Home » ව්‍යාජ ඇමතුම් දී ව්‍යාපාරිකයන් මුළාකර සල්ලි වංචා කරන ඇල්පිටියේ තක්කඩි කල්ලිය

ව්‍යාජ ඇමතුම් දී ව්‍යාපාරිකයන් මුළාකර සල්ලි වංචා කරන ඇල්පිටියේ තක්කඩි කල්ලිය

by thanushika
August 3, 2024 12:30 am 0 comment

දුරකතන පණිවුඩයක් හරහා මෑතකදීම සිදුවූ මූල්‍ය වංචාවක් පිළිබඳව නොබෝදා වාර්තා වූයේ ඇල්පිටිය නගරයෙනි.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.

ඇල්පිටිය නගරයේ පිහිටි ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳසලකට පසුගියදා පෙරවරුවේ දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයකු තමා නගරයේ පිහිටි රෝහලේ වෛද්‍යවරයෙකු බවට හඳුන්වා දුන්නේය. එය ඇසූ පමණින්ම ව්‍යාපාරිකයාගේ මනසේ වෛද්‍යවරයෙකුගේ රුව මැවී පෙනෙන්නට ඇත.

ඉන්පසු ඔහු විමසා ඇත්තේ නාන කාමර උපාංග කට්ටල ඇතුළු උපකරණ කිහිපයක මිල ගණන්ය. රෝහලේ වෛද්‍යවරයෙකු නිසා ව්‍යාපාරිකයා ද මඳක් ඉහළ වටිනාකම් ඇති උපකරණ හා භාණ්ඩවල මිල ගණන් ඔහුට පැවසීය. රෝහලේ ඉදිකිරීමක් සඳහා මෙම භාණ්ඩ අවශ්‍යවී ඇති බවත් දුරකතනයෙන් කතා කළ පුද්ගලයා ව්‍යාපාරිකයාට පවසා ඇත. ඒ අනුව මේ සඳහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ ඔහු ඒ සඳහා බිල විමසූ විට වෙළෙඳසල් හිමියා ගණන් බලා එම භාණ්ඩ සඳහා රුපියල් ලක්ෂ දෙකක් වන බව පවසා ඇත.

“ප්‍රශ්නයක් නැහැ. මේකට මට කොමිස් එක රුපියල් තිස් දහසක් ඕනෑ. ඒකත් බිලටම එකතු කරන්න. රුපියල් දෙලක්ෂ තිස්දහසකට බිල දමා බිලත් සමඟ බඩු ටික වාහනයකින් රෝහල ළඟට එවන්න. බඩු ටික ගේන ගමන් අපේ එකවුන්ටන් ඔයාලගෙ බිල ගෙවයි. ඒ නිසා මගේ කොමිස් එක ඩ්‍රයිවර් අතේ මට එවන්න. හොස්පිට්ල් එක ළඟට බඩු ටික ගෙනත් මට කෝල් එකක් දෙන්න කියල ඩ්‍රයිවර්ට කියන්න”

ලැබුණු එම පණිවුඩය අනුව වෙළෙඳසල් හිමියා ද කල්පනා කළේ රුපියල් ලක්ෂ දෙකක හාණ්ඩ කිසියම් හෙට්ටු කිරීමකින් හෝ කරදරයකින් තොරව ඉතාම කෙටි කාලයක් තුළ අලෙවි කරගැනීමට තමන්ට ලැබුණ වාසිය ගැනය.

ඒ නිසා බිලේ සඳහන් බඩු ටික වහාම ලොරියකට පටවා රියදුරා අතට රුපියල් තිස් දහසක් දී මෙය එකී වෛද්‍යවරයාට දෙන ලෙස පවසා රියදුරුට වෛද්‍යවරයාගේ දුරකතන අංකය ද දී කියා සිටියේ රෝහල ළඟට බඩු ටික රැගෙන ගොස් එම වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් දෙන ලෙසය.

ඒ අනුව රියදුරා බඩු ටික රැගෙන ලොරියෙන් රෝහල අසලට ගොස් වෛද්‍යවරයාට ඇමතුමක් දුන්නේය.

“හරි මල්ලි ඔයා අතේ තියෙන සල්ලි මම මෙතනදි ගන්න එක හරි නැහැ. එයින් රුපියල් දෙදාහක් ඔයා ගන්න. ඉතිරි විසිඅට දාහ මම එවන ගිණුම් අංකයට බැංකුවට දාලා මට කෝල් එකක් දෙන්න.” වෛද්‍යවරයා යැයි කියූ තැනැත්තාගෙන් රියදුරුට උපදෙස් ලැබුණේය.

ඒ අනුව රියැදුරු රුපියල් විසිඅටදහසක මුදල ඔහු එවූ බැංකු ගිණුමට දමා යළි වෛද්‍යවරයාට ඇමතුමක් ගෙන පණිවුඩය දුන්නේය.

“හරි සර්… මම සර් දීපු එකවුන්ට් එකට සල්ලි දැම්මා.” යැයි කීවේය.

“ආ… හරි මල්ලි ඔහොම ඉන්න. මං අපේ එක්කෙනෙක් ඔයා ඉන්න තැනට එවන්නම්” වෛද්‍යවරයා කීවේය.

රියදුරා රෝහල අසල ලොරිය නවතාගෙන බොහෝ වේලාවක් බලා සිටියද කිසිවකු එහි පැමිණියේ නැත. ඒ නිසා ඔහු කලින් කතා කළ දුරකතනයට ඇමතුමක් ගත්තේ ප්‍රමාදය ගැන වෛද්‍යවරයාට කීමටය. එහෙත් එම දුරකතනය ඒ වන විට විසන්ධි කර තිබුණේය. කිහිප විටක් උත්සාහ කළ ද දුරකතනය විසන්ධි කර ඇත. කිසියම් වැරදීමක් සිදුවූ බව රියදුරාට ද වැටහුණේය. රියදුරා ලොරිය රැගෙන නැවත වෙළෙඳසැලට ගොස් ඒ බව වෙළඳසල් හිමියාට කීවේය. ඔහු ද එම වෛද්‍යවරයා යැයි කියූ තැනැත්තා කතා කළ දුරකතන අංකයට කතා කළේය. දුරකතනය විසන්ධිකර තිබුණේය. වෙළෙඳසල් හිමියා වහා රෝහල වෙත ගොස් එහි බලධාරියෙකු හමුවී මේ ගැන විමසා සිටියේය. එවිට එම නිලධාරියා කියා සිටියේ එවැනි වෛද්‍යවරයෙකු තම රෝහලේ නොමැති බවත්, රෝහලේ මේ වනවිට එවැනි කිසිම ඉදිකිරීමක් ද නොකරන බවත්ය.

තමන් වංචනිකයකුට රැවටුණ බව වෙළෙඳසල් හිමියාට වැටහුණේ එවිටය. එහෙත් ඒ වනවිට තමන්ගේ අතවූ රුපියල් තිස්දහසක් තමන්ට අහිමි වී ගොසිනි. ඔහු තමාටම දෙස් දෙවොල් තබා ගනිමින් ආපසු ආවේය.

මීට පෙර ද මෙම නගරයේම රාජ්‍ය නිලධාරියෙකු හා පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු මේ අන්දමින් අන්දවා ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් පනස් දහසක් වංචා කළ සිද්ධියක් 2020 වසරේ ජනවාරි මාසයේ වාර්තා විය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලෙස තමන්ව හඳුන්වා දෙමින් ඇල්පිටිය නගරයේ රාජ්‍ය නිලධාරියෙකුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත් මේ වංචාකාර පුද්ගලයා පවසා ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවටගෙන සිටින බවත්, මෙම ජාවාරමට සම්බන්ධ තවත් කිහිපදෙනෙකු ඇල්පිටිය ප්‍රදේශයේ මේ වනවිට සිටින බවට තමන්ට තොරතුරු අනාවරණය වී ඇති බවය. ඒ නිසා එම සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට තමන්ට උදව් කරන්නැයි පැවසූ එම පුද්ගලයා ඉල්ලා ඇත්තේ ඊසි කෑෂ් කළ හැකි ආයතනයක හිමිකරුවකුට දුරකතනය ලබා දෙන ලෙසය.

ඒ අනුව ඉහත කී රාජ්‍ය නිලධාරියා නගරයේ වූ එවැනි ආයතනයක කළමනාකාරවරයාට එම ජංගම දුරකතනයදී පවසා ඇත්තේ අසවල් පොලිස් ස්ථානාධිපතිවරයා කතා කරන බවය. දුරකතනයේ එහා කෙළවරේ වූ වංචාකරු කළමනාකරුට එම කතාවම කියා එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම්ව තමන්ගේ නිලධාරීන් පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී ආයතනය ඉදිරිපිට සිටින බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගෙන්වා ගැනීම සඳහා තමන් ලබා දෙන දුරකතන අංක හයට රුපියල් දසදහස බැගින් “ඊසි කෑෂ් ” ක්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසත්ය. එම මුදල විනාඩි කිහිපයක් ඇතුළත ආපසු ලැබෙන්නට සලස්වන බවද පවසා ඇත.

ඒ අනුව ඉහත කී කළමනාකරු තමන්ට පොලිස් ප්‍රධානියා ලබාදුන් එම අංකවලට ඊසි කෑෂ් ක්‍රමයට ඒ මුදල් තැන්පත් කර ඇත.

මඳ වේලාවක් බලා සිටියද කිසිම වෙනසක් සිදු නොවූයෙන් කළමනාකරු තම ප්‍රධාන ආයතනයට මේ බව දැන්වීමෙන් පසු එක අංකයකට තැන්පත් කර තිබූ රුපියල් දසදහසක මුදල ආපසු ලබා ගැනීමට හැකිවූ අතර අනෙක් රුපියල් පනස්දහස ඒ වනවිටත් වංචාකරුවන් විසින් ලබාගෙන තිබී ඇත.

සමෘද්ධිලාභියෙකුගෙන් රුපියල් 7800ක මුදලක් මේ ලෙසම වංචා සහගත ලෙස ලබාගෙන තිබුණ පුවතක් වාර්තා වූයේ 2022 ඔක්තෝම්බර් මාසයේදීය.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු බව පවසා සමෘද්ධිලාභියෙකුට දුරකතනයෙන් කතා කළ පුද්ගලයෙකු පවසා ඇත්තේ “ඔබට සමෘද්ධි ආධාර මුදලක් ලැබී තිබෙනවා. ඒ මුදල හෙට උදේ ඇල්පිටිය ප්‍රාදේශීය කාර්යාලයේ සමෘද්ධි අංශයට පැමිණ ලබාගත හැකියි. ඒ සඳහා වහාම මේ දෙන ගිණුම් අංකයට රුපියල් 7800ක් තැන්පත් කරන්න.” යනුවෙනි.

එවැනි කිසිම දැනුම් දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කිසිවකුට කර නැති බවත්, මෙය කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව කරන මූල්‍ය වංචාවක් බවත්, ඒ නිසා මෙවැනි දුරකතන පණිවුඩ මඟින් කරන ඉල්ලිම්වලට හසු නොවන ලෙසත්, එවකට ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා වූ චතුරංග ගුණසේකර මාධ්‍යයට පැවැසීය.

මහජන සෞඛ්‍ය පරීකෂකවරුන් ලෙස හඟවා නගරයේ ව්‍යාපාරිකයන් තිදෙනෙකුගෙන් රුපියල් හතළිස් දහසක මුදලක් වංචාසහගත ලෙස ලබාගත් සිද්ධියක් 2023 අගෝස්තු මාසයේදි ඇල්පිටිය නගරයෙන් වාර්තා විය.

ව්‍යාපාර ස්ථානයේ ස්වභාවය අනුව එම ව්‍යාපාර ස්ථානයේ පවතින අඩුපාඩුවලින් ඔබව නිදහස් කිරීමට නම් තමන් දැනුම් දෙන බැංකු ගිණුමට මෙම මුදල වහාම තැන්පත් කරන ලෙස දුරකතනය මගින් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පණිවුඩ ලැබී ඇත. මේ අන්දමින් ඇමතුම් ලැබීමෙන් පසු ඇල්පිටිය නගරාසන්නයේ උත්සව ශාලාවක් පවත්වාගෙන ‍යන ව්‍යාපාරිකයෙකු රුපියල් 20000ක්ද, පිටුවල ප්‍රදේශයේ ආපණශාලාවක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු රුපියල් 2500ක්ද, තැන්පත් කර ඇතැයි දැනගන්නට ලැබී තිබිණි.

ඇල්පිටිය නගරයේ මස් වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයෙකුට රුපියල් 17500ක් තැන්පත් කරන ලෙස දුරකතන පණිවුඩයක් ලැබීමෙන් පසු එම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ගියද ඇතිවූ සැකයක් නිසා මුදල් තැන්පත් නොකර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යාමෙන් පසු මෙය කවුරුන් හෝ කරන වංචාවක් බව හෙළිදරව් කරගැනීමට හැකිවී ඇත.

ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division