Home » ඔහු නිසා රසිකයෝ මට ආදරේ කරන්න පටන් ගත්තා

ඔහු නිසා රසිකයෝ මට ආදරේ කරන්න පටන් ගත්තා

by Mahesh Lakehouse
August 3, 2024 12:30 am 0 comment

– මම සුනිල් අයියට ආදරේ කළාට වඩා අයියා මට ආදරේ කළා
– අපි විවාහ වෙලා අවුරුදු 33ක් වෙනවා, කොහොම හරි පවුල් ජීවිතේ කළමනාකරණය කර ගන්නවා
– මම දන්නේ සංගීතය විතරයි ඒවා එහේ කරන්න බැහැ මම පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කළා වගේම ෆිල්ම් හෝල් එකක ටිකට් කැඩුවා
-සුනිල් පෙරේරා කියන චරිතය නැතුව ජිප්සීස් ජනතාව පිළිගනිවි කියලා මම කොහෙත්ම විශ්වාස කළේ නැහැ

සංගීත කණ්ඩායම් තුළ පෙරළිකාර සංගීත කණ්ඩායමක් විදිහට කවදත් හැදින්වූ ජිප්සීස් සංගීත කණ්ඩායමට තවමත් හොඳ ඉල්ලුමක් තියෙනවා. සංගීත කණ්ඩායම් අතර බ්‍රෑන්ඩ් එකක් කරගත් ජිප්සීස් ප්‍රවීණ ගායක සුනිල් පෙරේරාගේ වියෝවෙන් පසුව කණ්ඩායමේ වගකීම් ගත්තේ ඔහුගේ ආදරණීය සහෝදරයා පියල් පෙරේරා. ඒ ගැනත් ඔහුගේ ආදරණීය කැදැල්ලේ තොරතුරු ගැනත් කතා කරන්න රසඳුන අතරට ඔහුව මේ විදිහට රැගෙන ආවා.

ජිප්සීස් හැදුව සුනිල් පෙරේරා නැතුව පවත්වාගෙන යන සංගීත කණ්ඩායමට දැන් ටිකක් ඉල්ලුම වැඩියි කියලා ආරංචියි, අපි ඒ ගැන කියලම කතාබහ ආරම්භ කරමු..?

ඇත්තටම කිව්වොත් සුනිල් අයියා නැති වුණාට පස්සේ මම හිතුවේ මාස හයක් හෝ අවුරුද්දක් විතර සංගීත කණ්ඩායම පවත්වාගෙන ගිහින් නතර කරන්න. නමුත් අපිට හිතාගන්න බැරි වෙන විදිහට වැඩ එන්න පටන් ගත්තා.

සුනිල් අයියා පවුලට පස්සේ වැඩිපුරම ආදරේ කළේ ජිප්සීස් සංගීත කණ්ඩායමට. එයා කොහේ හරි ඉඳලා අපි දිහා බලාගෙන අපිට ආශීර්වාද කරනවා කියලයි මම නම් හිතන්නේ. මොකක් හෝ ඔහුගේ බලපෑමක් අපට තියෙනවා. අපි මේ තරම් සාර්ථක ගමනක් යන්නේ ඒ නිසා වෙන්න ඇති. සංගීත කණ්ඩායමක් විදිහට මේ අවුරුද්ද අවසන් වෙනතුරු අපිට වැඩ තියෙනවා. ඒ නිසා තව වැඩවලට දින දෙන්න අසීරු තරම්.

ඔබ හිතනව ද දැන් සුනිල් නැතුව ජිප්සීස් ජනතාව අතරේ ඉන්නවා කියලා ..?

සුනිල් පෙරේරා කියන චරිතය නැතුව ජනතාව ජිප්සීස් සංගීත කණ්ඩායම පිළිගනිවී කියලා මම කොහෙත්ම විශ්වාස කළේ නැහැ. ඔහුත් එක්කම සංගීත කණ්ඩායමේ ජනප්‍රියත්වය නැති වෙයි කියලා තමයි මම හිතුවේ. නමුත් ඔහු නැහැ කියලා ජනතාව දැන් දන්නවා. ඒ නිසා දැන් සුනිල් අයියා නැතිව ජිප්සීස් සංගීත කණ්ඩායමේ සංගීත රසය විඳින්න ජනතාව පුරුදු වෙලා. සුනිල් අයියා නැතිව සංගීත කණ්ඩායම වියැකිලාම යයි කියලා හිතුවත් එහෙම වුණේ නැහැ. ඒක වාසනාවක්. අයියා ජීවතුන් අතරේ ඉන්නකොට හිතුවා කණ්ඩායම එක්ක ලංකාවේ පුරා ප්‍රසංග මාලාවක් කරන්න. ඒත් එක්කම තමයි අයියා නැති වුණේ.

පියල් පෙරේරා සංගීතයට අවතිර්ණ වෙන්නේ ජිප්සීස් එක්ක. ඒත් සුනිල් පෙරේරාගෙ වියෝවෙන් පසුව තමයි ඔබ කැපි පෙනෙන්නේ ..?

ඒක තමයි ඇත්ත. අයියා නැති වුණාට පස්සේ කණ්ඩායමේ නායකයා වෙන්න මට සිද්ධ වුණා. එතකොට තමයි පියල් පෙරේරා කියන්නේ සුනිල් පෙරේරාගේ මල්ලී කියලා බොහෝ දෙනෙක් හඳුනාගත්තේ. ඔහු නිසා රසිකයෝ මට ආදරේ කරන්න පටන් ගත්තා. මාව කැපිලා පෙනුණේ ඊට පස්සේ කිව්වොත් වරදක් නැහැ. මම කවදාවත් ප්‍රසංගයකට සම්බන්ධ වෙලා ජනතාවට කතා කරලා නැහැ. මයික් එකක් ඉස්සරහට ගිහින් කතා නොකර ඉන්නකොට අයියා තමයි මල්ලී ඔහොම බැහැ යන්න කතා කරන්න කියලා කිව්වේ. ඒත් ඔහු නැති වුණාට පස්සේ මට ඒ දේත් කරන්න සිදු වුණා ,

ඔහු නැති අඩුව ඔබට වැඩිපුර දැනෙනවා ඇති..?

නැති වුණු මුල් කාලේ ඔහු නැති අඩුව තදින්ම දැනුණා, දැන් ඔහු නැතුව ජීවත් වෙන්න පුරුදු වෙලා. ඒත් තවම මතක් වෙනවා. මොකද මම සුනිල් අයියට ආදරේ කළාට වඩා මට අයියා ආදරේ කළා. මගේ විවාහයේ ප්‍රශ්න මතු වෙද්දී අයියා තමයි මැදිහත් වෙලා මගේ පවුල ආරක්ෂා කළේ. මට හැම පැත්තෙන්ම උදව් කළා. දැන් අයියා නැතත් පවුලේ අය එක්ක සම්බන්ධතා තියාගෙන ජීවත් වෙනවා අයියගේ මතක එක්ක.

වසර ගණනාවක සිට ගෙවන කාර්යබහුල ජීවිතේ එක්ක පවුල් ජීවිතේ සමබර කර ගන්න අපහසු ඇති..?

මගේ බිරිඳ රෝස්මෙරි පෙරේරා. සංගීතයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි. මොකද ජීවිතයක් නැති තරම්. අපේ යාළුවෝ ට්‍රිප් එකක් යන්න දින දාගෙන කතා කළොත් එදාටත් මම වැඩ. ඉතිං බිරිඳටත් ඒවා මඟහැරෙනවා. හැමදාම එහෙමයි. සමහර දවස් වලට ගෙදර එන්නේ පාන්දර තුනට හතරට. බිරිඳ එක්ක ගමනක් බිමනක් යන්න නැහැ. ඒත් ඒවා තේරුම් ගත් බිරිඳක් මට ලැබුණා. ප්‍රශ්න නැති පවුල් නැහැ. අපි අතරත් ප්‍රශ්න ඇති වුණා. ඒත් බිරිඳ ෂේප් කරගන්න දින හදාගෙන පවුලේ අය එක්ක ජීවත් වෙනවා. මොකද ගෙදර සාමය නැතුව මොකුත්ම කරන්න බැහැ. අපි විවාහ වෙලා අවුරුදු 33ක් වෙනවා, කොහොම හරි පවුල් ජීවිතේ කළමනාකරණය කර ගන්නවා.

එංගලන්තයේ හැදි වැඩුණු රෝස්මෙරීව බිරිඳ කර ගන්නේ කොහොමද, ඒ සුන්දර මතකයත් අවදි කරමු..?

එයා එංගලන්තයේ ජීවත් වුණු කෙනෙක්. එයා එහේ යන්නේ එයාට වයස අවුරුදු පහේදී. ඊට පස්සේ නිවාඩුවක් ගත කරන්න ලංකාවට ආවා. මගේ යාළුවෙක් මට කිව්වා මචං එංගලන්තයේ ඉඳලා මගේ යාළුවෝ ටිකක් එනවා ඔයත් එදාට එන්න කියලා. එදා මාත් එහෙ ගියා. එතැනදි තමයි මුලින්ම ඇයව දැකලා කතාබහ කරන්නේ.

ඇය ඒ වෙද්දී දැනගෙන හිටිය ද ඔබ සංගීතයට සම්බන්ධ කෙනෙක් බව..?

එයා ලංකාව එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. මම ජිප්සීස් එකේ අහවලා කිව්වම ඒ මොකක්ද කියලා ඇහුවා. පස්සෙ තමයි මම කිව්වේ, මම සංගීතයට සම්බන්ධ කෙනෙක් බව. කොහොම හරි අපි ආදරේ කරලා විවාහ වුණා.

ඊට පස්සේ ඔබත් එංගලන්තයේ ජීවත් වෙන්න යනවා. එහෙම නේද ..?   

ඔව්. එයා එහේ ජීවත් වුණු කෙනෙක්. ඇය එහේ හොඳ ජොබ් එකක් කළා. ඒ නිසා මටත් යන්න සිදු වුණා. ඒ ටික කාලෙට මම රස්සවල් කිහිපයක් කළා. මම දන්නේ සංගීතය විතරයි. ඉතිං ඒවා එහේ කරන්න බැහැ. මම පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කළා. ඒ වගේම ෆිල්ම් හෝල් එකක ටිකට් කැඩුවා. එතකොට ෆිල්ම් එක ඉවර වුණු ගමන් ඉක්මනින් හෝල් එක පිරිසිදු කරන්න ඕන ඊළඟ දර්ශනය පෙන්නන්න. ඒ හැමදේම මම කළා. වෙලාවට, පිළිවෙලට වැඩ කරන්න ඒ වගේ රටක ජීවත් වෙද්දී පුරුදු වෙනවා. උදේ පාන්දර සීතලේ වැඩ කරන්න ඕන. ඒකත් හරි සුන්දර අත්දැකීමක් කරගත්තා. නමුත් මම බිරිඳට කිව්වා මේ කන කට්ටට වඩා හොඳට ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් අපි ලංකාවට යමු කියලා. ඒ විදිහට තමයි එයා මම වෙනුවෙන් ඒ කැපවීම කරලා ලංකාවට ආවේ.

දරුවන්ට සංගීතය ඕපපාතික දෙයක් නෙමෙයි. ඔවුන් සංගීතයට ලැදි ඇති..?

දුවයි පුතයි දෙන්නම සංගීතයට ආදරෙයි. ගායනා කරන්නත් පුළුවන්. පුතා ජොබ් එකක් කරනවා. දුව වෛද්‍යවරිය විදිහට එංගලන්තයේ සේවය කරනවා. අපි හැමෝටම එංගලන්තයේ පුරවැසිභාවය තියෙනවා. පුතා නම් කියන්නේ ලංකාවේ ජීවත් වෙන්න බැරිම අවස්ථාවක් ආවොත් විතරයි එංගලන්තයට යන්නෙ කියලා. මම වගේම එයත් කැමැති ලංකාවේ ඉන්න. ඒ වගේම මේ දෙන්නා දැක්කා කලාව එක්ක පවුල් ජීවිතේ ගෙවන්න අසීරු බව. ඒ නිසා වෙන්න ඇති එයාලා වෙනත් රැකියාවන් කරන්න හිතුවෙ. පුතා නම් මගේ ප්‍රසංග කිහිපයකට සම්බන්ධ කරගත්තා ගායනය පැත්තෙන්. ඒත් සම්පුර්ණ දායකත්වයක් දෙන්නාගෙන් ලැබෙන්නේ නැහැ

සංගීත කණ්ඩායම එක්ක අලුත් ගීත නිර්මාණය කරමින් ඉදිරියට යන ගමන ගැනත් කියලම මේ කතාබහ අවසන් කරමු..?

කණ්ඩායමේ සාමාජිකයන් තරුණ අය. ඒ නිසා අපි අලුත් දේවල් එක්ක මේ ගමන යනවා, අලුත් ගීත තුන හතරක් නිර්මාණය කළා. ඒවා මම වගේම ශෙනාල් ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රූප රචනා එක්ක තමයි ඉදිරියට යන්න වෙලා තියෙනවා. ඒ හේතුව නිසා ගීතයක රූප රචනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. සුනිල් අයියගෙන් පස්සේ කණ්ඩායමේ සාර්ථකත්වයට ඔවුන්ගේ සහාය තියෙන එක ගැන මට සතුටුයි. ඒ නිසා ඔවුන් සියලුම දෙනාට මම ස්තුතියි කියනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division