Home » මට ආසයි කවදාහරි මිනිස්සු අතර හැමෝම දන්න චරිතයක් වෙන්න

මට ආසයි කවදාහරි මිනිස්සු අතර හැමෝම දන්න චරිතයක් වෙන්න

නිමේෂ් එදිරිසිංහ

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

– මගේ ආදර කතාවක් තියෙන්නේ මගේ අම්මා තාත්තා එක්ක විතරයි
– ලොකුම බලාපොරොත්තුව චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න

ප්‍රේක්ෂකයින් අතරට එන කඩවසම් රංගන ශිල්පියෙකි. ඔහු මින් පෙරත් දෙරණ නාළිකාවේ විකාශය වුණු රෝස සුදුයි ආදරියේහි රන්දුණු ලෙස සහ මල් පිපෙන කාලේ නාට්‍යයේ පවන් ලෙසින් ප්‍රේක්ෂකයින් අතරට පැමිණියේය. ඉදිරියේදී විකාශය වීමට නියමිත රාවණා -3හි අභියෝගාත්මක රංගනයක ද නිමේෂ් නිරත වේ. කඩවසම් පෙනුමක් හිමි නිමේෂ් නිරූපණ ක්ෂේත්‍රයේ මෙන්ම මියුසික් වීඩියෝ කලාවේ ද සිය හැකියාවන් පෙන්නුම් කරමින් කලා ලොවේ දිගු ගමනක් යන්න පෙරුම් පුරන මෑත කාලයේ බිහිවූ දක්ෂ රංගන ශිල්පියෙක්.

නිමේෂ් කියන්නේ මොන වගේ කෙනෙක් ද?

මම තනියම ඉන්න කැමති කෙනෙක්. මගේ කාමරේ තුළ තමයි වැඩියෙන්ම කාලයගත කරන්න කැමති. සමාන්‍යයෙන් අලුත් දේවල් ඉගෙන ගන්න කැමති කෙනෙක්. අනිත් අය නොකරන දේවල් කරන්න කැමති කෙනෙක්. මේ ඉන්න තත්පරයට වඩා ඊළඟ තත්පරයේ දී ඉස්සරහට යන්න ඕනේ කියලා හිතල වැඩ කරන කෙනෙක්.

ඔබට කලාවට එන්න අවස්ථාව ලැබෙන්නෙ කොහොමද?

මගේ යාලුවෙක් හිටියා එයා මුලින්ම 2019 Man Hunt International තරගයට මාව යොමු කළා. ඒ තරගයේදි මට තෙවැනි ස්ථානය හිමි වුණා. ඒක තමයි මගේ ගමනෙ අඩිතාලම. ඊට පස්සේ මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. කාලයක් යද්දී දෙරණ අවුරුදු කුමරා තරගයට අයදුම් කළා. 2021 දෙරණ අවුරුදු කුමරා තරගයෙන් මං දෙවැනි තැනට ආවා. ඊට පස්සේ තමයි වැඩවලට එන්න අවස්ථාව ලැබුණේ.

මුල්ම නිර්මාණය මොකක් ද?

මුලින්ම කියලා මම වැඩ කළේ රවිඳු අබේරත්න කියන මියුසික් වීඩියෝ ඩිරෙක්ටර් කරපු “තරහයිද මා එක්ක” කියන ගීතයෙන්. ඒ 2019 දී. එතැනින් පස්සේ 2021 දෙරණ අවුරුදු කුමරා තරගයෙන් පස්සේ “මල් පිපෙන කාලයේ” නම් ටෙලි නාට්‍යයේ රඟපෑවා.

ඔබට ලැබුණ අත්දැකීම කොහොමද?

මට ආස හිතුණා කවදාහරි මිනිස්සු අතරට හැමෝම දන්නා චරිතයක් වෙන්න ඕනේ කියලා. මුලින්ම මියුසික් වීඩියෝ එක කරද්දී නම් මට ලොකු බයක් දැනුණා. එතැනදී මට රවිඳු අබේරත්න ගොඩක් උදව් කළා.

මේ වෙද්දී සම්බන්ධ වෙන්න ලැබුණ නිර්මාණ මොනවද?

“තරහයිද මා එක්ක” කියන ගීතයෙන් පස්සේ රුවන් හෙට්ටිආරච්චිගේ ආලේ පූජා කරලා, ප්‍රමෝද් කොඩිතුවක්කුගේ “ඉතිහාසය” යසිත් ගායනා කරපු “පිටුපාලා යන ඇස්” ගීතය වගේ නිර්මාණ ගොඩක් කළා. මල්පිපෙන කාලයේ, රෝස සුදුයි ආදරියේ සහ රාවණ සීසන් 3 නාට්‍යවලත් ඉන්නවා. මේ දිනවල ජානු නාට්‍යයේ මගේ ඇත්ත නමින්ම චරිතයක් කරනවා.

ජානු ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ජානු ටෙලි නාට්‍යය කියන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය නාට්‍යයක්. ඒ නාට්‍යය සඳහා මට ආරාධනා කළ එහි අධ්‍යක්ෂ හසුන් සමීරට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නාට්‍යය හරහා ලැබෙන ප්‍රතිචාර හොඳයි. ඉතා කෙටි කාලයකින් ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබන්න පුළුවන් වුණා.

රංගනය හිතපු තරම් පහසු ද?

මම රඟපාන්න එන්න කලින් රඟපාන්න ආසාව ඇති වුණ කාලේ ඉඳන් ගෙදරදී පවා ඇක්ට් කරලා බලනවා. ඒ හැරෙන්න මම පාසලේදීවත් රංගනය හදාරලා නැහැ. රංගනය කියන එක පහසුයි කියලා හිතුවට එහෙම පහසු නැහැ.කැමරාව ඉස්සරහ කෘෘ එකක් එක්ක රඟපාන එක ගොඩක් අමාරුයි. අපි දෙයක් ඉගෙන ගෙන කරන එකේ වටිනාකම මට ගොඩක් තේරුණා. හැම දෙයක්ම පහසු නැහැ. අපි මහන්සි වෙන තරමට තමයි එකෙන් දේවල් ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම ගොඩක් දේවල් ඉගෙන ගනිමින් යන ගමනක් තියෙන්නේ.

නළුවෙක් වෙන්නම ඕනේ කියලා හිතුණේ කොයි කාලෙද?

පාසල් යන කාලේදී තමයි මට ආසාවක් ආවේ නළුවෙක් වෙන්න. මම ඉස්සර ඉඳන් ටැමිල් සහ හින්දි ෆිල්ම් බලනවා. ඒවත් එක්ක තමයි ආසාව ඇති වුණේ. ඒ එක්කම අපේ අම්මාටත් ලොකු වුවමනාවක් තිබ්බා මම රඟපානවා දකින එක. ඒවත් එක්ක මගේ වුවමනාව තවත් වැඩි වුණා. ගොඩක් අයගේ හිතේ තිබ්බේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉන්ජිනියර් කෙනෙක් වෙන්න වුණත් මගේ හීනේ තිබ්බේ නළුවෙක් වෙන්න. ගෙදර අයගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අම්මා තාත්තා මට ඒ දුන්නු සහයෝගය මිල කරන්න බැහැ. තව දුර යන්න තියෙනවා.

රංගනය ගැන හැදෑරීමක් කරනවද?

රංගනය ගැන මම 2022දී ජාතික රූපවාහිනියේ ඇක්ටින් ඇකඩමියේ ඉගෙන ගත්තා. එතැනදී මහේන්ද්‍ර පෙරේරා සර්, සහන් රන්වල සර්, ජයන්ත චන්ද්‍රසිරි සර් යටතේ හැදෑරීමක් කළා. මල් පිපෙන කාලයේ, රෝස සුදුයි ආදරියේහි රඟපාන කාලේ එහි අධ්‍යක්ෂ තුෂාර තෙන්නකෝන් මහතාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අද වෙනකොටත් මම රංගනය ගැන අධ්‍යයනය කරනවා. මිනිසුන් එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස්. ඒ නිසා පාරේ ගියත් ඒ අයව අධ්‍යනය කරන්න ඕනේ. එතකොට මොකක් හෝ චරිතයක් ගොඩනඟා ගන්න ලේසියි. සමාජ මාධ්‍ය තුළින් හෝ ෆිල්ම් බලන එක තුළින් පවා මම දවසින් දවස දේවල් ඉගෙන ගන්නවා.

නිමේෂ්ටම කියලා ආදර කතාවක් තියෙනවා ද?

මගේ ආදර කතාවක් තියෙන්නේ මගේ අම්මා තාත්තා එක්ක විතරයි. එතනින් එහාට ආදර කතාවක් දැනට නැහැ. ඉස්සරහට ඇතිවෙයිද නැද්ද කියන්නත් මම දන්නේ නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මගෙ ලොකුම බලාපොරොත්තුව චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නයි. මම රංගනය පැත්ත කරන්නේ මගේ ෆැෂන් එක කරගෙන. ලංකාවේ සුපර් ස්ටාර් කියන තැනට යනකම් මම වැඩ කරනවා කියන එක මගේ ඔළුවේ තියෙනවා. මගේම කියලා ක්ලෝතින් බෑන්ඩ් එකක් තියෙනවා. ඒ ව්‍යාපාරික පැත්තත් වැඩිදියුණු කර ගන්න එක තමයි මගේ එකම අරමුණ

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division