රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ සඳහා එතුමාට බලය දිය යුතුයි
– පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, අජිත් රාජපක්ෂ
කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය සහ ඒ හේතුවෙන් පැන නැඟුණ සමාජ අර්බුදය ආදී විවිධ අර්බුදවලට මුහුණදීලා තිබුණ වෙලාවක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මැදිහත්වෙලා අපි හැමෝගෙම සහයෝගයෙන් මේ රට නැවත යථා තත්වයට පත් කරන්න කටයුතු කළා. නමුත් එතුමාට ලැබුණේ අවුරුදු දෙකක් වගේ ඉතාම කෙටි කාලයක්. මේ රටේ හැම කෙනාගෙම විශ්වාසය දිනාගෙන එතුමා ඉතා හොඳින් ඒ කටයුත්ත ඉදිරියට ගෙන යමින් තිබෙනවා. එනිසා ඉදිරි වසර පහ එතුමට බලය ලබා දීලා ඒ කටයුතු ඉදිරියට ගෙන යමින් මේ රට තව තවත් ඉදිරියට ගේන්න කටයුතු කරන එක හැම කෙනාගෙම වගකීමක් හා යුතුකමක් වෙනවා. එනිසයි එතුමාට සහය දෙන්න අපි තීරණය කළේ.
තවදුරටත් අත්හදා බැලීම් කරන්න අපට පුළුවන්කමක් නැහැ
– විදේශ කටයුතු අමාත්‍ය,ජනාධිපති නීතීඥ අලිසබ්රී
මේ වෙලාවේ අපි පටු දේශපාලන වාසි සොයන්න නැතිව මේ රට තියෙන තත්ත්වය දිහා බැලුවොත් ආර්ථිකව ඉතාම අවදානම් තැනකයි මේ රට තියෙන්නේ. ඒ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න නම් විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් දැක්මක් සහ පළපුරුද්දක් තිබෙන නායකත්වයක් අවශ්‍යයි. මේ රටේ තිබුණු තත්ත්වයත් එක්ක ගෙවී ගිය වසර දෙකක කාලය තුළ හොඳ ප්‍රගතියක් අත් කර දෙන්න වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට හැකි වුණා.
මේ තත්ත්වය තුළ තවදුරටත් අත්හදා බැලීම් කරන්න පුළුවන්කමක් අපට නැහැ. ඒ නිසා අනෙක් සියලු සාධක පසෙකලා රට ගැන හිතලා ගන්න පුළුවන් හොඳම තීරණය මේ මොහොතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දීම බවයි මගේ විශ්වාසය.
මේක අරයා මෙයා ගෙනැවිත් සෙල්ලම් කරන්න ඕන වෙලාවක් නෙවෙයි
– ධීවර රාජ්‍ය ආමාත්‍ය, පියල් නිශාන්ත
මීට වසර දෙකකට උඩදී මේ රට තුළ ඇතිවුණු තත්ත්වය අපි දැක්කා. එදා මේ රට ඉතාම භයානක තත්ත්වයක තිබුණේ. එක පැත්තකින් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක්. ඒ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන පටු දේශපාලන වාසි ලබාගන්න ඇති කරපු දේශපාලන අර්බුදය තවත් පැත්තකින්. ඒ වගේම විපක්ෂයේ බලයට කෑදර වෙච්ච දේශපාලනඥයන් තවත් පැත්තකින්. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය ලබාදී පිහිටුවාගත් ආණ්ඩුව කෙරෙහි රටේ ජනතාව තුළ ඇති වුණ කළකිරීම තවත් පැත්තකිනුත් මේ රට ආපස්සට රැගෙන යමින් තිබුණා.
ඉතාම කුමන්ත්‍රණකාරීව එම ආණ්ඩුව බිඳ වැට්ටුවත් ඒ සඳහා නායකත්වය තුළත් යම් යම් අඩුපාඩුකම් පෙනී ගියා. මේ නිසා රට අරාජික වෙමින් දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබුණා. ඒ අවස්ථාවේ මේ රටේ වගකීම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට භාරගන්න කියද්දී ඔහු පටු පෞද්ගලික ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් අභියෝග භාරගන්න තියෙන සුපුරුදු භීතිකාව ප්‍රදර්ශනය කරමින් පලා ගියා.
රටේ ආර්ථීකය පරිවර්තනීය තැනකට ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයා
– පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක
ඉතාමත් කෙටිකලකින් කඩා වැටුණ ආර්ථීකය පුනර්ජීවනයක් කරා ගෙන ගියේ එතුමා විසිනුයි. ශක්තිමත් ආර්ථිකයක් රටේ ඇති කිරීමට ශක්තිමත් අඩිතාලමක් දාලා ආර්ථික පරිවර්තනයක් ඇති කරලා තියෙනවා.. 2003දිත් ආර්ථික සංවර්ධන වේගය 5.8කට ගියා. එය නිදහසින් පසු ඇති වූ වේගවත්ම සංවර්ධනයයි. රටේ ආර්ථීක අර්බුදයක් පැවැති අවස්ථාවක මේ රට ගොඩගනු ලැබුයේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයා විසිනුයි. ඒ නිසා අපේ සහයෝගය එතුමාටයි.
මේ තීරණය ගත්තේ රට ගැන හිතලයි
– නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි එදා විරුද්ධව කටයුතු කළේ අපේ දේශපාලන අරමුණ වෙනුවෙන්. ඒ වෙලාවේ මම තමයි වැඩියෙන්ම එතුමාට විරුද්ධව කතා කළේ. නමුත් අරගලයත් සමඟ රටේ ඇති වූ තත්ත්වය අපි දැක්කා. අරගලය සාධාරණීකරණය නොකළත් ප්රජාතන්ත්රවාදය නැති වෙලා අරගලයක් ඇති වුණාම මිනිසුන් ඒ වගේ හැසිරෙනවා. එදා අපේ ගෙවල් ගිනි තියලා, ඇස්වලට පිහියෙන් ඇනපු අරගලයේ නරක පැත්ත අපි දැක්කා. අරගලයෙන් පස්සෙ මේක භාරගන්න කවුරුත් හිටියේ නැහැ.
ඒත් ඒ වෙලාවේ භාරගත්තේ රනිල් වික්‍රමසිංහ එදා හිටපු අගමැතිවරයා විතරයි. ඒ වෙලාවේ අපි කොන්දේසි විරහිතව උදව් කිරීමට එකඟ වුණා. මිනිසුන් තුළ තිබුණු අරගල මානසිකත්වය තුරන් වෙලා ගියා. එයට එතුමා පසුබිම හැදුවා. ඒනිසා එතුමාට අපි සහයෝගය දීමට කටයුතු කළා.
අනෙක් පක්ෂ නායකයෝ ආර්ථීක අර්බුදය වෙලාවේ ඒ අභියෝගය භාරගන්න බැහැ කිව්වා. පොහොට්ටුවේ මන්ත්‍රී ඇමැතිවරුන් එක්ක එතුමා වසර දෙකක් තුළ රට මෙතැනට ගෙනාවා.
අපි දේශපාලනික මතිමතාන්දර මොනවා වුණත් අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න කටයුතු කරන්න අවශ්‍ය එතුමා රටට යමක් කරලා තියෙන නිසයි.
මේ පාලනය බිඳවැටුණොත් නැවතත් අර්බුදයකට යනවා
– මුදල් රාජ්‍ය අමාත්‍ය, ශෙහාන් සේමසිංහ
ජනාධිපතිවරයාට සහාය පළ කිරීම පෞද්ගලික වරප්‍රසාද ලබාගන්න කරන වැඩක් ලෙසයි ගොඩක් අය විවෙචනය කරන්නේ. නමුත් මේ සහයෝගය බිඳ වැටුණොත් මොකද වෙන්නෙ කියලා මේ කතා කරන අය දන්නෙ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැතුව මේ රට මාසයක්වත් ඉදිරියට යන්න බැහැ.
එහෙම වුණොත් ඇතිවන අවදානම කවුරුවත් තේරුම් අරන් නැහැ. රට තුළ අස්ථාවරත්වයක් ඇති වීම, සෞඛ්‍ය පහසුකම්, භාණ්ඩ හා සේවා, අයි.එම්.එෆ්. සහ ලෝක බැංකුව හා ණය හිමියන් සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවන් යන මේ හැම එකක්ම නැවතත් අර්බුදයට යනවා.
තවමත් අප බිලියන හයකට ආසන්න ණය ප්‍රමාණයක් ගෙවා නැහැ. මේ රටේ ආර්ථිකය පිළිබඳව අප මීට වඩා ගැඹුරින් හිතන්න ඕන.
රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරියටත් මේ රට පාලනය නොකළොත් පෝලිම් යුගයේ සංඥා පළමු මාස හය තුළ එනවා. අපි බොහෝ දෙනා එතුමාට සහය දක්වන්න තීරණය කළේ ඒ නිසයි.
මේ තීන්දුව ගත්තෙ රට නැවත ආපස්සට ගෙනියලා විනාශ වෙන්න දෙන්න බැරි නිසයි
– ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන
අපි දේශපාලන වශයෙන් තීන්දු තීරණ ගන්න කොට රට ගැන හිතල ඒ තීන්දු තීරණ ගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ අපි බොහෝම මහන්සි වෙලා ආදරෙන් ගොඩනඟපු පක්ෂය. පක්ෂයට මේ වෙලාවේ ජනතාවගේ මතය තේරුම් ගියේ නැහැ. ඒ නිසා අකැමැත්තෙන් හරි රට ගැන හිතලා අපට මේ තීන්දු ගන්න වුණා.
අපේ රට කොතැනද තිබුණෙ කියලා මීට අවුරුදු දෙකකට පෙර ඉතිහාසය අරන් බැලුවම තේරෙනවා. එහෙම තිබුණු රට ගොඩ ගන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට භාර දෙන්න තීන්දු කළේ ඒ වන විට ආණ්ඩුව කළ පොදු ජන පෙරමුණයි. ඒ අනුව පොහොට්ටුවේ සහයෝගයත් ඇතිව එතුමට මේ රට යථා තත්ත්වයට ගන්න හැකියාව ලැබුණා. එතුමා ජනාධිපතිවරයා හැටියට එතුමාගෙ කටයුත්ත කළා. අපි මන්ත්‍රී කණ්ඩායම හැටියට එතුමාට අවශ්‍ය සහාය ලබා දුන්නා. ඒ විදියට මේ තත්ත්වයට ගෙනාපු රට නැවත ආපස්සට ගෙනියලා විනාශ වෙන්න දෙන්න බැහැ කියන ස්ථාවරයට අපි ආවා.
කාන්තාවක්, අම්මා කෙනෙක් හැටියට මාත් ඒ ස්ථාවරයට ආවා. ඒකට හේතුව පැය 14-15ක් විදුලිය විසන්ධි කරද්දි කාන්තාවන්ට අඩුමතරමේ ස්වයං රැකියාවක්වත් කරගෙන යන්න බැරි වුණා. ඇඳුම් මහලා පවුල රැකගත්ත කාන්තාවන්ට ඒකවත් කරගන්න බැරි වුණා. එතැනට වැටුණු රට මුදා ගත්තු එක වගේම නැවත වතාවක් ඒ තත්ත්වයට රට වැටෙන එක වළක්ව ගන්න ඕන. ඒ නිසා මේ අවස්ථාවේ මේ සියල්ල කළමනාකරණය කළ හැකි පරිණත දේශපාලන නායකත්වයක් රටට අවශ්‍යයි. එය කළ හැකි සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා නිසා එතුමාට සහාය දෙන්න මම තීන්දු කළා.
බහුතර ජනතාවගේ කැමැත්තත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයායි
– කර්මාන්ත අමාත්‍ය සහ තොරතුරු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ
මම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කළේ, මේ අවස්ථාවේ රට ඉදිරියට ගෙන යාමට හැක්කේ එතුමාට පමණක් වීම නිසයි. මෙම තීන්දුව ගැනීමට පෙර ගම් මට්ටමේ පාක්ෂිකයින්ගෙන්, ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු මහජන නියෝජිතයන්ගෙන් විමසා සිටියා. එයින් බහුතර ජනතාව කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කරන්න කියලයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළේ, නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් නම් එතුමාගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ තීරණය ගන්නේ නම් මේ අවස්ථාවේ කරන්න අවශ්‍ය හොඳම දේ වන්නේ අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර සිටීමයි.
දරුණු ආර්ථික අගාධයෙන් රට ගොඩගත් නායකත්වය තවදුරටත් අවශ්‍යයි
– ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම
දරුණු ආර්ථික කඩා වැටීමකට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක්. මෙවැනි ආර්ථික කඩා වැටීමට ලක්වූ ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නැහැ. දැනුම, පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩ ගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරැදියි. ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුවක් කියලා මම හිතනවා.
මේ මොහොතේ ආණ්ඩුවේ වැඩ කටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩාවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් මෙවැනි ආර්ථික කඩා වැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නැහැ.
මේ වෙලාවේ රටට ඕනේ ජාත්‍යන්තර සහයෝගය තිබෙන නායකයෙක්
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක්වූ රට යළි හිස ඔසවමින් තිබෙන මේ මොහොතේ අපි සිටින්නේ විශාල අභියෝගයක් ඉදිරියේ. මේ අවස්ථාවේදී රට ගොඩ දාන්න පුළුවන් කෙනෙකුට දුන්නේ නැති නම් අපිට නැවතත් අගාධයකට ගිහින් පරණ තැනටම යන්න පුළුවන්. මේ වෙලාවේ අපිට ඕනේ අත්දැකීම් තියෙන නායකයෙක්. ඍජු තීන්දු තීරණ ගන්න, ජාත්‍යන්තර සහයෝගය තිබෙන නායකයෙක් අවශ්‍යයි. එම සුදුසුකම් සහ දේශපාලන පරිණත භාවයක් අනෙක් කිසිදු අපේක්ෂකයකුට නැහැ. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. එතුමා චීනයේ, ජපානයේ අගමැතිවරුන්ට කතා කරලා වසරක් වැනි කෙටි කාලයක් තුළ කළ දේ කිසිදු කෙනෙකුට කරන්න බැහැ. එය තමයි දේශපාලනික පරිණත භාවය. සියලු දේශපාලන පක්ෂ ඒකරාශි කිරීමේ හැකියාව තියෙන්නේ එතුමාට විතරයි. මේ දේ කළ හැකි එකම නායකයා එතුමායි. තව වසර පහක් පමණ එතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙන්න අවශ්‍යයි. මේ ගත්ත පියවර ඉදිරියට ගෙන යන්න එතුමා රටට අවශ්‍යයි. මේ කෙටි කාලය තුළ රට භාරගන්න පුළුවන් කෙනෙකුට රට භාර දෙනවද කියලා අපි හිතන්න ඕන. පක්ෂ භේද ඉවතට දාලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපි එකට හිටගන්නේ රට වෙනුවෙන්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රට වෙනුවෙන් හිටගත්ත මිනිසුන්.
ආර්ථික පංචායුධයක් සමඟ එන එකම අපේක්ෂකයා ජනපති රනිල්
– ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන
මේ රට ආර්ථික සංවර්ධනයේ හිනි පෙත්තට ගෙනයන්නට හැකි ආර්ථික පංචායුධයක් සහිතව ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා ජනපති රනිල් වික්‍රමසිංහ මහතායි. පොහොට්ටුවේ අපි එතුමන් දිනවන්නට කැපවී සිටින්නේ එනිසයි.
මෙරටේ බඩු මිල නිරන්තරයෙන් ඉහළ නැංවූ සල්ලි අච්චු ගැසීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව මඟින් නව පනතක් ගෙනාවේ එතුමායි.
ඕනෑම ආණ්ඩුවකට හිතුමනාපයට ගිනිපොලියට ණය අරගන්න බැරි වෙන්න ණය පාලන පනතකුත් එතුමා සම්මත කර ගත්තා. ඒ විතරක් නෙමෙයි. මින් ඉදිරියට දේශපාලන බොරු පොරොන්දු දීලා අයවැයෙන් මුදල් වෙන් කරන්න බැරි වෙන්න මූල්‍ය කළමනාකරණ පනතක් එතුමා ගෙනාවා. ඒ අනුව මින් ඉදිරියට අයවැය හදන්න පාර්ලිමේන්තුවේ වෙනම කාර්යාලයකුත් තිබෙනවා.
ඒ වගේම මෙතෙක් ආපු ආර්ථික ගමන් මඟ වෙනස් කරන්න සියලුම දේශපාලන පක්ෂවල එකඟතාවයෙන් එතුමා ආර්ථික පරිවර්තන පනත සම්මත කර ගත්තා. ඒවගේම දේශපාලකයන්ට, බලධාරීන්ට, නිලධාරීන්ට හොරකම්, වංචා, දූෂණ කරන්න බැරිවෙන දැඩි දූෂණ විරෝධී පනතකුත් සම්මත කර ගත්තා.
ඒ අනුව මේ ආර්ථික පංචායුධයත් සමඟ ජනපතිවරණයට එන එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා අපි ඔහුව දිනවනවා.
අර්බුදවලින් රට බේරාගත් නායකයාට කෘතවේදී විය යුතුයි
– තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්
වසර දෙකක් වැනි කෙටිකාලයක් තුළ රටේ පැවැති අර්බුදවලින් රට ගොඩනැඟීමට හැකිවුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට පමණයි. ඒ අවස්ථාවේදී එම අභියෝගය භාරගෙන රට නැවත යථා තත්ත්වයට පත් කර මේ රටේ ආර්ථික ස්ථාවරත්වයක් කරාගෙන යාමට හැකියාව ලැබුණේ එතුමාගේ වැඩ පිළීවෙළ නිසයි.
රටට යහපතක් නොකරන අය පත්කරලා වැඩක් නැහැ
– පොදුජන පෙරමුණෙ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන
එතුමාට රට භාර දුන්නෙත් පොහොට්ටු පක්ෂයේ පිරිස විසින්මයි. ජනාධිපතිවරයෙක් ලෙස එතුමා ඉතාමත් හොඳ කාර්යභාරයක් රට වෙනුවෙන් ඉටු කළා. ආර්ථිකය බංකොලොත් වෙලා තිබෙන වෙලාවක රට හදන්න ප්‍රමුඛතාවය දුන්නෙත් එතුමා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ගොඩගෙන පැවති දේශපාලන අස්ථාවරය ස්ථාවර කිරීමට සහයෝගය දුන්නේ එතුමා විසින්. අපි කෘතගුණ සලකන්න අවශ්‍යයි. එතුමාට ජාත්‍යන්තර සහයෝගය මෙන්ම ශක්තිමත් සම්බන්ධතා තියෙනවා. මේ අවස්ථාවේ අත්හදා බැලීම් කරලා බැහැ. රටට යහපතක් නොකර අය මේ වෙලාවේ පත්කරලා වැඩක් නැහැ. ඒ නිසා රට වෙනුවෙන් යමක් කළ එතුමාට රටේ ජනතාව විසින් සහයෝගය දිය යුතුයි.
පක්ෂ පාට, භේද බලන්නේ නැතුව මේ වසර පහට එතුමා වැනි නායකත්වයක් තෝරා පත් කර ගැනීමටයි අපි සහාය දෙන්නේ. ඒ නිසා සියලු දෙනාම එකතු වෙලා එතුමාට ඡන්දය දිය යුතුයි කියලා මම හිතනවා. අපේ ප්රතිපත්තිවලටත් ගරු කරමින් එතුමා රට පාලනය කරන බව පැවසුවා. ඒ නිසා ඒ අදහස්වලට ගරු කරමින් රටේ පාලනය ගෙන යයි කියලා අපි හිතනවා. අපි මේ තීරණය ගත්තේ රට ගැන හිතලයි. අපි දෙකට තුනට බෙදිලා යන ගමන වැළැක්වුවේ නැත්නම් රට නැවත අගාධයට පත්වෙනවා. එයින් හානි වෙන්නෙ සමස්ත ජනතාවටමයි.
විවිධත්වය තුළ එකඟත්වය ප්‍රායෝගිකව ඔප්පු කළේ ජනපති රනිල්
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92කට වැඩි සංඛ්‍යාවක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය තිබිය යුතුයි කියලා එතුමාට සහයෝගය දිමට සූදානම් වෙලා ඉන්නවා. එතුමා ස්වාධීන අපේක්ෂකයකු ලෙසයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය දීමට හැකියාව තියෙනවා. පටු දේශපාලන අරමුණු කියන තැනින් ඔබ්බට ගිහින් ප්‍රතිපත්තියක් ලෙස එකට එකතු වෙලා වැඩ කළ යුතුයි කියලා තමයි අපි කියන්නේ. අපි කලබල වෙන්නේ නැහැ, අපි හිතනවා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෝ එතුමා තවදුරටත් සිටිය යුතුයි කියලා විශ්වාස කරන බව. මේ වෙලාවේ රටවෙනුවෙන් තීරණයක් ගත යුතුයි. අපේ දේශපාලනය වෙනුවෙන් නොවෙයි රට වෙනුවෙන් තීරණයක් ගත යුතුයි. විවිධත්වය තුළ ඒකඟත්වය ප්‍රායෝගිකව ඔප්පු කළේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයයි. විරුද්ධ දේශපාලන මතධාරීන්ට එකම අරමුණක් තුළ එකම වේදිකාවක් තුළ ගමනක් යා හැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම සමඟ වැඩ කිරීමෙන් ඔප්පු කළා.
සුභද්‍රා දේශප්‍රිය / රසික කොටුදුරගේ