Home » අනුන්ගේ ගිණුම්වලින් සල්ලි අදින මස්කෙළියේ ගණකාධිකාරිනියට වැලිගමින් වැටුණු පොලිස් දැල

අනුන්ගේ ගිණුම්වලින් සල්ලි අදින මස්කෙළියේ ගණකාධිකාරිනියට වැලිගමින් වැටුණු පොලිස් දැල

by thanushika
August 3, 2024 12:30 am 0 comment

අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් අහිංසක මිනිසුන් රවටා මුදල් වංචා කරන කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මක වන්නේ අද ඊයෙක සිට නොවෙතත් ඊට හසුවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව එන්න එන්නම ඉහළ යමින් තිබෙන්නේ මේ සංවිධානාත්මක පුද්ගලයන් ගැන මහජනතාව ඕනෑවටත් වඩා දැනුම්වත් කර ඇති, දැනුම්වත් කරමින් සිටින පසුබිමක වීම නම් කනගාටුදායකය.

කවදාවත් දැක නැති දන්නා හඳුනන්නේ ද නැති කොටින්ම කීවොත් වචනයක් පවා කතාබහ කර නැති පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයට අන්තර්ජාලය ඔස්සේ රැවටී අතේ තියෙන තුට්ටු දෙක නැතිකර ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව නම් අතිවිශාලය. පුදුමයට කාරණාව නම් මේ බව දැන දැනම ඇතැමුන් තවදුරටත් අමාරුවේ වැටීමයි.

මෙරට කේන්ද්‍ර කරගෙන අන්තර්ජාල මූල්‍ය වංචාකරුවන් රොත්තක්ම අවුරුදු ගාණක් තිස්සේ ඉතා සූක්ෂ­්මව එමෙන්ම ඉතා සංවිධානාත්මකව ක්‍රියාත්මක වී දෙස් විදෙස් පුද්ගලයන් රැසකගේ රුපියල් බිලියන ගණන් වංචා කර ඇති බව හෙළි වූයේ පසුගියදාය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය, බුද්ධි අංශ එක්ව සිදුකරන ලද විමර්ශනවලදීය. මීගමුව, කොළඹ සහ මහනුවර ප්‍රදේශවලදී එසේ අල්ලා ගැනුණ අන්තර්ජාල මූල්‍ය වංචාකරුවන් සංඛ්‍යාව තුන්සියයකට ආසන්න බව හෙළිවූ අතර චීන ජාතිකයන්, ඉන්දියානුවන්, පකිස්තානුවන් ඒ අතර සිටි බව ද හෙළි විය.

මෙරටදී නීති විරෝධි සහ සංවිධානාත්මකව එලෙස අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය ගනුදෙනු සිදුකරන ලද ජාවාරම්කරුවන් අතරින් 40 දෙනෙකුගේ බැංකු ගිණුම් 46ක රුපියල් කෝටි 5000ක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශනයේදි හෙළිවූ අතර එහි මූල්‍ය විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක උපුල් ගල්වල මේ බව පසුගියදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ද වාර්තා කර තිබිණි.

අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධීව මූල්‍ය ගනුදෙනු සිදු කිරීමේ චෝදනාව මත සී.අයි.ඩී.ය එලෙස අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු ඇතුළු විදේශිකයන් 40 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මේ බව හෙළිවූ අතර මෙහිදී අනාවරණය වූ සුවිශේෂිම කාරණාව නම් 2024 වසරේ ජූනි 22 උදේ 10.30 සිට රාත්‍රි 10.30 දක්වා මේ සංවිධානාත්මක කණ්ඩායම් අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ලද මූල්‍ය වංචාවලින් රුපියල් ලක්ෂ 880ක් උපයා ඇති බවයි.

මේ අනුව අන්තර්ජාල මූල්‍ය වංචාකරුවන් පසුගිය කාලය ඇතුළත මෙරට මෙන්ම විදෙස් රටවල සිටින පුද්ගලයන් රවටා කොපමණ මුදලක් වංචා කර ඇත්දැයි අනුමාන කිරීමට ඕනෑම කෙනෙකුට නොහැකි වන්නේ නැත.

තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය, බැංකු ගිණුම් අංක, විදේශ ගමන් බලපත්‍ර අංකය ඇතුළු පෞද්ගලික තොරතුරු දත්ත නාඳුනන පුද්ගලයන් අතට පත්කිරීම කිසි විටෙක නොකළ යුත්තක් බව මේ අනුව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන ප්‍රධාන කාරණාව වුවත් තවමත් එලෙස තමන්ගේ පෞද්ගලික දත්ත අන්තර්ජාලයේ නන්නාඳුනන පුද්ගලයන්ට ලබා දී තමන් සතු මිල මුදල් නැති නාස්ති කරගන්නා අය නම් නැත්තේම නැත.

එවැනි සිද්ධියක් පසුගියදා වාර්තා වූයේ වැලිගම මූලස්ථාන පොලිසියෙනි. වාර්තා වන අන්දමට සිද්ධිය පෙළගැසෙන්නේ මෙසේය.

ඔහු වෛද්‍යවරයෙකි. වයස අවුරුදු 47 කි. මේ වෛද්‍යවරයාගේ ගම් පළාත වැලිගමයි. ඔහු සේවය කරන්නේ ඇඹිලිපිටිය ප්‍රදේශයේය. වෛද්‍යවරයා සිය රැකියාවට අමතරව මිරිස්ස ප්‍රදේශයේ සංචාරක හෝටලයක් ද පවත්වාගෙන ගියේය.

ඉකුත් මැයි 22 ඔහු අන්තර්ජාලය ඔස්සේ අමතන යුක්රේන ජාතික යුවළක් ජූනි 2 සිට 7දා දක්වා වෛද්‍යවරයාට අයත් සංචාරක හෝටලයෙන් කාමරයක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය මිල ගණන් දන්වන ලෙස දන්වා ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ වෛද්‍යවරයා කාමරයේ මිල ගණන් පිළිබඳ ගණන් බලා ඒ සඳහා අමෙරිකා ඩොලර් 685ක් අවශ්‍ය බව දන්වා ඇත. එවිට යුක්රේන ජාතික යුවළ අදාළ මුදල බැංකුගත කිරීමට වෛද්‍යවරයාට අයත් බැංකු ගිණුම් අංකය (වැලිගම) ඉල්ලා ඇති අතර වෛද්‍යවරයා එය ලබා දී ඇත.

ඉන් අනතුරුව වෛද්‍යවරයාට කතා කළ අය වෛද්‍යවරයාගේ වට්ස්ඇප් ගිණුමට දිගුවක් (ලින්ක් එකක්) යොමුකර ඒ ඔස්සේ තමන් ඔහුට ගෙවූ මුදල ලබා ගන්නා ලෙස දන්වා ඇත. ඒ අනුව වෛද්‍යවරයා තම ගිණුමේ ඕ පී ටී අංකය ලබා දෙමින් මුදල් ලබා ගැනීමට උත්සාහ කරන අතරේ ඔහුගේ ගිණුම ඇති වැලිගම අදාළ පෞද්ගලික බැංකුවෙන් කෙටි පණිවිඩයක් ඔහුට ලැබී ඇත. එහි සඳහන් වී ඇත්තේ වෛද්‍යවරයාගේ ගිණුමේ තිබුණු රුපියල් හත්ලක්ෂ හාරසිය තිස් ගණනක් කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුමට මාරුවී ඇති බවයි. වෛද්‍යවරයා මේ බව ඒ මොහොතේම ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් ඒ මොහොතේම එම සිද්ධිය වැලිගම පොලිසියට දැනුම් දී තිබේ.

ඒ මොහොතේම ක්‍රියාත්මක වූ උපුල් කුමාරගේ වැලිගම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් මත කටයුතු කළ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂිකා දිල්මි ඕෂානි වෛද්‍යරත්න ඇතුළු කණ්ඩායම දීර්ඝ විමර්ශනයක් සිදුකරන ලද්දේ වෛද්‍යවරයාගෙන් ලබා ගත් තොරතුරු සහ ඔහුට කතා කළ පුද්ගලයන් සම්බන්ධව අන්තර්ජාලය ඔස්සේ ද ලබාගත් තොරතුරු විමර්ශනය කරමිනි.

ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරිය හෙළිකර ගත්තේ මීට කාන්තාවක් සම්බන්ධ බවයි. මේ කාන්තාව මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකාරියක බව ද අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිනි දිල්මි ඕෂානි වෛද්‍යරත්න සිදුකරන ලද විමර්ශනයේදී හෙළිදරව් කරගෙන තිබිණි.

ඒ අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී හෙළි වන්නේ ඇගේ පදිංචිය මස්කෙළිය ප්‍රදේශයේ වුවද ඇය කොළඹ පෞද්ගලික ආයතනයක සහකාර ගණකාධිකාරිවරියක ලෙස සේවයේ නිරත වන බවයි. රැකියාවට අමතරව ඇය ඔන්ලයින් ක්‍රියාකාරකම්වලද නිරතව සිටියාය.

එලෙස ඇය අන්තර්ජාලයේ ඔන්ලයින් ක්‍රියාකාරකම්වල නිරතව සිටියදී ඔන්ලයින් රැකියා ඇබෑර්තුවක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ දැන්වීමකට අයදුම් කළාය. ඇය එම රැකියාව සඳහා තෝරාගත් බව කිසිවකු විසින් ඇයට දැනුම් දී ඇත්තේ දින කිහිපයකට පසුවය.

ඇයට මෙලෙස ඔන්ලයින් රැකියාව ලබා දුන් පුද්ගලයා දින කිහිපයකට පසු ඇයට කතා කර ප්‍රදේශ පහක කිසියම් පුද්ගලයන් පස්දෙනෙකු විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් 5ක තොරතුරු ලබාදී එම අංකවලට වෛද්‍යවරයාගේ ගිණුමේ ඇති මුදල් විනාඩි දහයක් ඇතුළත හුවමාරු කරන ලෙස පැවැසීය. ඒ සඳහා අවශ්‍ය සියලු තොරතුරු ඔහු ඇයට ලබාදී ඇත. වෛද්‍යවරයාට ඔහුගේ බැංකු ගිණුම පිහිටි බැංකුවෙන් කෙටි පණිවිඩය ලැබී ඇත්තේ සැකකාරිය මෙලෙස වෛද්‍යවරයාට අයත් මුදල් බැංකු ගිණුම් 4කට මාරු කරමින් සිටියදීය.

වැලිගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු මේ ගැන දීර්ඝ පරීක්ෂණයක් පවත්වති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division