ජනාධිපතිවරණය සමග දේශපාලන ක්ෂේත්රයේ දැඩි ලෙස උණුසුම් වී තිබෙන අතර මේ වන විට දේශාපාලන කෂේත්රයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශ්වය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර සිදුවන දේශපාලන කතාබස් හා මතවාද පිළිබඳවයි.
ජයගමු ශ්‍රී ලංකා හෝමාගමට
ජනාධිපතිවරණ උණුසුම වැඩි කළේ රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඇප තැන්පත් කිරීමත් සමඟය. ජනපති රනිල්ට සහාය දෙනවා ද නැතිනම් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද යන පණිවුඩය රටට ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේ ද ඒ අතරවාරයේය. ඇමති මනූෂ නානයක්කාර සංවිධානය කළ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට ඉරිදා හෝමාගමට ගිය ජනපති රනිල් කොළඹ පැමිණ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මුණ ගැසුණේය.
සඳුදා පෙරවරුවේ ජනපති රනිල් දේශපාලන කාර්යාලය වෙත පැමිණියේ ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුව මුණ ගැසීමටය. එදින සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව දැනුම්දීමට තිබුණු බැවින් ඒ ගැන ද කතා බහ ඇදී ආවේය.
“සර් අනෙක් පැත්තෙන් වැඩේ ඔක්කොම ලැහැස්ති කරලා තියෙන්නේ. පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝජනය 20ක් වත් නෑ. වෙනම අපේක්ෂකයෙක් දාන ඉඩ වැඩියි.” එහි සිටි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට කීවේය.
“එන ඕනෑම තීන්දුවක් අනුව ඉදිරියට යන්න අවශ්‍ය සැලසුම් සකස් කරන්න.” ජනපති තීන්දුව වූයේ එයය.
සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ගත් තීරණයෙන් පසු මැති ඇමතිවරු යළි රැස්වී සාකච්ඡා කළ අතර තවත් මැති ඇමතිවරු පිරිසක් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චිනත්ක කරුණාරත්න අමතන්නට වූයේ කුමක් කරන්නේදැයි විමසීමටය.
ආණ්ඩු පක්ෂයට හදිසි කැඳවීමක්
ඔහු වහාම මේ ගැන ජනපති රනිල් දැනුම්වත් කළ අතර මල් පාරේ පිහිටි තමන්ගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණෙන්නයි ඔවුනට කියන ලෙස ජනපති දැනුම් දුන්නේ දිනිත්ටය. දිනිත් චින්තක ද වහ වහා මේ පණිවුඩය මැති ඇමතිවරු හට සන්නිවේදනය කළේය.
දේශපාලන මණ්ඩලයට ගිය තවත් පිරිසක් කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල හරහා සම්බන්ධ වෙමින් මල්පාර කාර්යාලය වෙත පැමිණියේය. සාගලගේ හා දිනිත්ගේ පණිවුඩය හරහා මැති ඇමතිවරු 70ක පමණ පිරිසක් ජනපතිගේ දේශපාලන කාර්යාලය වෙත රැස්වූයේ එදින රාත්‍රියේය.
එහිදි පොහොට්ටු මන්ත්‍රීවරුන් යෝජනා කළේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවන ලෙසය. ඒ අනුව වහාම පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ කාර්යාලය හරහා මන්ත්‍රීවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවීමේ පණිවුඩය නිකුත්විණි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මුණ ගැසීමට පෙර පුරුදු පරිදි අමාත්‍ය මණ්ඩල රැස්වීම ද එදින පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී ය.
ජනපති ලේකම්ගෙන් කදිම පිළිතුරක්
ජනාධිපතිවරණ දේශපාලන උණුසුම අස්සේ මැතිවරණ කොමිසම මඟින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත ලිපියක් යොමු වුණේ සංවර්ධන වැඩ කටයුතු හා මහජන සහනාධාර නිකුත් කිරීමේ කටයුතු ජනාධිපතිවරණ කාලය තුළ අත්හිටුවන ලෙස දැනුම් දෙමිනි.
ජනපති ලේකම් සමන් ඒකනායක ඔවුන්ට කදිම පිළිතුරක් යොමු කළේය. ආර්ථික අර්බුදයක වසර කිහිපයක් සිරවී සිටි ජනතාව ඉන් මුදා ගැනීමට රජය කටයුතු කරමින් සිටින අවස්ථාවේ එය නැවැත්වීම තුළ ජනතාව යළිත් අපහසුතාවට පත් වන බව ලේකම්වරයාගේ පිළිතුරේ සටහන් විය. ජනාධිපති ලේකම් සමන් ඒකනායක යොමු කළ දීර්ඝ ලිපියේ සාරාංශය එයය.
ලිපි පිට ලිපි
මේ අතර තවත් ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමිසම දන්වා සිටියේ වැඩබලන පොලිස්පතිවරයකු නොමැතිකමින් ආරක්ෂාව පිළිබඳව ගැටලු රැසක් මතුව ඇති බවය. වහාම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මැතිවරණ කොමිසම වෙත යොමු කිරීමට පියවර ගත් ජනපති ලේකම් සමන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු තමන්ට ද දැනුම් දෙන ලෙස ඔහු දෙපාර්ශ්වයටම කීවේය.
ජනපති ලේකම් සමන් ඒකනායක මැතිවරණ කොමිසමේ සභාපතිට හා අධ්යක්ෂ ජනරාල් වෙත දැනුම් දුන්නේ ආරක්ෂාවට අදාළව ඔවුනට අවශ්‍ය සියලු දේ තමන් වෙත ලිඛිතව දැනුම් දෙන ලෙසය. ඔවුන්ගේ දැනුම් දීම මත ජනපති ලේකම් සමන් ජනපති රනිල් හා සාකච්ඡා කොට මහජන ආරක්ෂක අමාත්‍යාංහය වෙත දැනුම් දුන්නේ නාම යෝජනා භාර දෙන දිනයේ මැතිවරණ කොමිසමට මෙන්ම දිස්ත්‍රික් කාර්යාල වෙත ද අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසය.
ඊට අමතරව මැතිවරණ පැමිණිලි මෙන්ම ඊට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය පොලිස් නිලධාරීන් යොමු කරන ලෙස ද ජනපති ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙත උපදෙස් දෙමින් ලිපියක් යොමු කළ අතර එහි පිටපතක් මැතිවරණ කොමිසමට ද යොමු කළේය.
අඟහරුවාදා ද ජනපති වැඩිබරක් යොමු කළේ දේශපාලන කටයුතු වෙනුවෙනි. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මෙන්ම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ද ජනපති රනිල් හා සාකච්ඡා කරන්නට වූහ. මේ අතරවාරයේ බාලදක්ෂ ව්‍යාපාරයේ සංවත්සර උත්සවයට ද ජනපති රනිල් සහභාගි වූවේය.
92ක් ගෙඩිය පිටින්ම රනිල්ට
සවස ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වූ අතර ඊට සහභාගි නොවන ලෙස පක්ෂයෙන් මන්ත්‍රීවරුන්ට උපදෙස් දී තිබියදී පොදුජන පෙරමුණ ද ඇතුළුව ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරු 92ක් ඊට එක්ව සිටියහ. තවත් මන්ත්‍රීවරු පස් දෙනෙකු ඒ වන ව්ටත් විදේශ ගතව සිටි බැවින් ඔවුනට පැමිණිය නොහැකි බව කලින්ම දැනුම් දී තිබිණි.
බොහෝ මන්ත්‍රීවරු ජනපති හමුවේ කීවේ පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ පාක්ෂිකයන් ජනපති රනිල් වෙනුවෙන් වැඩ කරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවය. ඊට හොඳම උදාහරණය අනුරාධපුර චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කැඳ වූ බල මණ්ඩලයේ දී පළ වූ ජනතා අදහස් බව ද ඔවුන් පෙන්වා දුන්නේය.
කථානායක ඉරානයේ
බදාදා පෙරවරුවේ ජනපති රනිල්ට දැන ගන්නට ලැබුණේ හමාස් සංවිධානයේ නායකයාව ඉරානයේදි ඝාතනය කළ පුවතය. ඔහු වහාම විමසා බැලුවේ ඒ වන විටත් ඉරානයට ගොස් සිටින කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ආරක්ෂාව පිළිබඳවය.
අවශ්‍ය නම් විශේෂ ගුවන් යානාවක් යවා ඔහුව මෙරටට ගෙන්වා ගන්නා ලෙස ද ජනපති රනිල් උපදෙස් දුන්නේ ලේකම් සමන් ඒකනායකට වන අතර ඔහු ඊට අවශ්‍ය පියවර ගෙන තිබුණි.
ජනපති රනිල්ගෙන් කමිටු 3ක්
එදින දහවල් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු ජනපති මුණ ගැසුණේ වෝටර්ස් එජ් හෝටලයේදී ය. හමාස් නායක ඝාතනය සමඟ මැද පෙරදිග ඇතිවිය හැකි අර්බුද ගැන සිහිපත් කළ ජනපති රනිල් මෙරට ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට කමිටු 3ක් ද පත් කළේය.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ මැති ඇමතිවරු පිරිසක් ජනපති රනිල් මුණ ගැසීමට පැමිණියේ ජනාධිපතිවරණ කටයුතු ගැන සාකච්ඡා කිරීමටය. මෙහිදි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ජනපති රනිල් දැනුම්වත් කළේ මේ දිනවල සමාජ මාධ්‍යයේ යන තොරතුරක් ගැනය.
රනිල් රාජපක්ෂද? සජිත් රාජපක්ෂද?
එනම් සජිත් හා නාමල් මාධ්‍ය හිමිකරුවකුගේ නිවෙසේ මුණගැසී සාකච්ඡා කළ කාරණයක් ගැනය.
“අපිටත් ජූලි මුල සතියේ වගේ මේ ගැන දැන ගන්න ලැබුණා. ඒත් මේ කාරණය ඇත්ත කියලා අපි නම් විශ්වාස කළේ නෑ. නමුත් දැන් වෙන දේවල් එක්ක මේ කතාව ඇත්ත කියලා අපිටත් හිතෙනවා.” පොහොට්ටු මන්ත්‍රීනි රාජිකා කීවාය.
“සජිත් මේ සාකච්ඡාවට ගිහින් තියෙනවා කියන්නේ ජී.එල් එක්ක. එතනදිත් මුල ඉඳන් හිටපු කබීර්ලා, හර්ෂලා, ඉරාන්ලා වගේ අය අමතක කරලා.” මන්ත්‍රී වජිර ද කතාවට එකතු වූවේ එලෙස කියමිනි.
“සජිත් ජනාධිපති – නාමල් විපක්ෂ නායක කියන එකඟතාව තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කාරණා නිසා ධම්මික පෙරේරා පොහොට්ටුවේ අපේක්ෂකයා වෙන්න බෑ කියනවා කියලත් ආරංචියි.” මන්ත්‍රී දොළවත්ත කීවේ ඔහුට ලද තොරතුරකි.
“රනිල් රාජපක්ෂ ලේබලය ගලවලා සජිත් රාජපක්ෂ ලේබලය වැදිලා තියෙනවා. මමත් කාලයක් තිස්සේ බැලුවා විපක්ෂ නායකතුමා රාජපක්ෂ කියන නම කියනවා දැන් ටිකක් අඩු මොකද කියලා. බලන කොට එයා සජිත් රාජපක්ෂ වෙලානේ.” මහාචාර්ය ආශු මාරසිංහ ද කියද්දී සැවොම කොක් හැඬලූහ.
ජනපති රනිල් සති අන්තයේ යාපනය, මඩකලපුව හා ත්‍රිකුණාමලයේ සංචාරයක නිරත වූයේය.
බැසිල් ජනපති රනිල්ට දුන් උපදෙස කුමක්ද?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීම පසුගිය සඳුදා රැස්වූයේ පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වනවා ද, වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කරනවා ද යන්න මෙහිදී තීරණය කෙරෙන බැවින් රටේම අවධානය මේ වෙත යොමුව තිබුණි.
පක්ෂය වෙනම අපේක්ෂකයකු දැමිය යුතු බවට යෝජනාව ගෙන ආවේ සාගර කාරියවසම් පොහොට්ටුවේ ලේකම්වරයාය.
” රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පක්ෂයේ සහාය ඉල්ලලා ලියුමක් එවලා තියෙනවා. ඒ ලියුම එවලා තියෙන්නේ නාම යෝජනාවලට ඇප මුදල් තැන්පත් කළාටත් පස්සේ” සිය යෝජනාව ඉදිරිපත් කරමින් සාගර කිවේය.
“ නෑ නෑ මමයි එතුමාට ඒ ලියුම එවන්න කීව්වේ. කොහොමත් එතුමා මුල ඉඳලම අපි එක්ක කතා කරමිනුයි හිටියේ”
ඒ මොහොතේ සාගරට බාධා කරමින් බැසිල් කීවේය.
අනතුරුව සාගරගේ යෝජනාව ගැන දේශපාලන මණ්ඩලය අදහස් විමසුවේය.
එස්. බී. ගේ කතාවට ජොනීට තද වෙයි
මුලින්ම නැඟී සිටියේ එස්.බී ය.
“ සාගර කාරියවසම් ලේකම්තුමා මම එකඟයි කරපු යෝජනාවට; මම සිය දහස් වාරයක් එකඟයි.” එස්. බී. කතාව පටන් ගත්තේ එලෙසය.
එය ඇසුණු විධායක කමිටු සාමාජිකයෝ අත්පොළසන් දුන්නේය. අත්පොළසන් නිමා වන තුරු මොහොතක් නිහඬව සිටි එස්.බී. මඳක් සභාව දෙස බලා
“හැබැයි මම විශ්වාස කරනවා දිනනව නම් මේ වේලාවේ රනිල් ජනාධිපතිතුමාට උදව් කරන්න ඕන රට වෙනුවෙන්. මොකද එතුමා තමයි අපේ පාක්ෂිකයෝ රැක්කේ” එස්.බී. කට කොණකින් සිනා සෙමින් කීය.
එස්.බී. ගේ මේ කතාව ඇහුණු ජොන්ස්ටන් නැඟිට්ටේය.
“මොන පිස්සුවක් ද මේ. මන්ත්‍රීතුමා මෙතන කඩේ යන්න ලැස්ති වෙන්න එපා” ජොනී කීවේය.
ජොනීට එරෙහිව නැඟිට්ටේ ප්‍රසන්න රණතුංග හා මහින්දානන්දය.
“ ඇයි මෙතන එතුමාට එතුමාගේ අදහස කියන්න බැරිද? ඔබතුමන්ලට පුළුවන් නම් අපිටත් අපේ අදහස් කියන්න පුළුවන්” ප්‍රසන්න හා මහින්දානන්ද ජොනීගෙන් ගේම ඉල්ලුවේය.
එන පොට හරි නැති බව දුටු ජොනී නිහඬ වූයේය.
දේශපාලන මණ්ඩලයට අමුත්තෝ එති
“ මේක මේ සෙටප් එකක් යන්නේ. අපි කතා කරලා වැඩක් නෑ” මහින්දානන්ද ප්‍රසන්නගේ කණට කර කීවේය.
‘ඒක තමයි අපි කවදාවත් දැකපු නැති අය මෙතන ඉන්නවා.” ඇමති ප්‍රසන්න ද කීය.
අදහස් විමසීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්විණී.
මුලින්ම පක්ෂ අය අත ඔසවන්නැයි කී විට සභාවේ බහුතරය අත එසවූහ.
“මේ ඔක්කොම සපෝට් වගේනේ පේන්නේ. ඒ හින්දා යෝජනාවට පක්ෂ නැති අය අත උස්සන්න” සාගර කීවේය.
ඒ අනුව කංචන, මහින්දානන්ද, ප්‍රසන්න ඇතුළු 11 දෙනකු යෝජනාවට විරුද්ධව අත එසවූහ.
රැස්වීමේ ඉදිරි පෙළ අසුනක සිටි ජනකට මේ අවස්ථාව මඟ හැරී තිබිණි.
ඔහු පසුව තමන් මෙම යෝජනාවට විරුද්ධ බව කී විට ඡන්දය විමසා අවසන් බැවින් එය පිළිගත නොහැකි බව සාගර කීවේය.
කෙසේ වෙතත් මේ යෝජනාවට පක්ෂව හෝ විපක්ෂව චමල් රාජපක්ෂ, එස්. බී. දිසානායක යන මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ නොකළ බව ද පැවසේ.
ඉන්පසු තවත් යෝජනාවක් සාගර ගෙන ආවේය. ඒ පොහොට්ටුව නම් කරන අපේක්ෂකයකුට වැඩ කළොත් අදාළ පුද්ගලයාට එරෙහිව විනය පියවර ගත යුතු බවටය.
කංචනටත් නෑසේ
යෝජනාව හරියට ඇහුණේ නැති කංචන ඇතුළු 06 දෙනකු ඊට එරෙහි වූහ.
ඇමති ප්‍රසන්න හා කෝකිලා පිටුපස සිට කංචන ඇතුළු පිරිසට කීවේ ඕකට විරුද්ධ වෙන්න එපා කියාය. ඒ මොහොතේම කංචන හා පිරිස අත පහළට ගත්තත් ඒ වන විට සාගර එය නිවේදනය කර අවසන්ය.
මහින්දගේ නිවෙසේ පැවති රැස්වීමෙන් පසු පොහොට්ටුව දෙබරයට ගල් ගැහුවාක් මෙන් විය.
ප්‍රසන්න ඇතුළු පිරිස ජනපතිගේ නිවෙසට
රැස්වීමෙන් පසු ප්‍රසන්න ඇතුළු පිරිස කෙලින්ම ගියේ මල් පාරේ රනිල්ගේ නිවෙසටය. එස්. බී. දිසානායක, මහින්දානන්ද, ප්‍රසන්න, කංචන, රමේෂ්, කෝකිලා, සහන් ඇතුළු මන්ත්‍රීවරු යෝජනාවට විරුද්ධ වූ මන්ත්‍රීවරු ඒ අතර වූහ.
ඔවුන් ජනාධිපතිවරයා සමඟ ඉදිරි පියවර සාකච්ඡා කරන අතරතුර කොළඹ මල් පාරේ පැවති රනිල්ගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලසුම් කාර්යාලය පොහොට්ටු මැති අමතිවරුන්ගෙන් පිරී යමින් තිබිණ. 50 – 60 කට ආසන් පිරිසක් එම ස්ථානයට පැමිණ සිටියහ.
නව දේශපාලන සන්ධානයක්
“අපි ජනාධිපතිතුමාට සහය පළ කරනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ සමහරු මතයක් හදනවා අපි මේ එ.ජා.පයට යන්න හදනවා කියලා. ඒක නිවැරදි වෙන්න ඕන ” එසේ කීවේ රාජ්‍ය අමාත්‍ය මොහාන්ද සිල්වාය.
ඇමති රමේෂ් ද එය අනුමත කළේය.
මේ අතරදී එතනට පැමිණි ජනාධිපතිවරයාටද එම ප්රශ්නය ඉදිරිපත් විය.
“ ප්‍රශ්නයක් නෑ, මම ඉල්ලන්නේ ස්වාධීනවනේ. මට අනුශාසක ලෙස ඉන්න පුළුවන් මේ සන්ධානය තුළ “ රනිල් කීවේය.
“ නෑ.. නෑ.. සර් නායකයා ලෙසයි ඉන්න ඕන” ඇමති ප්‍රසන්න යෝජනා කළේය
“ නෑ.. නෑ.. අපි අගමැතිතුමාව මූලික කරගමු” ජනපති රනිල් යෝජනා කළේය.
පොහොට්ටුව කැඩුවේ ජනපතිද, නාමල්ද?
“ සමහරු කියනවා මම පොහොට්ටුව කැඩුවා කියලා. මේ කිසිම ඇමතිවරයෙක්ව මම පත් කළේ නෑ.
ගෝඨාභය ජනාධිපතිතුමා පත්කරපු අයට වගකීම් දුන්නා. මේ අලුත් තරුණ ඇමතිවරු වැඩ කරගෙන යනවා හොඳට. ඒ නිසා මම නාමල්ටත් ඇවිත් වගකීමක් ගන්න කිව්වා. ඒත් නාමල් ඒකට කැමති නෑ කියලා මහින්ද කිව්වා” රනිල් පැහැදිලි කළේය.
“නෑ…සර් අපිට බල කළේ නෑ මෙතනට එන්න කියලා. මේක ජනතාවගේ මතය. නමුත් නාමල් මන්ත්‍රීතුමා සහ එයාගේ ටීම් එක තමයි වෙනම යන්න ඕන කිය ප්‍රෙෂර් කළේ”
ඇමතිවරුන් කියන්නට වූහ.
වජිර, මන්ත්‍රීවරුන්ගේ ඇස් උඩ යවයි
එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන පසුගියදා පැවති පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකට සහභාගි වීමට බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගියේය.
කතා කරමින් සිටි වජිර එක්වරම තමාගේ කමිසයේ සාක්කුවේ තිබී මුදල් නෝට්ටුවක් පිටතට ගත්තේය. එය එසේ මෙසේ මුදල් නෝට්ටුවක් නොවේ. ලක්ෂයේ මුදල් නෝට්ටුවකි. එහි වටිනාකම ලීරා ලක්ෂයකි. ලීරා යනු ලෙබනනයේ මුදල් ඒකකයකි. ලෙබනනයේ දැඩි ආර්ථික අර්බුදයකට ගිය නිසා ලීරා ලක්ෂයේ මුදල් නෝට්ටු පවා අච්චු ගහලා. අද ඒ රටේ උද්ධමනය ඉතා ඉහළ ගිහිල්ලා. පාන් ගෙඩියක් ලීරා ලක්ෂයයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීට අවුරුදු 2කට කලින් තීන්දු නොගත්තා නම් අද අපේ රටටත් වෙන්නේ රුපියල් ලක්ෂයේ මුදල් නෝට්ටු අච්චු ගහන්නයි” යනුවෙන් වජිර අබේවර්ධන විසින් මෙහිදී ප්‍රකාශ කරන ලදී.
විපක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුත් රනිල්ට
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හමු විය. ඒ පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය රැස්වී ඔවුන් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ඊට පෙරදින දැනුම් දීමෙන් පසුවය.
පොහොට්ටුවේ යෝජනාවට එදින සහභාගි වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ අති බහුතරය විරුද්ධ වූහ.
නව සන්ධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන් සියලුදෙනා ද ජනාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා එක්ව සිටියහ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතරින් 92ක් ඊට සහභාගී වූ අතර නව සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සියලු දෙනාම මේ සඳහා එක්වීම ද විශේෂත්වයකි.
පියංකර ජයරත්න මන්ත්‍රීවරයා ආණ්ඩුවේ ක්‍රියා කලාපයට එරෙහිව ගොස් ස්වාධීනව විපක්ෂයේ අසුන් ගත් පසුව ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පැමිණි පළමු වතාව මෙය යැයි කීවේය.
අමරවීරට හදිසි ඇමතුමක්
මේ අතරවාරයේ මහින්ද අමරවීර ඇමතිවරයාට සිය හිතවත්ම පාක්ෂිකයකුගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය.
“ආ එහෙමද” කියමින් අමරවීර සිනාසෙමින් යම් විස්තරයක් අසන අයුරු සැවොම බලා සිටියේය.
” කවුද කතා කළේ” මන්ත්‍රීවරුන් අමරවීරගෙන් විමසන්නට වූහ.
“නෑ මගේ ළඟම කෙනෙක් කතා කළේ. රාජපක්ෂ පවුලේ හෙන අවුලක්ලු දැන්.මණ්ඩලේ කචල් වෙලා” අමරවීර කීවේය
” ඇයි මොකද වෙලා තියෙන්නෙ” දුමින්ද දිසානායක විමසීය
“නාමල්ගේ තීන්දුව නිසා මල්ලිලා මිනිහගෙන් ගේම ඉල්ලනවලු” අමරවීර කීවේය.
” මේ රටේ දේශපාලනය එක පවුලක් විසින් තෝරපු කාලය දැන් ඉවරයි ඒක නිසා තමයි මේ රටට කෙළවුණේ” අනුර යාපා කීවේ තරමක් කේන්තියෙනි.
ජ.වි.පෙ. පළමුවෙනි මන්ත්‍රී ගැන වජිර කීවේ මොනවාද?
මේ අතර පසුගිය සඳුදා දිනයේදීම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී තවත් වැදගත් කටයුත්තක් සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාවටත් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට ආරාධනා ලබා තිබුණේ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාටමය.
මෙතැනට දැන් රැස්ව තිබෙන ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ ඉතිහාසගත දේශපාලන පක්ෂයක්. ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරලා තිබියදී ඔවුන් හදිසියේ පැමිණි මහමැතිවරණයට තරග කරන්නේ ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණෙන්. ඔවුන් ලංකාවටම තරග කරන්නේ නැහැ. දිස්ත්‍රික්ක කිහිපයකට පමණක් තරග කරනවා. සියයට 5කට වඩා ලබා ගන්නවා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගලප්පත්ති මැතිතුමා පාර්ලිමේන්තුවට තේරී පත්වෙනවා. එහෙම බැලුවම ජේවීපී එකේ පළමුවෙනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බිහිකළ පක්ෂය තමයි ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ. දැන් ඉස්සරහට ජනාධිපති මැතිවරණය එනවා. මේ වෙලාවෙත් දේශපාන පක්ෂ තවදුරටත් තමන්ගේ වාසිය වෙනුවෙන් බොරු කිව්වොත් රට මීටත් වඩා ඉතා නරක තැනකට තල්ලු විය හැකියි.”යනුවෙන්ද වජිර අබේවර්ධන ප්‍රකාශ කළේය.
අවසන් මෙහෙයුම අජිත් රාජපක්ෂගෙන්
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහාය ලබා ගැනීම සඳහා යම් යම් දේශපාලන මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ පක්ෂ මෙම මෙහෙයුම් පිටුපස සිටින පුද්ගලයෙකි.අවසාන මොහොතේදී හෝ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිතුමා ප්රමුඛ පොහොට්ටුවේ සහයෝගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලබා ගැනීම සඳහා අජිත් රාජපක්ෂ දැඩි වෙහෙසක් ගනිමින් සිටී.
අවසන් වතාවට මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා හා දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමා සමඟ එක්ව මේ ගැන කතා කරන ලෙස අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට දෙපාර්ශ්වයෙන්ම යම් යම් යහපත් ප්‍රතිචාර ලබා ගනිමින් පවතින බව ද වාර්තා වේ.