හොඳින් යන්න වෙන්වී
හොඳක් වෙන්න පතමී
ඔබ දුන්නු කදුළු මිහිරී
ඇස් දෙකෙන් පාට කරමී
ආදරය විඳවන්න නෑ පුද කළේ
සංසාර සුවඳට ළයේ
ජීවිතය හැදුවේ ඔබේ අත්වලින්
එහි මතක පපුවට දැනේ
අහස් ගව්ව මැද රෑට ඔබ පායලා
දැල්වෙන්න මට පේන සේ
ජීවිතය රිදවන්න ඇයි හමුවුණේ
සෙනෙහස් ගඟක් වී ළයේ
හිත් දැහැන සුවපත් කළත් සුසුමකින්
මට මා පවා නැති වුණේ
අපේ මතක අහුරයි අතීතේ කතාවයි
සංසාර ගනුදෙනුවකි
ගායනය – රයිනි චාරුකා ගුණතිලක
ගී පද – ඩිෂාන් නානායක්කාර
සංගීතය – ඩිලාන් සංජන
“ජීවිතේ දෙනෝ දාහක් මිනිස්සු අපට හමුවෙනවා. ඒත් ඒ හමුවෙන හැම කෙනෙක් ළඟම අපි බැඳෙන්නේ නෑ. කෙනෙක් හිනාවුණ පළියට ඒ හිනාව හිතේ පදිංචි වෙන්නෙත් නෑ. අපි කෙනෙක් එක්ක වචනයෙන් බැඳෙන්නෙත් ඒ කෙනා අපේ හදවත පතුළටම දැනුණා නම් විතරයි.“
ඔහු මට එහෙම කිව්වේ කාලෙකට කලින්. මට මතක විදිහට ඒ අපි හමුවුණ මුල්ම දවස. ඇයි එහෙම කිව්වේ කියලා කවදාවත් මට අහන්න වුණේ නැහැ. අපි හමුවෙලා, කතා බහ කරලා ඊට පස්සේ ආදරෙන් බැඳිලා…. ඊටත් කාලෙකට පස්සේ තනිව හුදකලාවුණාටත් පස්සෙයි ආයෙම මතක් වුණේ මුල්ම දවසෙ කිව්ව කතාවේ අරුත ඇහුවේ නෑ නේද? කියලා. හැම හැන්දෑවකම අහසයි ගඟයි එකට හමුවෙන ඒ තණකොළ ගොල්ලට වෙලා මම වරු ගණන් බලාගෙන ඉන්න ඇති. කරන්නේ මේකයි කියලා අරමුණක් තිබුණේ නැතිවට මට ජීවිතේ ලොකු ගමනක් යන්න තිබුණා. ඒ ගමන යන්න නම් හිතෙන් තැවි තැවී, සුසුම් හෙළමින් ඉදලා වැඩක් නෑ කියලා හිතෙන කොටත් මම මට කරන්න තිබුණ බොහෝ දේ අතහැරලා එහෙමත් නැත්නම් මට අතහැරිලා ගිහිල්ලා.
‘ඇයි ඔයා මට ළං වුණේ?‘
එහෙම අහන්න මට අයිතියක් තියෙනවා කියලා හිතුණට පස්සේ දවසක මම ඇහුවා ඇගෙන්.
“හේතුවක් නෑ…. ඒත් සංසාර පුරුද්දට වගේ මං ඔයාට ළං වුණා…“
“හැම හැන්දෑවකම හමුවෙලා, අපි මෙහෙම දවස ගෙවලා දවසක අපිට මොකද වෙන්නේ?“
උත්තරයක් නැති ඒ ප්‍රශ්නය කීවරක් ඔහුගෙන් ඇහුවද කියලා මට මතක නැහැ. දවස ගාණේ ඇහුවත් උත්තර නොලැබුණත් ඒ හමුවීමෙන් අපි පුදුමාකාර සැනසිල්ලක් ලැබුවේ.
“ඔහොම ඉදලා හරියනවද ළමයෝ …. විවාහයක් කර ගන්නේ නැද්ද? අපි මැරුණම මොකද වෙන්නේ … “ ගෙදරින් එන ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්නම වුණා අන්තිමට.
ඒ අපි හමු වූ අවසන් සැඳෑව.
“ජීවිතේ ඔහොම තමයි .. ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න. හැමදාමත් මගේ හිතේ ඔයා ඉන්නවා… අපි ආයේ හමුනොවෙන්න පුළුවන්. හමුවෙන්නත් පුළුවන්… ඒත් මම කැමැතියි අපි හමුනොවෙනවා නම්…. අපි හමුනොවෙන තරමට හොඳයි.. එතකොට අපිට අපිව අමතක කරන්න ලේසියි…“
ඔහු හමු වූ අවසන් සැඳෑව ගෙවිලා ගියේ ඒ විදිහට… ඉන් පස්සේ කිසිම දවසක අපි හමුවුණේ නැහැ. කාලය ගෙවිලා ගියා. එත් මගේ හිත තවමත් ඒ හිතත් එක්ක බැඳිලා.
ජීවිතේ යම් කාලෙක අපට හමුවන හිතැත්තන් වෙන් වී ගියත් ඒ මතකයන් අමතක කර දමන්නට අමාරුයි. එහෙම මතකයන් ඇසුරෙන් ලියැවුණ ගී බොහෝය. ආදර බැඳීම්වලින් බිඳී රිදී, තැවෙන රිදෙන සිත් සුවපත් කරන්නට මෙවන් ගී ද ඖෂධ මෙනි. එවන් අත්දැකීමක් ඇසුරින් ලියැවුණ මේ ගීතය ගයන්නේ රයිනි චාරුකා ගුණතිලක. ගීතය සංගීතවත් කරන්නේ සංගීත ශිල්පී ඩිලාන් සංජන සොයුරා. ගීතයේ පද රචනය ඩිෂාන් නානායක්කාර සොයුරාගෙනි.
වෘත්තියෙන් පරිගණක ක්ෂේත්‍රයේ කටයුතු කරන ඩිෂාන් ගීතය ගැන පැවැසුවේ මෙවන් අදහසකි.
“හොඳින් යන්න වෙන්වී
හොඳක් වෙන්න පතමී
ඔබ දුන්නු කදුළු මිහිරී
ඇස් දෙකෙන් පාට කරමී“
මේ අදහස කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණ එකක්. අපි ආදරය කරන විට අපිට අපිව එපා වුණාම, ඒ කියන්නේ අපිට අපිව ගැළපෙන්නේ නෑ කියලා දැනුනම, එහෙමත් නැත්තනම් කුමන හෝ හේතුවක් නිසා ඒ ආදරේ අමතක කර දාන්න වුණාම අපි ඒ ආදරයට ගෞරවාන්විතව සමු දෙන්නේ නෑ. අඩුපාඩු දහසක් කියලා, වටපිටටත් ඒ ගැන කියලා තමයි වෙන් වෙන්නේ. නමුත් අපිට අපෙන් ගෞරවාන්විතව වෙන් වෙන්න පුළුවන්නම් ඒ වෙන්වීම හරි වටිනවා. අපේ සමාජයේ ආදරය වෙනුවෙන් කඳුළු හෙළන, සුසුම් හෙළන මිනිස්සු වැඩියි. ආදරේ විඳින අයට වඩා ආදරේ විඳවන පිරිස වැඩියි. මෙන්න මේ අදහසින් තමයි මම මේ පද ටික ලිව්වේ. වෙන් වීමේ තනිකමෙන් විඳවන හිත් නිවන්න. ඒ නිවීමක් හැටියට තමයි මේ පද ඉබේම වගේ ලියැවුණේ. ඒ පද පෙළට සංගීතය නිර්මාණය කළ ඩිලාන් සංජන සොයුරා ඔහුගේ කාර්යය ඉතා උසස් මට්ටකින් කර තිබෙනවා. ඒ වගේම රයිනිගේ හඬ මා ලියූ පද පෙළට නව ජීවයක් දෙනවා. මේ වනවිට ගීතයට බොහෝ දෙනෙක් ඇලුම් කරනවා.
‘ආදරය විඳදවන්න නෑ පුදකළේ
සංසාර සුවඳට ලයේ
ජීවිතය හැදුවේ ඔබේ අත්වලින්
එහි මතක පපුවට දැනේ
අහස් ගව්ව මැද රෑට ඔබ පායලා
දැල්වෙන්න මට පේන සේ…‘
මං විශ්වාස කරනවා ආවේගශීලී නොවන පෙම්වතුන් ප්‍රේමයක්, බැඳීමක් බිඳී ගියාම අන්තිමට මෙවැනි ප්‍රර්ථනාවක් තමයි කරන්නේ කියලා.
ඉනෝකා සමරවික්‍රම