන්න පුළුවන්. එහි ගැටලුවක් නැහැ. නමුත් වෙලා තියෙන්නෙ ජනාධිපතිවරයා අපේ පක්ෂයේ නායකත්වය අමතක කරලා වෙනත් අයත් එක්ක සාකච්ඡා කිරීමනෙ.
නමුත් දැන් වෙලා තියෙන්නෙ අපේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට අපි කටයුතු කිරීමයි. ඒ නිසා පක්ෂයෙ අය සම්බන්ධ කරගෙන පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් යෝජනා සම්මත කරලා තියෙන්නෙ. මේ ප්රශ්නය දැන් අර්බුද රැසකට මඟ පාදල තියෙන්නෙ. ඒක ගොඩක් ඔඩු දුවලා තියෙන්නෙ. මේක ඉතා සරලව කතා කරල විසඳගන්න තිබුණු ප්‍රශ්නයක්. මම හිතන්නෙ නැහැ දැන් අපිට පක්ෂය ගත්ත ඒ ක්‍රමයෙන් එහාට යන්න පුළුවන් වෙයි කියල.
ඒ කියන්නෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් එනව කියන එක ස්ථිරයි කියන නේද?
ඔව්, අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න පක්ෂය තීරණය කළා. 7 වෙනිදා ඒ අපේක්ෂකයා කවුද කියල දැනුම් දෙනවා.
ඇත්තෙන්ම දෙපාර්ශ්වය අතර හොඳ අවබෝධයකින් වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කළානම් මොකද මේ සාකච්ඡාවන්ට වුණේ.
අපි ඉතාම පිරිසිදු අදහසකින් තමයි මේ සාකච්ඡාවන්ට ගියේ. එක්කො අපේ පක්ෂයේම කට්ටියක් රනිල් වික්‍රමසිංහ මහතාව වැරැදි මාර්ගයකට යොමු කළා, තම තමන්ට යම් යම් දේ වැඩි වැඩියෙන් බලාපොරොත්තුවකින්. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා නිවැරැදි අවබෝධයක් ලබා ගත්තෙ නෑ මේ සාකච්ඡා සම්බන්ධයෙන්.
පක්ෂයක තීන්දුවක් ගන්න කලින් ඒ පක්ෂයේ ඉන්න අනෙක් සාමාජිකයො රැස් කරල එයාලගෙ සහාය ගන්න ගියහම අනිවාර්යෙන්ම එතන ආරවුලක් ඇති වෙනවනේ.
ඔබ හිතනවද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරල පොදු ජන පෙරමුණට ජයගන්න පුළුවන් වෙයි කියල?
අපොයි ඔව්. අපිට ජය ගන්න එක මහ දෙයක් නෙමෙයි. මොකද ග්‍රාමීය මට්ටමේ ජනතාව මහින්ද මහතා හෝ අපේ පක්ෂය අතහැරල ගිහින් නැහැ. ඒක නිසා ජයග්‍රහණය අපට ගැටලුවක් නෙමෙයි. මම කියන්නෙ නැහැ හැටනම ලක්ෂයකම ජයග්‍රහණයක් අපට ගන්න පුළුවන් කියල. ඒත් අපට යම් මට්ටමකින් ජය ගන්න පුළුවන්.
ඔබ එහෙම කිව්වත් ජනතා විමුක්ති පෙරමුණ එක පැත්තකින් අභියෝගයක් වෙලා, තවත් පැත්තකින් සමගි ජන බලවේගයත් ඒ වගේම තර්ජනයක්. ඔබ පක්ෂයේම මැති ඇමැතිවරුන් ඉන්න රනිල්ගේ කණ්ඩායම තවත් එකක්. ඒ අස්සේ පොදු ජන පෙරමුණට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරල ජය ගැනීම පහසු වෙයි කියලද ඔබ කියන්නේ?
හැමදාම ජනාධිපතිවරණයක් කියන්නෙ ද්විත්ව සටනක් නැත්නම් ත්‍රිත්ව සටනක් වගේනෙ. මේ පාර ඒ සංඛ්‍යාව වැඩිවෙලා තියෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. ඒක එච්චර අපිට හිතන්න දෙයක් නෙමෙයි.
ඔබ එහෙම කිව්වත් මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු 92ක් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමාට සහාය පළ කරන්න ගියානෙ. ඒ වගේම අගමැතිතුමාත් එතුමාට සහාය පළ කරන්න ගියා. කලින් කිව්වා වගේම සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගය අනෙක් සටන් බිමේ. ඔබ කොහොමද කියන්නෙ මේ සටනින් ජය ගන්න පුළුවන් වෙයි කියලා?
ඒ අය එකට සම්බන්ධ වුණාට බිම් මට්ටමේ ඡන්දදායකයනෙ ජනාධිපතිවරණයට පත් වෙන කෙනා තීරණය කරන්නෙ. බිම් මට්ටමේ ඡන්දදායකයා නැත්නම් අපි කාටවත් බලයට එන්න ලැබෙන්නෙ නැහැ. ඒක නිසා අපි විශ්වාස කරන්නෙ බිම් මට්ටමේ ඡන්දදායකයා ගැන මිසක් අවස්ථාවාදීව එහාට මෙහාට යන අය ගැන නෙමෙයි.
ඔබ පක්ෂයේ අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා එනව කියල රාවයක් තියෙනවා නේද?
අපි තාම එහෙම තීරණයක් අරගෙන නැහැ. 7 වෙනිදාට අපේ අපේක්ෂකයා දැනුම් දෙනවා. ධම්මික පෙරේරා කියන්නෙත් අපේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ඒ වගේම හිටපු ඇමැතිවරයෙක්. ඒ නිසා අපේ පක්ෂයේ අපේක්ෂකයා එතුමා වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් අයෙක් වෙන්නත් පුළුවන්. කොහොමත් 7 වෙනිදට බලාගන්න පුළුවන්නෙ අපේ අපේක්ෂකයා කවුද කියලා.
එහෙත් මේ තත්ත්වය ඇතිවෙන්න හේතුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නිතරම කියපු ‘පොහොට්ටුවට‘ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි යන ‘මතය‘ බව ජනාධිපතිවරයාට සහාය දෙන්න තීරණය කළ ඔබ පක්ෂයේ කිහිප දෙනෙක්ම පැවසුවා.
ඕන කෙනෙකුට ඕන චෝදනාවක් කරන්න පුළුවන්. ඒක සාක්ෂි සහිතව ඔප්පු කරන්න වගේම ඒක පිළිගන්නත් එපැයි. දැන් බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හතරට, පහට කැඩිලා හැමෝම චෝදනා කරගන්නවා. මේ ඡන්දෙන් පස්සෙ බලාගන්න පුළුවන් කවුරු ගැනද ජනතා විශ්වාසය ඇති වෙලා තියෙන්නෙ කියලා.
කංචන විජේසේකර ඇමති කිව්ව පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ඉවත් කළ යුතුයි කියලා.
මේ කාලෙ එහෙම ප්රවෘත්ති ඕනතරම් නිෂ්පාදනය කරන්න පුළුවන්නෙ. මාතර සම්මේලනයෙන් නෙමෙයිනෙ ප්‍රධාන ලේකම් තෝරන්නෙ. පක්ෂයේ විධායක සභාවෙන් වගේම දේශපාලන මණ්ඩලයෙන්නෙ ලේකම්වරයා තෝරන්නෙ. ඒක දැන දැන ඒ වගේ කතා කියනව කියන්නෙ කෙනහිලිකමක් කරන්න නැත්නම් බාල්දුවක් කරන්න තමයි අදහස.
ඔබ පරිණත දේශපාලනඥයෙක් ලෙස ජනාධිපතිවරණය ගැන සමාජ විචාරකයන්ගෙ අදහස් හා වත්මන් ආර්ථික තත්ත්වය දකින්නේ කෙසේද?
විශේෂයෙන්ම අපේ රටේ සහන බලාගෙන ඉන්න ජනතාවගේ ආකල්ප දුරුවිය යුතුයි. ඒ වගේම පෞද්ගලීකරණය කරන කොට වැඩ කරන ජනතාව ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. දැනටමත් සතොස වහල සෑහෙන පිරිසක් එළියෙ. පෞද්ගලිකරණය කිරීම ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නිකම් පඩි දිදී සේවකයන් තියාගන්න ඕන නැහැ. නමුත් සේවකයන්ගෙ රැකියා සුරක්ෂිතතාව තියෙන්න ඕන. අවුරුදු 30ක් 35 වයසෙ කෙනෙකුට අද සේවයෙන් එළියට ගිහින් රස්සාවකන් හොයාගන්න එක ලෙහෙසි පහසු වැඩක් නෙමෙයිනෙ. ආයෝජකයො ගෙන්වීම කළ යුතුයි. ඒත් අපේ දේපළ අස්කරල නැත්නම් විකිණීම නෙමෙයි අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ.
ඒ සියලු ආකල්ප ජනහිතවාදී ප්‍රතිපත්තියක් ලෙසින් ක්‍රියාත්මක විය යුතුයි. දේශීය ආයෝජකයන් ඉන්නව නම් ඒ අයට පුමුඛතාව ලබා දිය යුතු වෙනවා. අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තියෙන්නේ දේශීය ආර්ථිකයක් ගොඩනැඟීමට. නමුත් දැන් තියෙන්නෙ ඊට වඩා හාත්පසින්ම වෙනස් එකක්නෙ.