රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වටිනා තඹ ලෝහ විෂ්ණු දේව රූපයක් සහ නිවසක් බිඳ රුපියල් තුන්ලක්ෂ තිස්දහසක් වටිනා රූපවාහිනි ඇතුළු වෙනත් භාණ්ඩ රැසක් සොරකම් කළ පුද්ගලයෙකු දින හතරක් ඇතුළත භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධරයන්ට පසුගියදා හැකි විය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි පුද්ගලයෙකු රත්තොට පාරේ කලුදැවල පාලම අසලදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරුවලට අනුව සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු අනාවරණය වූ බව පරීක්ෂණ සිදු කළ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර පැවැසීය.
මෙම සොරකම් රත්තොට සහ ලග්ගල පොලිස් වසම් තුළ සිදුව ඇති බවත් අදාළ පොලිස් ස්ථානවලට ඉදිරිපත් කිරීමට පෙර සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී පාපොච්චාරණය කිරීම් අනුව එම භාණ්ඩ උකස් කර තිබූ ස්ථානද එම පුද්ගලයින් ද අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ඔවුන් ද අදාළ පොලිස් ස්ථානවලට ඉදිරිපත් කිරීමට පළමුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සැකකරුවන් ඇප මත අධිකරණය මඟින් මුදාහැර ඇත.
මෙම සොරකම් රත්තොට දික්කුඹුර, පොල්වත්ත සහ ලග්ගල රිවස්ටන් ප්‍රදේශවලදී සිදු කර තිබුණි. රිවස්ටන්වල වසා තිබූ බංගලාවක මුරකරු නොමැති අවස්ථාවේදී එහි මුළුතැන් ගෙයි ජනේලයකින් ඇතුළු වී කාමරයක තිබූ රුපියල් එක්ලක්ෂ පනස්දාහක් වටිනා පැරණි තඹ ලෝහයෙන් තනා තිබූ විෂ්ණු දේව රූපය සහ පිත්තල පහනක් ද වටිනා කොමඩ් එක සමඟ බිඩර් ෂවර් එකක් ද ටැප් එකක් ද එම භූමියේම කෝවිලක තිබූ ගලෙන් නෙළන ලද සිංහ රූපයක් ද ඇඳුම් කීපයක් ද ඩියෝ වර්ගයේ ජෙනරේටරයක් ද සොරකම් කර තිබුණි.
දික්කුඹුර සහ පොල්වත්ත ප්‍රදේශයේ නිවෙස් දෙකකට ඇතුළු වී එහි තිබූ භාණ්ඩ සොරකම් කරන ලද පුද්ගලයෙකු පිළිබඳ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයේදී රිවස්ටන් ගෝනමඩවත්තේ ප්‍රකට ව්‍යාපාරිකයකුට අයත් බංගලාවේ නැති වී තිබූ විෂ්ණු දේව ප්‍රතිමාවක් සහ ජෙනරේටරයක් රූපවාහිනී දෙකක් ඇතුළු භාණ්ඩ කීපයක් සොයාගැනීමට හැකි විය. සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගේ පාපෝච්චාරණය අනුව අනාවරණය වූ තොරතුරු අනුව මෙම සොරකම් සියල්ලම ඔහු විසින් කර ඇති බවද හෙළි වූ බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර පැවැසීය.
රත්තොට දික්කුඹුර නිවසට ඇතුළු වී රූපවාහිනී යන්ත්‍රයක් සහ රුපියල් 22,000ක් වටිනා අමු ගම්මිරිස් කිලෝ 40 ක් පමණ ද හැටනවදාස් නවසිය අනූනවයක් වටිනා රූපවාහිනියක් ද සොරකම් කර තිබුණු බව එහි හිමිකරු රත්තොට පොලිසියට පැමිණිලි කර තිබුණි.
රත්තොට පොල්වත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රුපියල් හැටදාහක් වටිනා රූපවාහිනියක් ද, රන් මාලයක්, මුදල් රුපියල් පහළොස්දාහක්, ගම්මිරිස් කිලෝ හතළිහක් ද මෙලෙස සොරාගෙන තිබූ අතර, රුපියල් දෙලක්ෂ පනස්දහසක රන් මාලයක් ද මුදල් රුපියල් පහළොස් දාහක් ද වශයෙන් රුපියල් ලක්ෂ තුනහමාරකට ආසන්න මුදලක් සොරුන් ගෙන ගොස් ඇති බවද හෙළි විය. ‘දික්කුඹුරේ සුද්දා’ නමැති සැකකරු මෙම සොරකම් සිදුකර ඇත.
සැකකරු සම්බන්ධව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔහුගේ බිරිය දිස්කසාදව සිටින බවත් මවද විදේසගතව සිටින බවයි. මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 42 කි. ‘දික්කුඹුරේ සුද්දා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වේ. ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවට ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගන්නා ලද භාණ්ඩ අධිකරණ කටයුතු සඳහා රත්තොට සහ ලග්ගල පොලිස් ස්ථානවලට භාර දීමට කටයුතු කර ඇති අතර සොර බඩු උකස් ගත් පුද්ගලයින් ද රත්තොට පොලිසියට භාර දෙන ලදි. සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අගෝස්තු මස 7 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට දිසා මහේස්ත්‍රත් ආර්. පී. කේ. එන්. රන්කොත්ගේ මහත්මිය විසින් නියම කළාය.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් රෝහණ ගමගේගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී යූ.ජී. ප්‍රියන්ත කුමාර රත්නායකගේ අධීක්ෂණය යටතේ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති බණ්ඩාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන බස්නායක, විජිත බණ්ඩාර, කාන්තා උපපරීක්ෂක ජීවන්ති, සැරයන්වරුන් වන (26743) ගුණවර්ධන, (57191) සාලිය, (6762) ජයසේන, (4639) සෝමරත්න, (29804) දිසානායක, කොස්තාපල් රියැදුරු (57717) ගනේතැන්න, කොස්තාපල් (72182) නාලක යන අය වැටලීමට සහාය වූහ.