Home » මිනිස් බිල්ලකට මාන බැලූ ඌරගහ බස් කොන්දොස්තර

මිනිස් බිල්ලකට මාන බැලූ ඌරගහ බස් කොන්දොස්තර

by thanushika
August 3, 2024 12:30 am 0 comment

පාතාල ක්‍රියා සහ සංවිධානාත්මක අපරාධකරුවන් ගැන කතා කරන විට ඕනෑම කෙනෙකුට මතක් වන ස්ථානයකි ඇල්පිටිය කොට්ඨාසය. එහි පොලිස් වසම්වල කාලයක සිට සිදුවන මනුෂ්‍ය ඝාතන, වෙඩි තැබීම්, පාතාල ක්‍රියා සහ මත්කුඩු ජාවාරම්වලට ඩුබායි ඇතුළු විදේශ රටවල සිටින පාතාලයන් රැසකගේ නම්ගම් ද ගෑවි තිබෙන අයුරු නොදන්නා කෙනෙක් නැත. මෑතකදී පත්තු වුණු තුවක්කු උණ්ඩයකට ක්‍රිකට් ක්‍රීඩකයකු ද බිලි විය. ඒ ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් අම්බලන්ගොඩ පොලිස් බළප්‍රදේශයේදීය.

ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බළ ප්‍රදේශවල සිදුවන පාතාල ක්‍රියා, සංවිධානාත්මක අපරාධ, කුලී මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා යුක්තිය මෙහෙයුම යටතේද පොලිස් නිලධාරීන් සැලකිය යුතු සංඛ්‍යාවක් දිවා රෑ වෙහෙස වෙමින් සිටිති. දකුණු පළාත මූලික කරගෙන පිහිටුවන ලද අපරාධ විමර්ශන කොට්ඨාස දෙකින් එකක් ගාල්ල අපරාධ කොට්ඨාසය නමින් අම්බලන්ගොඩ ප්‍රදේශය මූලික කරගෙන පිහිටුවන්නේද ඇල්පිටිය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම්වල දිගින් දිගටම සිදුවන පාතාල ක්‍රියා, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහාය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සැලකිය යුතු නිලධාරීන් සංඛ්‍යාවක්ද ඇල්පිටිය කොට්ඨාසයේ අපරාධ වැළැක්වීම සඳහාම යොදවා ඇති අතර යුක්තිය මෙහෙයුමට සුවිශේෂී දායකත්වයක් ලබාදීම සඳහා අලුතින් පිහිටුවන ලද පොලිස් කණ්ඩායම් 20න් කීපයක්ද ඇල්පිටිය කොට්ඨාසයට අනුයුක්ත කර ඇත්තේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සඳහාය.

ඇල්පිටිය කොට්ඨාසයේ පොලිස් වසම්වල සිදුවන සංවිධානාත්මක අපරාධ, මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සඳහා මෙලෙස විමර්ශනවල නිරත පොලිස් කණ්ඩායම් දිවා රෑ වෙහෙසෙන්නේ එම කොට්ඨාසයේ මහජන ආරක්ෂාවද සුරැකීම සඳහාය. මෙලෙස විමර්ශනවල නිරත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයකු ගැන පසුගිය කාලයේ සිය සුවිශේෂි අවධානය යොමු කරගෙන සිටි අතර එම පුද්ගලයා බස් කොන්දොස්තරවරයෙකි.

මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් ලොකු මුදලක් හරිහම්බ කරගෙන සිටින බවත් ඔහුට ඒ සඳහා උදවු කරන්නේ දැනට විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඌරගහ ඉන්දික නමැති පුද්ගලයා බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මේ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධරයන් සැකකාර බස් කොන්දොස්තරගේ නිවස මුලින්ම පරීක්ෂා කරන්නේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 11 වැනි දාය.

එහිදී අදාළ නිවසේ තිබුණු මෝටර් බයිසිකලයක් පොලිස් නිලධාරීන් භාරයට ගැනිණි. එය පල්සර් වර්ගයේ එකකි. එහි ලියාපදිංචි අංක තහඩුවට අනුව විමර්ශන සිදු කරන ලද පොලිස් නිලධාරීන් හඳුනාගන්නේ එය රන්න ප්‍රදේශයේ අයකුට අයත් එකක් බවය. මෝටර් බයිසිකලයේ චැසි අංකය අනුව හෙළිවන්නේ එය ටික කලකට පෙර කළුතර ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එකක් බවය. මේ පුද්ගලයාට එරෙහිව මෝටර් බයිසිකලයක් සොරකම් කිරීම සම්බන්ධ නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවද හෙළි වූයේ පොලිසිය සිදු කරන ලද දීර්ඝ විමර්ශනයේදීය. සැකකාර බස් කොන්දොස්තර සම්බන්ධව පොලිසිය දිගින් දිගටම විමර්ශන කරමින් සිටියදී ඔහු සිය ස්මාට් ජංගම දුරකතනයේ දෝෂයක් නිවැරදි කරගැනීම සඳහා ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවි සලකට පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එහි ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නේ ස්කූටි මෝටර් බයිසිකලයක් ද සමඟිනි.

සැකකාර බස් කොන්දොස්තරගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ පොලිස් නිලධාරීන් ඔහු සන්තකයේ තිබුණු නයින් එම් එම් වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සොයා ගන්නේ ඉන් අනතුරුවය. පසුව හෙළිවන්නේ ඔහු මේ පිස්තෝලයෙන් කිසියම් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර සිටි බවයි. මේ පිස්තෝලය නවීන එකක් මෙන්ම ඉහළ තාක්ෂණයෙන්ද හෙබි එකකි.

එලෙස අල්ලා ගන්නා ලද සැකකාර බස් කොන්දොස්තර 39 හැවිරිදිය. ඔහුගේ පදිංචිය ඌරගස්මංහන්දිය ප්‍රදේශයේය. සැකකරු සන්තකයේ තිබියදී රියැදුරු බලපත්‍රයක්ද පොලිසිය විසින් සොයා ගැනුණ අතර එය පිටිගල මත්තක ප්‍රදේශයේ පදිංචි අයකුට අයත් එකක් බවද අනාවරණය විය.

සැකකරුට අයත් බැංකු ගිණුම් සහ සැකකරු විසින් ලබාගත් දුරකතන ඇමතුම් සේම ලැබුණ ඇමතුම් ගණනාවක තොරතුරු පොලිස් නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබිණි. ඒ අනුව සැකකරුට අයත් පෞද්ගලික බැංකු දෙකක ගිණුම් දෙකක් ඔස්සේ ඒ.ටීම්.එම්. කාඩ්පත් උපයෝගී කරගෙන රුපියල් කෝටියක මුදලක් වසරක් ඇතුළතදී සංසරණය වී ඇති බවද විමර්ශන නිලධරයන් විසින් හෙළිකරගෙන තිබිණි.

සැකකාර බස් කොන්දොස්තර සිය වෘත්තියෙන් දිනකට රුපියල් 3500ක් උපයන බවද එහෙත් මේ සා මුදලක් ඔහු සන්තකයේ තිබීම සැක කටයුතු බව ද විමර්ශන නිලධරයන්ගේ අදහසයි.

සැකකාර බස් කොන්දොස්තරගේ බිරියද කිසිම රැකියාවක නිරත වන්නේ නැති බවද හෙළිවී ඇත. සැකකාර කොන්දොස්තර සතු බැංකු ගිණුම්වලින් වසරකදී රුපියල් කෝටියක මුදලක් සංසරණය වීම පිටුපස ඇත්තේ ඔහු දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාලය සමඟ සම්බන්ධ වී සිටීම බව පොලිසියේ අදහසයි.

සැකකාර බස් කොන්දොස්තර ගැන තවදුරටත් සොයද්දී හෙළිවී ඇත්තේ විදෙස්ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඌරගහ ඉන්දික සහ සැකකරු අතර ලොකු සම්බන්ධයක් දීර්ඝ කාලයක සිට පවත්වා ඇති බවයි. ඌරගහ ඉන්දික සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. පාතාල කල්ලි නායකයෙකි. අපරාධ රැසකට සම්බන්ධ අයෙකි. සැකකාර බස් කොන්දොස්තර ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සේම නවීන පන්නයේ පිත්තෝලයක් සන්තකයේ තබාගෙන සිටියේ ඌරගහ ඉන්දිකගේ උපදෙස් මත මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට කල්යල් බලමින් බව පොලිසියේ අදහසයි.

සැකකාර බස් කොන්දොස්තර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division